Print this Article


මියගිය අතීතය නූපන් අනාගතය හා අත්දකින වර්තමානය

මියගිය අතීතය නූපන් අනාගතය හා අත්දකින වර්තමානය

දිනක් බුදුරදුන් හමුවීමට පැමිණි එක් දේවතාවෙක් උන්වහන්සේගෙන් මෙසේ විමසුවේය. වනගත ව වැඩ සිටින, එක් වේලක් අහර වළඳන, ශාන්ත වූ බ්‍රහ්මචාරී පැවිද්දෝ කුමක් නිසා ප්‍රසන්න පෙනුමෙන් යුක්ත වන්නෝද?බුදුරජාණන් වහන්සේ

මෙසේ වදාළහ. ඔවුහු අතීතය (ඉකුත් වූ දේ ) ගැන ශෝක නොකරති. අනාගතයේ (නොලැබුණු දේ ) ගැන නොපතති. එබැවින් වර්තමානයෙහිම යැපෙති. අනාගතයට අයත් (නොලත් දෙය ) පතන, අතීතයට අයත් (ඉකුත් වූ දෙය ගැන) ශෝක කරන අනුවණයෝ සිඳ දැමූ බව දණ්ඩක් මෙන් වියැලෙත්. ඔවුන්ගේ වර්ණය (පෙනුම) දකින්නන් පහදවන්නේය

මෙහි පළමු ප්‍රකාශය සියලු කෙලෙසුන් කෙරෙන් මිදී ගත් බුද්ධාදී උතුමන්ගේ නොවේ නම් වනගතව පැවිදි දම් පිරූ විරාගී උතුමන්ගේ චින්තනය අර්ථවත් කරයි. දෙවන ප්‍රකාශය කෙලෙස් භරිත වූ අවිදු අඳුරෙහිම වසන්නා වූ අනුවණ ලෝ වැස්සන් ගැන එනම් අප ගැන කියන්නකි.

අතීතය යනු ඉක්ම ගිය යුගයයි. මියගිය අවදියයි. ඒ පිළිබඳව අප සිතන්නේ ද, තීරණ ගන්නේ ද අප තුළ ඇති මතකය අනුවය. සිත් තුළ ඉතිරිව ඇති සාධක සැලකිල්ලට ගෙනය. ලෝකයෙහි සියල්ල වෙනස් වෙයි. පෙරළෙයි. විනාශ වෙයි. අතීතය යනු ද එම සොබාදහමට අනුගත වූ අවදියයි . සාමාන්‍ය ජීවිතය තුළ අප දැනුම ලබන්නේ ඇසින් බැලීමෙනි. කනින් ඇසීමෙනි. දිවෙන් රස විඳීමෙනි. නැහැයෙන් ආඝ්‍රහණය කිරීමෙනි. සිරුරින් ස්පර්ශ කිරීමෙනි. එසේ ලබන දැනුම ඉන්ද්‍රියානුසාරිවන බැවින් ඉන්ද්‍රිය ඤාණය නම් වේ. අතීතය ගෙවී ගොස්ය. එය ඉඳුරන්ට ගොදුරු නොවන්නේය. ඉඳුරන් මගින් ඍජුවම අත්දැකිය නොහැකිය. එහෙත් කෙලෙස් සහිත සිත් ඇති සත්ත්වයෝ අතීතය, එනම් ජීවිතයේ ඉක්ම ගිය ළමා, තරුණ ආදී අවදි අමතක කිරීමට, මෙනෙහි නොකර සිටීමට අසමත් වෙති. ඔවුහු ඒ ඉක්ම ගිය අවදිවලට අයත් සුව දුක් නැවත නැවතත් මෙනෙහි කරති. එම සුව දුක් ඉක්ම ගියේ යැයි ශෝක කරති. දුකට පත්වෙති. ජීවිතය අත්දකින වර්තමානයෙහි සැනසිල්ල අහිමි කර ගනිති. පසුතැවිල්ලටම පත්වෙති. ඒ ඉක්ම ගිය අතීතයෙහි විඳි සුව සොම්නස් නැවත අපේක්ෂා කරති. අහිමි වූ දේ සොයති. ඒවා මගේය, අපේ යැයි හඹායෙත්, එයින් වෙහෙසෙට ද, දොම්නසට ද පත්වෙති. වර්තමාන පැවැත්මට හෙවත් මෙම භවයට ඔබ්බෙහි අතීතය එනම් පෙර අතීත පැවැත්ම, උපතට පෙර ජීවිතය අරබයා සාමාන්‍ය ජනයා තුළ ඇත්තේ ද දැනුම පාදක කොට ගත් ආකල්පයකි. එය ප්‍රත්‍යක්ෂයක් නොවේ. විශ්වාසයෙකි.

