Print this Article


සම්බුදු දහමේ ගැඹුරුම දහම් පදයක් අන්ධකාරය තුළ

සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු -09:

සම්බුදු දහමේ ගැඹුරුම දහම් පදයක් අන්ධකාරය තුළ

කෙනෙක් කොයි තරම් මුළාවකට පත්වෙනවද. මහකළුවර රාත්‍රියක සොහොන් පිට්ටනියක් ළඟින් යනකොට එන සිතිවිලි කොයි විධියේ දේවල් ද? අන්තිමට බලනකොට ආලෝකය ආව හැටියේ තේරෙනවා මේ බොරු එහෙම් පිටින් ම මම ඇති කරගත්තු මතිභ්‍රම භ්‍රාන්තියක් පමණයි. ඇත්ත දෙයක් නැහැ මෙතන. ඒ අයුරෙන් තමයි ලෝකයාත්. අවිද්‍යා මහා ඝණ අන්ධකාරයේ ඉන්න ලෝකයාත් සිත තුළින් මවා ගන්නවා යම් මැවීම් සමූහයක්

 

තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තිබෙන ගැඹුරුම පදයක්, සංස්කාර. මේ අප කවුරුත් සංස්කාර කියල කියනවා. ඔය මරණ දැන්වීම්වලත් සියලු සංස්කාරයන් අනිත්‍යයි කියනවා. නමුත් සංස්කාර මොකක් ද කියලවත් දන්නේ නැහැ.

ඉතින් සංස්කාර කියන එකේ සාමාන්‍ය අර්ථය අපට හිතාගන්න පුළුවන් යමක් මවලා පාන්න උපකාර වන දේවල්. රැවටිලි ස්වරූපයේ දේවල්. ඔය නාට්‍යවල එහෙම, නාට්‍යවල පමණක් නොවේ දැන් නම් මහා මාර්ගයේත් ඒක කෙරෙනවා. කෙනෙක් රවට්ටන්න උපකාරවන නොයෙකුත් විධියේ රැවටිලි, මායාකාරයා විජ්ජාකාරයා, කරන්නෙත් ඒ විධියේ දේවල්. නාට්‍යකාරයා කරන්නෙත් ඒ විදියෙ දෙයක්. නළඟනක් වේදිකාවට එන්න කලින් කොච්චර සැරසිලි දාලද එවන්නේ. අන්න ඒවාට අතීතයේ ඉඳලා කියනවා ‘අංග සංස්කාර’ කියලා. පාට ගාලා නොයෙකුත් විධියේ දේවල් ඔන්න ඔය සංස්කාර කියන පදයේ තියෙනවා. කෘත්‍රිම ස්වරූපයක්. රැවටිලි ස්වරූපයක්. සත්‍යයෙන් ඈත්වුණු ස්වරූපයක්. ඒක නිසා තමයි දැන් පින්වතුන්ට එකතුකර ගන්න පුළුවන් අවිද්‍යාව, නොදැන්ම නිසා අප සංස්කාර ඇතිකර ගන්නවා. ඒ නොදැනීම නිසා. අන්ධකාරය තුළ කෙනෙක් කොයි තරම් මුළාවකට පත්වෙනවද. මහකළුවර රාත්‍රියක සොහොන් පිට්ටනියක් ළඟින් යනකොට එන සිතිවිලි කොයි විධියේ දේවල් ද? අන්තිමට බලනකොට ආලෝකය ආව හැටියේ තේරෙනවා මේ බොරු එහෙම් පිටින් ම මම ඇති කරගත්තු මතිභ්‍රම භ්‍රාන්තියක් පමණයි. ඇත්ත දෙයක් නැහැ මෙතන. ඒ අයුරෙන් තමයි ලෝකයාත්. අවිද්‍යා මහා ඝණ අන්ධකාරයේ ඉන්න ලෝකයාත් සිත තුළින් මවා ගන්නවා යම් මැවීම් සමූහයක්. ඒක තමා ඒ සංස්කාර වචනයේ තේරුම. පටිච්චසමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. මොනවද සංස්කාර? තුන් ආකාරයකින් දක්වනවා. සංස්කාර තුන් වර්ගයක් තියෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර, මේ සකස් කිරීම් කයිනුත් කරනවා වචනයෙනුත් කරනවා. සිතෙනුත් කරනවා. සිතෙන් කරනව කියන්නේ වේදනා සංඥා ආදියෙන් හදා ගන්නවා. වේදනා සංඥා ආදියෙන් වාත්තු කරගන්නවා. කයින් ඇති කරන සංස්කරණ, වචනයෙන් ඇති කරන සංස්කරණ. සිතෙන් ඇති කරන සංස්කරණ. ඒ ටිකකට සිතලා බලන්න විජ්ජා දැක්මක් ඇතිවනකොට ඒ මිනිසා කරන්නේ රැවටිල්ලක්. වේදිකාව උඩ. නමුත් ඒ බලන අය කට ඇරගෙන බලන්නේ මොකද ඒ රැවටිලිවලට රැවටිලා. ඒ කයින් කරන සංස්කරණ. එහෙම නැත්නම් නළඟනක් කරන නෘත්‍ය ආදිය අභිරූපන නාට්‍ය ආදිය ඒවා තුළින් සිතින් මවා ගන්නවා. ඒවා හා සම්බන්ධ වචන සත්‍ය හැටියට ගන්නවා. ඒවා පිළිබඳ වේදනා සංඥා වැරැදි විධියට ග්‍රහණය කරනවා. ඔන්න ඔය සංස්කරණ.

