Print this Article


නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී බුද්ධාගම ආරක්ෂා කිරීමේ වගන්තිය එලෙසින් ම - සියලුම දේශපාන පක්ෂ එකඟ බව අගමැති කියයි

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී බුද්ධාගම ආරක්ෂා කිරීමේ වගන්තිය එලෙසින් ම

- සියලුම දේශපාන පක්ෂ එකඟ බව අගමැති කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කොලොන්නාව සේද වත්තේ වෙහෙරගොඩැල්ල පුරාණ මහා විහාරස්ථානයේ ඉදි කරන ලද අභිනව බෝධි මළුව, බෝධි ප්‍රාකාරය, චෛත්‍ය, ධර්ම ශාලාව හා පුස්තකාල මන්දිරය සඟ සතු කිරීමේ පින්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (09) දා සිදු කෙරිණි. එහි දී අගමැති වික්‍රමසිංහ මහතා නව චෛත්‍ය සඟ සතු කර පූජා කළ අවස්ථාව. එම අවස්ථාවට විහාරාධිපති අඹන්පොල ඤාණාලෝක හිමි ඇතුළු මහා සංඝ රත්නය, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ඡායාරූපය – වාසිත පටබැඳිගේ

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී දැනට ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම සහ එය ආරක්ෂා කිරීම කළ යුතුය යන වගන්තිය ඒ ආකාරයෙන් ම පැවැතිය යුතු බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකඟතාව පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

නව ව්‍යවස්ථාව පිළිබඳ දේශපාලන පක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවල දී ද්‍රවිඩ සංවිධානය ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ බුදු දහම ආරක්ෂා කිරීම සහ ප්‍රමුඛස්ථානය දීම සම්බන්ධයෙන් ඇතුළත් වගන්තිය ඉදිරියටත් පැවැතිය යුතු බවට එකඟතාව පළ කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නොමැති බව ද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කෙළේය.

දේශපාලන පක්ෂ පමණක් නොව කතෝලික සභාවේ කාදිනල් මැල්කම් රංජිත් කාදිනල්තුමා, හින්දු, ඉස්ලාම් ආගමික නායකයන් බුදු දහම ආරක්ෂා කිරීමේ සහ ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුය යන වගන්තිය අලුත් ව්‍යවස්ථාවටත් ඇතුළත් කළ යුතු බවට පිළිගෙන ඇතැයි ද අගමැතිවරයා කීය. එනිසා මේ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් ඇති කර ගත යුතු නොවන බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා බුද්ධ ශාසනය තුළ අවශ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම් සිදු කිරීමට බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර කටයුතු කරන බව ද කීය. දැන් ඇත්තේ බුද්ධ ශාසනය දියුණු කිරීමට ක්‍රියා කිරීම බව ද අගමැතිවරයා කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කොලොන්නාව, සේද වත්තේ වෙහෙරගොඩැල්ල පුරාණ රජ මහා විහාරස්ථානයේ ඉදි කරන ලද අභිනව බෝධි මළුව, බෝධි ප්‍රකාරය, චෛත්‍ය, ධර්ම ශාලාව සහ පුස්තකාල මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය (09) දා සහභාගි වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.