අනාගතය යනු නූපන් අවදියයි . අත් නුදුටු යුගයයි.ඒ පිළිබඳව අප සිතන්නේ ද තීරණවලට එළඹෙන්නේ ද වර්තමානය පාදක කොට ගෙනය. වර්තමාන අත්දැකීම් අනුවය. අතීතය පිළිබඳව මෙන්ම අනාගතය පිළිබඳවද අපි උපකල්පන අනුමාන ඇත්තෝ වෙමු. අනාගතය ද ඉඳුරන්ට ගොදුරු නොවේ. එය පහළ වී නැති බැවිනි. අත්දැකීමෙන් දැන දැකගත නොහැකි බැවිනි. අතීතය මෙන්ම අනාගත ය ද සිහිනයෙකි. එය සැබෑවක් වන්නේ යැයි අපි සිතමු. අපේක්ෂා කරමු. ඒ කෙලෙස් සහිත සත්ත්වයාගේ ස්වභාවයයි. රාගයෙන් රත් වූ , ද්වේශයෙන් මුසපත් වූ, මෝහයෙන් මුලා වූ සිත් ඇති අපි අනාගතය, නූපන් අවදිය හෝ මතු පැවැත්ම පිළිබඳව අපමණ පැතුම් ඇත්තෝ වෙමු. බලාපොරොත්තු ඇත්තෝ වෙමු. සියල්ල වෙනස් වෙයි. පෙරළෙයි. වැනසෙයි. අනාගතයට ද උරුමව ඇත්තේ එම යථාර්ථය මය. එහෙත් පුහුදුන් සත්ත්වයෝ නිසැකවම අනිත්‍ය වූ ස්ථිර නොවන අස්ථීරවන වැනසෙන ඒ අනාගතය පිළිබඳව ද ප්‍රාර්ථනා ඇත්තෝය. ඉඳුරන්ට ගොදුරු නොවන නූපන් සුව සොම්නස් අපේක්ෂා කරන්නෝය. අතීතයේ මෙන්ම වර්තමානයේද විඳි දුක් දොම්නස් මතු ඇති නොවේවායි පතන්නෝය. වර්තමාන පැවැත්මට නොවේ නම් මෙම භවයට මත්තෙහි අනාගතය, එනම් මරණින් මතු පැවැත්ම අරබයාද සාමාන්‍ය ජනයා තුළ ඇත්තේ දැනුම පාදක කොට ගත් ආකල්පයෙනි. ප්‍රත්‍යක්ෂයක් නොවේ. විශ්වාසයෙකි.

මියගියා වූ ද, පසක් කළ නොහැකි වූ ද, දැනුම් විශ්වාස, ආකල්ප හා මතකයන් අනුව ගොඩනගා ගත්තා වූ ද අතීතය අරබයා අපි ශෝක වෙමු. ඒ මියගිය අතීතයේ අහිමි වූ දේ ගැන දුක් වෙමු. තැවෙමු. අපේක්ෂා ඇති කර ගනිමු. ඒ අතීතයේ කළ අනුවණකම් ගැන ශෝක වෙමු. විඳි දුක් සිහි කරමු. ඒ දුක් නැවත නොපතමු. විඳි සුව සොම්නස් සිහි කරමු. ඒ සුව සොම්නස් නැවත අනාගතයේදී ප්‍රාර්ථනා කරමු. මේ අපේ වර්තමානයයි. ඒ ඉක්ම ගිය දේ භෞතික වූ සම්පතක් විය හැකිය. වින්දනය කළ සැපතක් විය හැකිය. දුකක් විය හැකිය. ඒ ඉක්ම ගියේ ළමාකම හෝ තරුණකම විය හැකිය. කුමක් වුවද අතීතයට අයත් වූ ඒ මියගිය දේ සිතින් ඉවත් කිරීමට මතකයෙන් ගලවා දැමීමට අමතක කර දැමීමට අපි අසමත්ව සිටිමු. එබැවින් වර්තමානය තුළ අපට පසුතැවිල්ල උරුම වී තිබේ. සතුට සොම්නස අහිමි වී තිබේ.