එතකොට මෙන්න මේ සංස්කරණවලින් පෝෂණය කරගත්තු එක්තරා විධියක රඟපෑමක් එහෙම නැත්නම් දෙපිලක් වෙලා බෙදිලා කරන තරඟයක් වැනි දෙයක් තමයි මේ පැවැත්ම කියලා කියන්නේ. ඒකයි විඤ්ඤාණයයි, නාමරූපයයි අතර තවත් විධියකින් කියනවා නම් දියසුළියක් වගේ. දිය සුළියක් හැදෙන්නේ කොහොමද? මොනයම් හේතුවක් නිසා හෝ දියවැලක් ගලාගෙන යන ගඟින් වෙන්වෙලා ඉස්සරහට යන්න බලනවා. ඉස්සරහට යන්න බැරිවුණාම හැරෙන්න සිද්ධ වෙනවා. වටරවුමේ කරකැවෙන කොට ඊළඟට එතන ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් චක්‍රයක් වගේ හැදෙනව. රවුමක් වගේ. ඒ රවුමේ පළුදෙකක්. දැන් සිතාගන්න පුළුවන්. අර විඤ්ඤාණ පළුවයි හැරිලා එනකොට තියන නාමරූප පළුවයි. අන්න අර කියාපු පිළිබිඹුවම තමයි. එතකොට ඒ පළුදෙක තමයි අන්තිමට චක්‍රයක් වෙලා දියසුළියක් වුණාට පස්සේ ඊළඟට ඒකට අප නමක් දමනවා කෙනෙකුගේ නමක් හැටියට පුද්ගලයෙකු හැටියට. මේ භවයේ සත්ත්වයෙක් හැටියට අප සලකන ඒ හැම එකක් ම විඤ්ඤාණයත් නාමරූපයත් අතරයි තියෙන්නේ. ඒක බුද්ධ වචනයයි. මහණෙනි, විඤ්ඤාණයත් නාමරූපයත් අතරයි තියෙන්නේ. ඒක බුද්ධ වචනයයි. මහණෙනි, විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාමරූපය ඇතිවෙනවා. නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය ඇතිවෙනවා. මෙන්න මේ දෙක අතරෙයි ඉපදීම, මැරීම, දිරීම, නැවත ඉපදීම ආදී මේ සියලුම සංකල්ප විතර්ක ආදිය මේ සෑම එකක් ම තියෙන්නේ මෙන්න මේ දෙක අතරෙයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කළා.

