Print this Article


පෙළහර පාමින් සිදු වූ ශ්‍රී මහා බෝධිරෝපණය

පෙළහර පාමින් සිදු වූ ශ්‍රී මහා බෝධිරෝපණය

නොයෙකුත් ප්‍රාතිහාර්යය සහිතව උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්දිවට වැඩමකළ අයුරුත්, අපගේ දේවානම්පියතිස්ස රජු ශ්‍රද්ධාවෙන් ඔද වැඩී, කරක් පමණ සයුරේ ගිලී සිරසින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කළ අයුරුත්, ලංකා රාජ්‍යයෙන් ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ පුදා දොරටුපාල වෙස් ගෙන රජතුමා දින තුනක් බෝධින් වහන්සේට දාසයකු සේ උපස්ථාන කළ අයුරුත් අප පසුගිය ලිපියෙන් කථා කළෙමු. අද එතැන් සිට. . .

තිවක්ක ගමේ සිට අනුරාධපුරය දක්වා ගමන් මඟ

දේවානම්පියතිස්ස රජුන් තිවක්ක බ්‍රාහ්මණයාගේ ගමෙහි දොරටුව ළඟ ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ වඩා හිඳෙව්වේය. දඹකොළ පටුනේ සිට අනුරාධපුරය තෙක් මාර්ගයේ ඒ ඒ තැන වඩා හිඳුවා සුදුවැලි අතුරා නොයෙක් මල් වර්ග වලින් සරසවා ධජ පතාක ඔසොවා තැනින් තැන මල් මාලාවෙන් සැරසූ කණු සිටවීය. තිවක්ක ගම සිට අනුරාධපුරය දක්වා ඇති මහා මාවත ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ වැඩමවීම වෙනුවෙන් මුළු මාර්ගය දිගටම පංච වර්ණ පුෂ්පයන්ගෙන් අලංකාර කරවීය. නිල් මානෙල්, සුදු මානෙල්, රත් මානෙල්, රත් නෙළුම්, සුදු නෙළුම් යන පස් පියුම් කළස් මඟ දෙපස තබමින් තවත් මල් විසිරවීය. විසිතුරු සළු මඟ දෙපස ධජ පතාක සමඟ ලෙල දෙන්නට සැලස්වීය. රන්, රිදී, තලිවල පැන් තැබුවේය. කෙසෙල් තොරණ් තැබුවේය. සුවඳ විසරවීය. දුම් වළා නැඟෙන ධූම තලි තැබුවේය. ඒ බෝධින් වහන්සේ වඩින මඟ ශක්‍රයාගේ සුදර්ශන වීදිය වගේ යැයි මිනිසුන් සිතුවේය.

බෝධින් වහන්සේ පිහිටුවන භූමිය

මහමෙවුනාව උයනේ දකුණු දොරටුව දක්වා ඒ මාවත සැරසුණේය. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට කලින්ම බෝධින් වහන්සේ පිහිටන භූමිය පෙන්වා තිබුණේ මේ මහා භද්‍ර කල්පයේ සතර බුදුරජාණන් වහන්සේ ම නිරෝධ සමාපත්තියෙන් වැඩහිටි බිමයි. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියද, කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ දිඹුල් මහා බෝධියද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාශ්‍යප බෝධියද, පිහිටි පින් බිමයි. මහමෙවුනා උයනට තිලකයක් බඳු ඒ බිම පූජනීය ලෙස මනරම් ලෙස සැරසුවේ සුමන සාමණේර මහරහතන් වහන්සේගේ උපදෙස් ඇතිවය.