නූපන්නා වූ ද, පසක් කළ නොහැකි වූ ද, දැනුම්, විශ්වාස, ආකල්ප, අත්දැකීම් ආදිය අනුව ගොඩනගා ගත්තා වූ ද අනාගතයක්, උපකල්පනාත්මක වූ අනුමාන සහිත වූ මතු ජීවිතයක්, මතු පැවැත්මක් අපට ඇත. අපගේ සිත්සතන් අරක්ගත් ඒ අනාගතය අරබයා අපි අනේකාකාර වූ ප්‍රාර්ථනා තබා ගෙන සිටිමු. එම ප්‍රාර්ථනා ඉටු කර ගැන්මට වෙහෙසෙමු. වෑයම් කරමු. කළ හැකි සියල්ල කරමු. සියලු දුක් පීඩා විඳිමු. සුව සොම්නස් අහිමි කර ගනිමු. අනාගතයෙහි ලැබේ යැයි, ලබා ගත හැකි යැයි සිතන පතන දේ හඹා යමු. ඒ භෞතික සම්පත් විය හැකිය. නොවිඳි හෝ විඳි සුව සොම්නස් විය හැකිය. ලද නොලද ජයග්‍රහණ විය හැකිය. කුමක් වුවද අනාගත පැතුම්වලින් තොරව ක්‍රියා කිරීමට අපි අසමත්ව සිටිමු. ඒ අනුව ද වර්තමානය තුළ අපට පීඩනයම උරුම වී තිබේ. සතුට සොම්නස අහිමි වී තිබේ. අපි අතීතයේ මහ බර ද, අනාගතයේ මහ බර ද සිත් තුළ ඇති බැවින්ම සැහැල්ලු සිත් නැත්තෝ වෙමු. විටෙක මේ බර බහා තැබීමට සිත් වන නමුදු අපි ඊට අසමත් ව සිටිමු. “බර බහා තැබිය යුතුය, මේ බර නම් මහ දුකකි, පීඩාවකැ”යි දකිමින්, එසේ කියමින් අපි තවදුරටත් ඒ අතීත බර ද , අනාගත බර ද දරා සිටිමින් දුක් විඳිමු. ඒ නිසා ම වියළි බට දණ්ඩක් මෙන් ප්‍රිය මනාප නොවන, දුර්වර්ණ, අසහනකාරී වර්තමානයක් අපට උරුමව ඇත. අතීතය ගැන ශෝක නොකරන, අනාගතයෙහි කිසිවක් නොපතන බුද්ධාදී උතුමන් යැපෙන්නේ වර්තමානයෙනි ඉක්මගිය ඉකුත් වූ සාංසාරික පැවැත්ම නම් වූ අතීත ස්කන්ධ පටිපාටිය අරබයා උපන් ශෝකයක් නැති උන්වහන්සේලා තුළ මතුවට ඇති වන අනාගත ස්කන්ධ පටිපාටියන් පිළිබඳ අපේක්ෂාවක් නැත. අතීතය අත්හළ අතීතය සිඳ දැමූ උන්වහන්සේලාට අදාළ පැවැත්මක් ද නැත්තේ ය. ඒ නිවන් පසක් කළ බැවිනි. ඉපදීම අවසන් කළ බැවිනි.