එතකොට මේ විඤ්ඤාණයත් නාමරූපයත් අතර තියෙන ඒ කරකැවිල්ලේ අවසාන ප්‍රතිඵලයක් වශයෙන් ඒක සළායතනය තුළින් විහිදිලා යනවා. ආයතන ක්‍රියාත්මක වන්නෙත් අර අවිද්‍යාව තුළයි. මේකේ අනිත්‍යතාව නොදැකීම නිසා ඇසත් නිත්‍යයි කියල ගන්නවා. රූපයත් නිත්‍යයි කියල ගන්නවා. ඒ දෙක එකතු වුණාහම ඇති කර ගන්නා විඤ්ඤාණයත් නිත්‍යයි කියල ගන්නවා. ඒක තුළ ඇතිවන ස්පර්ශයත් නිත්‍යයි කියල ගන්නවා. ඒ ස්පර්ශය නිසා ඇතිවන වේදනාවත් නිත්‍යයි කියල ගන්නවා. අන්න එහෙම ගත්තු අවස්ථාවේ අන්තිමට ප්‍රතිඵලයක් වශයෙන් මේක බේරිලා බේරිලා ගිහිල්ලා මේ මගේ රූප ගොඩයි, මේ මගේ වේදනා ගොඩයි, මේ මගේ සංඥා ගොඩයි, මේ මගේ සංස්කාර ගොඩයි, මේ මගේ විඤ්ඤාණ ගොඩයි කියල පංචඋපාදානස්කන්ධයක් ඇති වෙනවා.

ඔන්න එතකොට තේරුම් ගන්න පුළුවන් අර නාමරූපය ඇතුළට අර විධියට පංචඋපාදානස්කන්ධය දාන්න බැහැ. නමුත් විඤ්ඤාණයත් නාමරූපයත් අතර කෙරෙන පටිච්චසමුප්පාද විග්‍රහය අනුව කෙරෙන ඒ සම්බන්ධය ඔවුනොවුන් අතර කෙරෙන තරඟයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අවසානයේ අප අර පංචඋපාදානස්කන්ධයක් ගොඩනඟාගන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නුවා එතකොට හේතුප්‍රත්‍ය පිළිබඳ අවබෝධයත් ඒකට උපකාරවන මනසිකාරය මෙනෙහි කිරීම නිරන්තරයෙන් මෙනෙහි කිරීම තුළින් මේ නාමරූප ධර්මයන්ගේ යථාස්වභාවය වටහා ගත් අවස්ථාවේ විඤ්ඤාණය එතනම නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය කියන මායාව. මායාවේ ඇතුල් පැත්ත දැක්කහම එතන මායාවක් නැහැ. අන්න ඒ වගේ තමයි විඤ්ඤාණය මායාවක් නම්, ඒක සත්‍ය දෙයක් නොවේ නම් ඒකෙ යථා ස්වභාවය ප්‍රඥාවේ ආලෝකයෙන් මතුවුණ අවස්ථාවේ ඒක නිරුද්ධ වෙනවා. නමුත් ඒකටයි ලෝකයා භය. නැවැත්ම කියලා ගන්නේ ඒකයි. අන්න එතනයි. නමුත් ඒකමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ නිවන හැටියට. ඉපදීම දුකක් නම් ඉපදීම නැතිවුණ තැන ඒක ආයි ලෝකයක් නොවේ. ඉපදීම නැතිවුණේ මෙතෙනමයි. ඉපදීම කියලා ගන්නේ අන්න අර කියාපු දෙකේ වැරැදි දියසුළිය නිසාමයි. එතකොට ඒක නතරවුණ තැනයි අප මේ නිවන කියලා කියන්නේ. ඒක අවසාන ප්‍රතිඵලය. සාමාන්‍යයෙන් අර බුදුරජාණන් වහන්සේ පංචඋපාදානස්කන්ධය කියල කියන්නේ මේක තනිකර දුකක්. මේ පැවැත්ම දුකක් කියල කීවේ අර දෙකේ ඝට්ටනයම එහි ප්‍රතිඵලය දුකක්. එතකොට ඒක සංසිඳෙන්නේ අවබෝධය තුළිනුයි. අන්න ඒ අවබෝධය කරා යන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ලෝකයාට ඉදිරිපත් කළේ.