Print this Article


පූජාච පූජනීයානං

වැලිගම ඤාණරතන මහා නා හිමි

දකුණු සිරිලක වැලිගම වල්ලිවෙල දෙනියෙගෙදර කටුකුරුන්ද වෙල්ලාලගේ ඔදිරිස් ද සිල්වා මහෝපාසක තුමා හා කොග්ගල වෙල්ලාලගේ බබුන්හාමි මහෝපාසිකාව යන දෙමව්පියන්ට දාව දස දෙනෙකුගෙන් යුත් පවුලේ කණිටු පුත් වශයෙන් 1913 ඔක්තෝබර් 14 වැනි දාමෙලොව එළිය දුටහ.

කුඩා අවධියේ සිට ම පිළිවෙත් පුරනු රිසි වූ කරෝලිස් කුමරුවා 1925 නොවැම්බර් 30 වැනිදා තල්පේ මාකඳුගොඩ නිග්‍රෝධාරාමය ගොරකාන ධර්මරක්ෂිතාරාමය යන උභය විහාරාධිපති අහංගම සිරි විමලසාර මාහිමිපාණන් වහන්සේ වෙතින් එළුකැටිය බිම්බාරාමයේදී ‘වැලිගම ඤාණරතන’ නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත් වූහ.

දෙවිනුවර ශ්‍රී ධර්මානන්ද පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලද ඤාණරතන හිමියෝ 1930 කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් රාජකීය පණ්ඩිත උපාධිය ත්‍යාග සහිතව ලබා ගත්හ. 1933 ජූනි 09 වන දින වේරගම්පිට සිරි රේවත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්ද පැළෑණේ සිරි වජිරඤාණ මහා නාහිමි, අහංගම පඤ්ඤාලෝක නාහිමි, තල්අරඹේ ඉන්දසාර නාහිමි, යන තුන්නම කර්මවාගාචාර්යයන් වහන්සේලා ලෙසින් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායික භික්ෂූන් වහන්සේලා වෙතින් සුපරිශුද්ධෝපසම්පදාව ලදහ.

මෙසේ ශීලයත් දැනුමත් ලැබූ උන්වහන්සේ පණමෙන් සීලය ආරක්ෂා කෙරෙමින් පත පොත කියවා දැනුම දියුණුකරගෙන සහජයෙන් ම ලැබී තිබුණු ගුණය ඔප් නගා ගත්හ.

සිංහල පාලි සංස්කෘත හින්දි භාෂා මෙන් මැ ඒවා පිළිබඳ ව්‍යාකරණ ඡන්දස් අලංකාර තර්ක න්‍යාය ඉතිහාසාදී ශාස්ත්‍ර විෂයනුත් හොඳින් විමංසනාත්මක ව දැනගත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙසෙසින් ම ත්‍රිපිටක බුද්ධ වචනය අටුවා ටීකා සන්න ගැට පද සහ සහ ප්‍රකරණ ඇසුරු කෙරෙමින් ප්‍රගුණ කොට ගත්තේ මහත් අභිලාෂයෙනි.

එහෙයින් ධර්ම විනය පිළිබඳව පැන නැග ආ ඕනෑ ම ගැඹුරු ප්‍රශ්නයකට නාහිමි පිහිට පැතුවෝ අපමණයහ. කාරණය ගැඹුරු තරමට ම උන්වහන්සේගේ ප්‍රඥා කෞශල්‍යය විදහා පෙන්වනුයේ ගැඹුරු මුහුදෙහි සිතැඟි සේ ක්‍රීඩා කරන්නා වූ මහා මත්සයෙකු ලෙසිනි.

බුරුම භාවනා විවේචනය කුදුසික විවරණය ආදී ග්‍රන්ථයෝද මේ සඳහා නිදසුන් ය.

ඊර්ෂ්‍යා පරවශයන් හැර බෞද්ධ ලෝකයාගේ අවංක ගෞරවාදරයට භාජනය වෙමින් වැඩ වුසු මහනාහිමිපාණන් වහන්සේ කිසි විටෙක බොරු ඔද තෙද තිබුණේ නැත.

උන්වහන්සේ හමුවට එන බාල මහළු උසස් පහත් දුප්පත් පොහොසත් උගත් නූගත් ගිහි පැවිදි යන කවර තරා තිරමේ කෙනෙකුන් ගැනවත් උසස් පහත් කොට සිතා උසස් අය අගයන්නටවත් පහත් අය නිගන්නටවත් උන්වහන්සේ සූදානම් නොවූහ.