බුද්ධ කාලීන භාරතීය සාමයික චින්තාවන්හි කේන්ද්‍රීය සංකල්පය වූයේ ආත්ම දෘෂ්ටියයි. එනම් “මම, තමා යනුවෙන් සැලකිය හැකි පදාර්ථයක් ඇත. “ යන්නයි. මම සිටිමි. පවතිමි. ආත්මයක් ඇත. ආත්මය වූකලී භෞතික ස්වරූපයෙන් ඔබ්බට ගිය පදාර්ථය යැයි සැලකිණ. අනාදිමත් කාලයෙක සිට භාරතීය චින්තකයෝ ආත්මය යනු කුමක් ද? එහි ස්වභාවය කෙබඳු දැයි හෙළිකර ගැන්මේ ප්‍රයත්නයෙක නිරත වූහ. උපනිෂද් යුගය එහි පරිණත අවස්ථාවක් ලෙස සැලකේ. ආත්මයක් ඇත. එය නිත්‍යය, සදාකාලික යැයි පිළිගැනීමෙන් ශාස්වත හෙවත් බව දෘෂ්ටිය බිහි වෙයි. ආත්මයක් ඇත. එය නිත්‍ය නොවේ. තාවකාලිකය. මරණින් කෙළවර වේ යැයි පිළිගැනීමෙන් අශාස්වථ, උච්ඡේද හෙවත් විභව දෘෂ්ටිය උපදියි. මෙකී උභයාන්තයට ඇතුළත් කළ හැකි අනේකවිධ දෘෂ්ටිවලින්, සාමයික දාර්ශනික මතවාදවලින්, අන්තවාදී ස්ථරවලින් භාරතීය සාමයික පරිසරය ව්‍යාකූලත්වයට පත් ව තිබිණ. බුදු සමය පෙන්වා දෙන පරිදි එකී සාමයික දෘෂ්ටිවාදවලින් සමහරක් පූර්වාන්ත කල්පිකය. එනම් සීමාන්තිකව අතීතය, අතීත ආත්මය සොයා යාමෙන් බිහිවී තිබේ (පුබ්බන්ත කප්පික) . සමහරක් අපරාන්ත කල්පිකය (අපරන්ත කප්පික) අනාගතය, අනාගත ආත්මය සොයා යාමෙන් බිහි වී තිබේ. බුදු සමය වූ කලී ආත්ම දෘෂ්ටිය පාදක කොට ගත් එම සංකල්පය කේන්ද්‍ර කොට උපන් ධර්ම මාර්ගයක් නොවේ. ආත්මය යනු හුදෙක් මානසික ප්‍රක්ෂේපන මාත්‍රයෙකැයි, බුදු සමය පෙන්වා දෙයි. සියල්ල අනිත්‍යය, දුකය, අනාත්මය, ආත්ම වශයෙන් මම, තමා යැයි සලකා ගත හැක්කක් නැත. මෙසේ ආත්ම දෘෂ්ටිය පසෙකින් තබන බුදු සමයට පූර්වාන්ත කල්පික වීමට හෙවත් අතීත ආත්මය හඹා යාමට වුවමනාවක් නැත. අනාගත ආත්මය හඹා යාමට ද වුවමනාවක් නැත. බුදුරජාණන් වහන්සේ ආත්ම සංකල්පය ද එයින් උපන් පූර්වාන්ත කල්පනය මෙන්ම අපරාන්ත කල්පනය ද එම උභයාන්තයෙන් උපන් ශාස්වත අශාස්වතාදී සියලු දෘෂ්ටිවාදයන් ද පසෙකින් තබා සසර දුකත්, ඉන් අත්මිදීමත් වදාළහ. වර්තමානයටම අයත් සත්‍යය ප්‍රකාශ කළහ. ඒ චතුරාර්ය සත්‍යයයි.

පටිච්ච සමුප්පාදයයි. ත්‍රි ලක්ෂණයයි. එම සත්‍යය වූ කලී විද්‍යාමාන වන්නේම ය පූර්වාන්තයට, අතීතයට හෝ අපරාන්තයට, අනාගතයට සීමාන්තික ව යාමෙන් යථාර්ථය දැන දැකගත හැකි නොවේ . සත්‍යය වර්තමානයෙහිම පවතියි එය සන්දිට්ඨිකය. ඇස්පනා පිටම වර්තමානයේම අත්දැකිය හැකිය. අකාලිකය. කල් නොයවාම වර්තමානයේම දැන දැකගත හැකි ය. ඒහිපස්සිකය. එව බලවයි මේ මොහෝතේම පෙන්වා දිය හැකිය.