Print this Article


පහන් සිතක කවි

විසකුරු ගති නසා

ගුරු පඬුරු දීමට
සිප් හලෙන් බැහැරව
වන වැදී වියරුව
මැරුවෙ මිනිසුන් ඇඟිළි කැපුමට
එකුන් දහසක් ඇගිලි සිඳ
එකක් සපයා ගැනුමට
ඈත යන මව වෙත
හඹා දිව්වේ ඇඟිලි ලොබ බැඳ
මෙදුටු අප තථාගත
සමිඳු වැඩියේ එම දෙස
එදුටු අඟුල්මල් තෙම
නවතිනුය, කීවෙ බුදු හට
මා ඇතිය නැවතී
ඔබමය දුවනුයෙ කිපී
දෙසූ දම් බණ කඳ
වැඩහුන්ය අඟුල්මල් හට
සියලු පව්කම් අතැර
චීවර පැළඳ සතුටින
අරහත් මඟට සපැමිණ
මහරු වෙනසක හැටි බල
අදත් ගැබ්බර මවක්
බිළිඳු වැදුමට කලින්
නිදුකින් බිළිඳු ලැබුමට
අසයි අඟුල්මල් පිරිත්
මනී මරු රුදු සිතක්
සුමුදු මල් පෙති කඩක්
විලස විය වෙනසක්
එවත සවනට වැකුණු
අපටත් නසා විසකුරු
ගති ලකුණු උඩුකුරු
ලමින් මෙත සිත රුඳුණු
අපට නොහැකිද වෙන්න
අඟුල්මල් තෙර නමක්


නිවනේ දොර ඇරිලා

සසරෙ ගමනෙ ඇති බිය කරු ගැන සිතලා
අකුසල් බැමි සියලුම දේවල් කඩලා
වැඩියෙන් කුසල් කර එය තැන්පත් කරලා
ඉන්නට පුළුවනි පරලොවේ සතුටු වෙලා

මනුස්ස ජීවිතය ලැබුණේ පෙර පිනට
වෙහෙසෙමු එයින් උපරිම පල ලබන්නට
අඳුරට නොයා යුතු සැමදා කිසිම විට
වෙහෙසෙමු අපිත් සැම සුගතියේ උපදින්ට

ජීවිත කාලේ තුළ යමු යහපත් ගමනේ
සැනසිලි සුවය ලැබෙනව සැමටම ඉතිනේ
බුදු බණ අසා සිත සනසා ගමු ඉතිනේ
දෙවිවරු පවා ඒ අය ගැන බලනවනේ

අනියත ලොවක් තුළ අප සැරි සරණ
එයින් මිඳෙන්ට වෙහෙසෙමු සෑම දින
නිමක් නැතිව මේ ගමනේ යන ගමන
දුකින් පෙළෙනවා නොගියොත් බුදු සරණ

පස්පව් දස අකුසල් සැම අත හැරිලා
කුසලයේම සැමගේ සිත පිහිට වලා
සම්බුදු පියාගේ සරණම සැම පතලා
ඉන්නා අයට ඇති නිවනෙ දොර ඇරිලා


වතුරවිලෙන් බුදු කරුණා ගුණ වෑහෙයි

වතුර විල අරණ දිලෙනා බුදු සමිඳුන්
නිතර මල් පුදති තිදසෙන් එන දෙවිඳුන්
පැතිර සුවඳ දුම් මහ බඹු ඒ පුද දුන්
වැතිර වඳිමු තිලොවග සම්බුදු සමිඳුන්

නිතර දිලෙන පහනින් හරි රමණීයයි
සසර නැගෙන දුකඳුර ඉන් අවසානයි
තඹර විලෙහි පිපි කුසුමන් සුවඳ හමයි
වතුර විලෙන් බුදු කරුණා ගුණ වෑහෙයි

නැණ නද නාහිමිගෙ සිතිවිල්ලෙන් නිමවූ
රතනපාල සමිඳුගෙ විරියෙන් කරවූ
දකුණු ලකේ තිබ්බොටුවාවේ ඉදිවූ
වඳිමු බුදුන් මහ දකලුගලකින් නිමවූ

පින්වත් ඔබත් මේ අසිරිය දැක ගන්න
රත්පත් හිමිවරුන් වැනි අය වැඳ ගන්න
සෙත්දෙත් මහා නා සමිඳුන් බුදු වෙන්න
දැන්වත් ඉතින් මේ පුදබිම වෙත එන්න


නමාමි බුද්ධං ගුණ සාගරංතං

අසරණ දුගියෙකුට වුව තම වෙත ආපු
බිම්සර කොසොල් මොවුනට සමසුන දීපු
සම මෙත දෙව් දතට රාහුලට ද පාපු
කරුණා නදිය ඔබමය තෙදියත බාපු

කරුණා සති සමාධිය විකුමය නැණය
නොඇලුම නිරාසාවය දිරිය ද පිනය
ඉදු මුදු නිබය බව ඉවසීමෙහි ගුණය
ඉසිලූ දැරූ මේ ඈ ලොව්තුරු දනය

දැක වැටුනවුන් විපතට මෙසසර කතර
රැක ගැනුමට සටන් කළ යසිසුරු අතැර
සක කුලැදුරාණෙනි පිළිවෙතකින් සතිර
දුක විදි කෙනෙක් නැහැ තුන්ලොව ඔබ විතර

පසළොස් සරණ දම් සිවිසස් සතර මග
සව්නේ ගෙවා දැන දහමින් යුතුව බග
තෙදියත පුරා පැතිරූ මෙත් කුලුනු ගඟ
අවසර වැඳ වැටෙමි ඔබෙ පා පියුම ළඟ


පූජේමි බුද්ධං

සසර කතරේ
අතර මං වූ සියලු සත වෙත
කුළුණු ගුණයෙන්
කප් සුවහසක් කල්
රුදු සසර කතරේ
ඉපදෙමින් මැරෙමින්
යළි යළිත් ඉපදෙමින්
පුරා දස පෙරුමන්
බෙලෙන් පාරමී දම්
ලැබූ සේක
බුදු පදවි
පරදවා දස මරුවන්
දරා සම්බුදු සිවුරු
පුරා මේ බව කතර
වඩින්නට මාවතේ
දකින්නට ජීවිතේ
අවසරයි සමිඳුනේ
පුදන්නට පිළිවෙතින්
බවේ ගුණ සාගරේ


වෛරයට – මෛත්‍රිය

තණ්හාව ආසාව සැමගෙන් දුරු වේවා
වෛරය තුරන් වී මෛත්‍රිය පැතිරේවා
හද තුළ තිබෙන මෙත් සිතිවිලි පිබි දේවා
සම්බුදු සරණ ලැබ සැමදෙන සැන සේවා


වස්සාන කාලය

“අයං වස්සාන සමයයි රජවෙන්නේ
බොදු ජන හදේ පින් සිතිවිලි මෝරන්නේ
සොබා සිරිය පින් ගන්නට දඟලන්නේ
උවසු උවැසියන් සුදු ඇඳුමෙන් හැඩවෙන්නේ

සුන්දර සැන්දෑව ඈතින් දිලිසෙන්නේ
සුදු බුදු රැස් දහර ගුවනේ බැබලෙන්නේ
බොදු ජනතාව වෙහෙරට පෙළ ගැසි එන්නේ
මහ සඟරුවන බෝධියේ කවි මුමුණන්නේ

බුදු හිමි දෙසූ දම්රස මිහිරියි සිතමින්
දොහොත් මුදුන් බැඳ කවුරුත් සාදු හඬින්
බෝධියේ දිලෙන බෝපත් දකිමින් රන්වන්
ඉමහත් ආනිසංසය ලැබගමු බැතියෙන්


මහා බුදුරුව වඳිමි

බුදුනි, සැතැපෙන සුවය විඳිමින්
මහ සෙලේ තන්තිරිමලේ
මිටියටයි කටුවටයි හදටයි
නොදැනිලා රළු බව ගලේ

වඳිමි මම ඒ මහා බුදුරුව
තෙමා නෙත් කැන් සිහිල් ජලයෙන්
දහක් වසකට පසුව අද වුව
තැවැරිලා බුදුගුණ ගලේ

එදා අසිරිය කෙලෙස කෙබඳුද?
සිතාගන්නට නොහැක හිමියනි!
මිටියටයි කටුවටයි හදටයි
නමව් සැදැහැති මිනිසුනේ


පැතුම් මල්

මතු භවයේදීත්
මගේම මව් වේවායි
තවත්
සසර බැඳුමක් නොපතමි
තවත්
එකම එක් වතාවක් හෝ
භව කතර නොඉපිද
මේ භවයේදීම
පිවිසෙනු මැනවි අරහත් මඟට
මගේ ගරු මෑණියෙනි
මගේ ගරු පියාණෙනි


වඳිනෙමි ගුරු පා පියුම්

පලවා සසරෙහි අඳුරූ
විහිදා ගුණ කඳ මහරූ
නවතා සත බව සයුරූ
වඳිනෙමි බුදු පා තඹරූ

බුදු හිමි තිලොවට හිරු
ධර්මය ලෙස තම ගුරු
සැලකුවෙ නිතියෙන් ගරු
සැමටම අවැසිය ගුරු

වඩවා මනුසත් දහම්
පෙව්වා සිප් කිරි උතුම්
කරමු සපල ගුරු පැතුම්
වඳිනෙමි ගුරු පා පියුම්

අපගේ උතුම් ගුරු කැල
ආයු වර්ණ සැප බල
ලැබ නොමඳව නිසිකල
වැජඹේවා මනකල