හමුවන කවුරුත් තුටු කොට සාරාණීය කාරණයක් සිහිකළ යුතු මතක තබා ගත යුතු වැදගත් දෙයක් කියා දීම උන්වහන්සේගේ ස්වභාවයයි.

උන්වහන්සේ විසින් ලියූ ලොකු කුඩා පොත් ගණන ශතාධිකය. නොයෙක් මාතෘකා යටතේ රචිත ග්‍රන්ථ සමුදාය අති විශිෂ්ටය.

1954 වර්ෂයෙහි බුරුම රට පැවති ඡට්ඨ සංගායනාවට සහභාගී වූ උන්වහන්සේ ජාතක පාලිය සංශෝධනය කළහ.

මහානාහිමි සාධු චරිතාපදානයෙහි සඳහන් අපූරු පුවතක් මෙසේ ය. ‘1956 දී ඉන්දියාවේ බැංගලෝර් හි සීමා බන්ධනයකට සහභාගී ව කළ ආශ්චර්යවත් කාර්යයක් පිළිබඳව අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ මෙසේ සඳහන් කළහ.

වැලිගම පණ්ඩිත ස්ථවිරයන්ගේ ස්මෘති ඥානය විශ්මය ජනක වූවක් බව තේරුම් ගන්නට හැකි වූයේ එකළ බැංගලෝර්හි පැවති සීමා බන්ධනයෙහිදී ය.

වජිරාරාම භික්ෂූන් පෙරටු කොට ගත් එම භික්ෂු කණ්ඩායමට පාමොක් දෙසීමට ඇවැසි භික්ෂු ප්‍රාතිමෝක්ෂයක් රැගෙන යාමට නොහැකි වූයෙන් බලවත් අපහසුතාවයට පත් වූ අවස්ථාවේ වැලිගම පඬිහිමිපාණන් ඉදිරිපත් වී මා හට කහට කෝප්පයක් සමඟ පොතක් සහ පෑනක් ගෙන දෙන්නැයි අයැද සිටි අතර එම අවශ්‍යතා සපුරා හෝරා තුනක් පමණ ගත වත්ම, මුළු ප්‍රාතිමෝක්ෂය ම කිසිදු ඌණතාවයකින් තොර ව ලොකු අකුරින් ලියා අවසන් කිරීම එතැනට රැස් වී සිටි මහා සංඝයා විමතියට පත් කළ අසිරිමත් සිදුවීමක් විය.’

උන්වහන්සේගේ කාර්ය සාඵල්‍යය අගය කළ හැක්කේ එක් අංශයෙකින් පමණක් නොවේ.

ලක්දිව හොඳම ධර්ම දේශකයා ලෙසින් අභිෂේක ලැබූ උන්වහන්සේ විනයෙහි සුවිශාරදයෙකි. විශිෂ්ට ලේඛකයෙකි. මහා දේශකයෙකි. පාණ්ඩිත්‍යයේ කෙළ පැමිණියෙකි. සැබෑ ගුරුවරයෙකි. දක්ෂ පාලකයෙකි. නියම නායකයෙකි. සෘජු ස්ථිරසාර ගුණ ඇති සැබෑ භික්ෂුවකි. සසුනඹර එකළු කළ යුග පුරුෂයෙකි.

සිය දිවියෙහි 101 වර්ෂයක් තුළ 89 වසරක් පැවිදි දිවිය ගත කොට 2014 වර්ෂයෙහි ජනවාරි මාසයෙහි 17 වැනි දින උන්වහන්සේ අපවත් වී වදාළහ.


පෙතිගමුවේ රාහුල හිමි

සුපේෂල ශික්ෂාකාමී සංඝ සෝභන මහ යතිවරයන් වහන්සේ නමක් වන පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපති පෙතිගමුවේ රාහුල මහ ස්වාමින්ද්‍රයාණන් වහන්සේ මේ මස 03 වන දිනට යෙදුන තම පින් බර දිවියේ හැට තුන්වෙනි විය සැපිරූහ.