දිවා රාත්‍රී දෙකේම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට කළයුතු පූජාවන් වල අනලස්ව නිරත වී පුද පූජා පවත්වා උඳුවප් මාසයේ පුර පක්ෂයේ දාහතරවෙනි දවසේ අනුරාධපුරයට සමීප වුණි. එදින සවස් යාමයෙහි ඇතුළු වූ අතර කලින්ම සුමන සාමණේරයන් වහන්සේ ගේ වචනයෙන් පෙර බුදුවරුන් බෝධීන් වහන්සේත් වැඩසිටි ඒ පවිත්‍ර භූමි ප්‍රදේශය ඉතා අලංකාරව සරසා තිබුණි. ඒ මනරම් භූමියට අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීය.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය කිරීමේදී සිදු වූ ප්‍රාතිහාර්ය

රාජාභරණයන්ගෙන් සැරසී හුන් ඒ දහසයක් මහා කුලයන්ට අයත් පිරිස අපගේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රථයෙන් බිමට බස්සවා එතැන පිහිටුවීම පිණිස ඉතා පරිස්සමෙන් අතින් මුදා හැරියේය. අතින් නිදහස් වුණ සැණින් අපේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අනු වියනක් පමණ අහස උසට පැන නංඟ සේක. ආකාසයේ වැඩ හිඳිමින් ඉතා අලංකාර ෂඩ් වර්ණ රශ්මිධාරා විහිදුවා වදාළේය. ඒ මනරම් රශ්මි ධාරාවෝ ලංකද්වීපයේ පොළොවේ වැදී බ්‍රහ්ම ලෝකය දක්වා පැතිර හිරු අවරට යනතෙක් ම පැවැතුණි. මේ මහා ප්‍රාතිහාර්යෙන් ඉතා පැහැදීමට පත් දස දහසක් පුරුෂයින් බුද්ධානුස්සති මුල්කොට මුල් වරට විදර්ශනා වඩා උතුම් අරහත්වයට පත්වී මේ බුද්ධ ශාසනයෙහි පැවිදි බව ලබා ගත්තේය.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය වූයේ සවස් කාලයේ

බෝධින් වහන්සේ සවස් වනතුරුම නිල්වන් රශ්මිය ප්‍රධානය පැතිරුණ ෂඩ්වර්ණ රශ්මිධාරා විහිදුවමින් ආකාසයේම වැඩ සිටියේය. හිරු බැස යද්දී අපගේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අහසින් පහළට වැඩම කොට රෙහෙණ නැකතින් පොළොව මත පිහිටා වදාළේය. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර දෙසීය තිස් හයක් ගිය තැන පුර තුදුසුස්වක ඉර අවරට ගිය රෙහෙණ නැකතයි. සාමාන්‍යයෙන් ධාතුන් වහන්සේගේ පින්කම් පැවැත්වෙන්නේ උදේ කාලයේ හෝ දිවා කාලයේදීය. මෙහි තිබෙන විශේෂත්වය උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක් දෙරණේ රෝපණය වූයේ සවස් කාලයේදීය. එවිට මහපොළොව කම්පා වුණි. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ ඒ සිරිවල් රේඛා වලින් හටගත් මුල් රන් කටාරම වටා වැළඳ ගනිමින් පහළට පැමිණ මහපොළොවෙහි බැස ගත්තේය. එතැනට රැස් වූ සියලු මහජනයා මැනවින් පොළොවෙහි පිහිටා වදාළ අපගේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට හාත්පසින් සුවඳ මල් ආදියෙන් පූජාවන් පැවැත්වීය.

තව තවත් සිදුවන මහා ප්‍රාතිහාර්යය

උතුම් බෝධින් වහන්සේම පෙර බුදුවරුන්ගේ බෝධීන් වහන්සේ පිහිටිය තැනම පිහිටියේය. එය සිදුවූයේ සෘද්ධියෙනි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මහපොළොවේ පිහිටනවාත් සමඟම මහත් ප්‍රාතිහාර්යය සිදුවුණි. මහාපොළොව තොටිල්ලක් සේ සෙලවුණි. පිණිපොද ඇඳ හැලුණි. විදුලි එළි විහිදී ගියේය. අකුණු හඬ පැතිරුණි. දෙවියන්ගේ නොයෙක් දිව්‍ය උපහාර සිදුවුණි. දෙවි මිනිසුන්ගේ සාදු හඬ අකණිටා බඹලොව දක්වාම ඇසුණි. නොයෙක් සුවඳ පැතිර ගියේය. නැවතත් මහා වැස්සක් ඇදහැලුණි. හාත්පස හිම ගැබින් සීතල වළාවන්ගෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වසා ගත්තේය. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මහත් ශ්‍රද්ධා ඉපදවෙමින් අපගේ ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ නොපෙනී ගොස් සත් දිනක් ඒ අහස් ගැබෙහි වැඩ වාසය කළේය.

මිහිදුමින් වැසී තිබුණ බෝධින් වහන්සේ නැවත දකින්නට ලැබීම

සත් දවස ඉක්ම ගිය පසු සියලු වළාකුළු පහවී ගියේය. ෂඩ් වර්ණ රශ්මිධාරා විහිදුවමින් අපගේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින අයුරු දැකබලා ගන්නට ලැබුණි. එහි මහා බෝධින් වහන්සේගේ සොඳුරු කඳන් පංච මහා ශාඛාවන් සහ ඒ ශාඛා පහේ මෝරා ගිය පිරිපුන් බෝ ඵල පහකුත් මනාව පෙනුණි. එය දුටුවෝ සාදූකාර දුන්නෝය. සඟ පිරිස සහිත අපගේ මිහිඳු මහරහතන් වහන්සේත්, භික්ෂුණීන් සහිත වූ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේත්, පිරිස සහිත රජුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩහුන් තැනට පැමිණියේය.

කතරගම වැසි ක්ෂත්‍රියවරුත් චන්දන ගමෙහි ක්ෂත්‍රියවරුත් තිවක්ක බ්‍රාහ්මණයාත් ලක්දීපවාසි බොහෝ ජනයාත් දේවානුභාවයෙන් එතැනට පැමිණියේ ය. එය සිදුවූයේ මෙසේය. ඒ පිරිසට එදාම අනුරාධපුරයට යන්නට සිතුණි. වෙන ගමන් ගිය අයත් පාර වැරැදි අනුරාධපුරයටම ආවේය. මේ නොයෙක් දේ සිදුවූයේ දෙවියන්ගේ මැදිහත් වීමෙනි. දුර ප්‍රදේශවාසින් එක් දිනකින් පැමිණියේ දේවානුභාවයෙන් මඟ කෙටි වූ නිසාවෙනි. ජය ශ්‍රී මහා බෝධි පූජා මහෝත්සවයට උනන්දුවෙන් රැස් වූ ඒ මහජනයා නොයෙකුත් ප්‍රාතිහාර්යයන් නිසා පුදුමයෙන් පුදුමයට පත්ව සිටියේය. මේ ආකාරයට අවුරුදු පන්දහසක් දෙව් මිනිසුන්ට සෙත සලසන මහානුභාව සම්පන්න වූ බුදුරජාණන් වහන්සේ හා සමාන වූ නොයෙක් ප්‍රාතිහාර්යය පානා උතුම් නිල්වන් රැස් විහිදුවන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය වූ මේ පුණ්‍ය මොහොත පින් ඇති බොහෝ අය සියැසින් දැක ගත්තේය.

මේ අවස්ථාවේදී නැඟෙනහිර ශාඛාවේ ඉදුනු ඵලයකින් බෝධින් වහන්සේ අට නමක් මතුවෙන ප්‍රාතිහාර්ය සිදු විය. එය අපූරු ප්‍රාතිහාර්යකි. ඒ බෝධින් වහන්සේ අෂ්ඨඵල බෝධින් වහන්සේ ලෙස නම් විය. තවත් ප්‍රාතිහාර්යය සහිතව දෙතිස්ඵල බෝධින් වහන්සේ පහළ වුණි.

ඊළඟ ලිපියෙන් අප කථා කරන්නේ අනුරාධපුර මහා විහාරයේ සිහවික්කන්ත සැලැස්ම පිළිබඳවයි. සිහවික්කන්ත කියන වචනයවත් බොහෝදෙනා අසා නැති තරම්ය. නිදාගෙන සිටිින සිංහයෙක් ආකාරයටයි මහාමෙවුනා උයනේ ගොඩනැඟිලි ඉදිවූයේ. ඒ විස්තරය ලබන සතියේ ලිපියෙන් ඉගෙන ගනිමු.


පසුගිය සතියෙන්:  ශ්‍රී මහා බෝධි පුරාණය-17: දේවානම්පියතිස්ස රජු මහා බෝධින් වහන්සේ පිළිගැනීම