රයිගම් කෝරළයේ පෙතිගමුව ග්‍රාමවරයේ දන්වත්ත ලියනගේ චලෝ සිඤෝඤෝ සහ කමලාවතී හෙට්ටිආරච්චි යන දම්පතින්ට දාව ජන්මලාභය ලැබූ උන්වහන්සේ මූලික පැවිදි අධ්‍යාපනය වරකාගොඩ පුරාණ ගල්ලෙන් රාජමහ විහාර පිරිවෙනින් නිමවා උසස් අධ්‍යාපනය ඓතිහාසික සුනේත්‍රා දේවි මහා පිරිවෙන් විද්‍යායතනයේදී පරිපූර්ණ කළහ.

1980 ජුනි 17 වෙනි දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මංගල උපෝසථාගාරයේදි උපසම්පදා භූමියට පත්වූහ.

ඒ ගල්ගොඩ ශ්‍රී මහා විහාර පාර්ශ්වයේ මහා නේතෘභූත තුම්බෝවිල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරයේ අධිපතිව වැඩ විසූ වේරහැර නන්දසාරාභිධාන මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නය ලෙසය.

වේරහැර නන්දසාර නාහිමියන්ගේ ඇවෑමෙන් යථෝක්ත විහාර ගණයේ අධිපතිභාවයට පත් උන්වහන්සේ ආචාර පරම්පරාවේ උරුම වු වගකීම් සමුදාය ශාසනික සම්ප්‍රදායට අනුකූලව නොපිරිහෙළා කැපවීමෙන් ඉටු කරති.

සිය ශාසනික නිජභූමිය වූ පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ වර්තමාන කළඑළිය ලද්දේ උන්වහන්සේගේ අපිරිමිත කාර්යශූරභාවයෙනි.

එකල බස්නාහිර පළාතේ කීර්තිමත් විද්‍යාස්ථානයක් ලෙස නමක් දිනූ ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන වර්තමානය තුළ ශ්‍රී රාහුල කලායතනයෙන්ද, ශ්‍රී රාහුල පෙර පාසලෙන්ද, ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලෙන්ද දැයේ දරුවන්ගේ ශාස්ත්‍රාභිලාෂයන් ඉටු කරමින් දිනෙන් දින බැබළෙන්නේ ය.

වර්ෂ 88 ක් තරම් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බස්නාහිර පළාතේ ප්‍රධානතම කලා මංගල්‍යයක් වන පිළියන්දල මිහිඳු මහ පෙරහර වර්ෂයක් පාසා කලඑළි ලබමින් විරාජමාන වන්නේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නිසාමය.

ජාත්‍යන්තර එස්.ඕ.එස්. ළමා ගම්මානය තුළින් මතු වන්නේ උන්වහන්සේගේ හෘදයාංගම සමාජ මෙහෙවරයි. කොපමණ කාර්ය බහුල වුවත් දායකකාරකාදීන්ගේ කටයුතු සොයා බලා ඉටු කරති.

දායකකාරකාදීන් රෝගාතුර වු ඕනෑම අවස්ථාවක උන්වහන්සේ වැඩමවා පිරිත් දේශනා කරන අවස්ථා අනන්තය. උන්වහන්සේ වැඩම නොකළ එකඳු මළගෙයක්වත් ගමේ නගරයේ නොමැති තරම්ය.

සිය විහාර ගණයට අයත් උප විහාරස්ථානයේ කටයුතු උන්වහන්සේ නොපිරිහෙලා සොයා බලන්නේ දහසකුත් වැඩ කටයුතු මධ්‍යයේය.

මෙවර යෙදෙන 63 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් විහාරස්ථානයේ පින්කම් මාලාවක් පවත්වන අතර, මෙම 8 සහ 9 වන දිනද පොළොන්නරුව, සෝමාවතිය පුද බිමේද ආශිර්වාද පූජාවක් පැවැත්වේ.

එසේ හෙයින් පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරය, වේරහැර ගංගාරාමය, තුම්බෝවිල සද්ධර්මාරාමය, හිරිපිටියේ පුරාණ විහාරය, තිත්පත්තර දක්ඛිණගිරි විහාරය, යන පංච මහා විහාරාධිපති ජාත්‍යන්තර එස්.ඕ.එස්. ළමා ගම්මානයේ අධ්‍යක්ෂ පෙතිගමුවේ රාහුල මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේට චිරාත් කාලයක් ජාතික ශාසනික සමාජ මෙහෙවරෙහි නියැලීමට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා!