Print this Article


පූර්වාන්තයක් කෙළවරක් නොදකින සසර ගමනක ස්වභාවය

පූර්වාන්තයක් කෙළවරක් නොදකින සසර ගමනක ස්වභාවය

"තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ දී පෙන්වා දුන් ඒ උතුම් දහම් කොටස් වර්තමාන යුගය තුළ ජීවත්වන ඔබ අප සියලු දෙනා විසින් නැවත නැවතත් සිහිපත් කළ යුතුයි. "

ලෝකයේ ආරම්භයත්, පැවැත්මත් මනුෂ්‍යයන්ගේ ජීවිතවල යහපත් ඇවතුම් පැවතුම් ඇතිවීමත් මනුෂ්‍යයන්ගේ චර්යාවේ ඇති වූ දුසිරිත් බව නිසා මනුෂ්‍යයන්ගේ පරිහානිය ඇතිවීමත් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව එනම් ලෝක උප්පත්ති කතාව ඔස්සේ අප විසින් පසුගිය පෝය දින කීපය පුරා ඉගෙන ගනු ලැබුවා.

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ දී පෙන්වා දුන් ඒ උතුම් දහම් කොටස් වර්තමාන යුගය තුළ ජීවත්වන ඔබ අප සියලු දෙනා විසින් නැවත නැවතත් සිහිපත් කළ යුතුයි. මනුෂ්‍ය ප්‍රජාවගේ ආරම්භය ආභස්සර දෙවියන්ගේ ප්‍රජනනයෙන් හෙවත් මූලිකත්වයෙන් සිදු වූ බව ඉතාම පැහැදිලියි. එනම් මනුෂ්‍ය ලෝකයේ ආරම්භකයෝ නම් ආභස්සර දෙවියෝය කියන අදහසයි. මනුෂ්‍යයන්ගේ මුල දෙවියන්ගෙන් ආරම්භ වුණේ නම් මනුෂ්‍යයන්ට ද ඒ දේවත්වය පවතින හෝ පැවතුණු උතුම් ගුණ දිගටම පවත්වාගත යුතු බව දහම් කරුණු අපට මතුකොට දෙයි. දෙවියන්ගෙන් ආරම්භ වූ මනුෂ්‍යයන් දෙවියන් තුළ පැවතුණු යහගුණ නැතිකොටගෙන අමනුෂ්‍යයන් හැටියට ජීවිතය පවත්වාගැනීමට යොමුවීම ඉතාම සංවේග ජනකයි.

උතුම් දේවත්වය

තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මයෙහි දෙවියන් පිළිබඳව සිහිපත් කරමින් උගන්වන භාවනා මාර්ගය දේවතානුස්සති නමින් විස්තර කෙරේ. එය දස අනුස්සති භාවනා කොටසෙහි දැක්වෙයි. දෙවියන් එම දේවත්වයට පත් වූයේ ශ්‍රද්ධා, සීල, ශ්‍රත, චාග, පඤ්ඤා නම් වූ පංචවිද ගුණ ධර්ම වැඩීමෙනි දියුණු කර ගැනීමෙනි. එම දෙවියන් නැවතත් මනුෂ්‍යයන්ට ආරම්භයක් සාදා දෙන්නේ ද එම ශ්‍රද්ධා, සීල, ශුත, චාග, ප්‍රඤ්ඤා නම් වූ ගුණ ධර්මවලින් ම යුතුවම බව ඉතාම පැහැදිලියි. ආභස්සර දෙවියන් මිනිස් පොළෝ තලයට බැසගත් කාලය තුළ ඔවුන් මහ පොළොවෙහි ජීවත් වූ සමය පිළිබඳව නැවතත් අපට සිහිපත් කළ හැකියි. මුල් අවධියේ දී ඔහුන් සියලු දෙනාම ඔවුන්නොවුන් කෙරෙහි ප්‍රසාදයෙන් යුක්තව විසූහ. හිරු සඳු පවා පහළනොවන්නට පෙර ඔවුන් මිහිතලයේ හැසිරුණේ ඔවුන්ගේ ශරීරයේ පැවතුණු වර්ණ ස්වභාවයෙනි, එනම් ශරීරයෙහි ආලෝකයෙනි. ක්‍රමක්‍රමයෙන් ආශාව ඇතිවීමත් සමඟ ඔවුන්ගේ වර්ණය පැහැය අඩුවීමත් එමෙන් ම ආශාව නිසා ම ස්ත්‍රී පුරුෂ භේදය ඇතිවීමත් ආශාව නිසා ම වර්ගයා බෝවීම හෙවත් මිනිස් ප්‍රජනනය ඇතිවීමත් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි විය.

තෘෂ්ණාවෙන් සසරට බැඳීම

එම කාලය තුළ එම මනුෂ්‍යයන්ගේ පැවැත්මට හෙවෙත් ආහාරය පිණිස ඇල් සහල්, බදාලතාව මේ ආදී ස්වභාවික වූ රසයෙන්, ගුණයෙන් පිරිපුන් වූ ආහාරයන් පිළිබඳව අප දැන ගත්තෙමු. තෘෂ්ණාව, ආශාව වැඩිවෙන්න වැඩිවෙන්න අසිරිමත් වූ එම ස්වභාවික සම්පත්වල පිරිහී යෑමත් සිදු වූ බව පැහැදිලියි. මේ දීර්ඝ සංසාර ගමන කර්මානුරූපව පවතින්නේ තෘෂ්ණාව නිසා ම බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

“අනමතග්ගෝයං භික්ඛවේ
සංසාරො පුබ්බා කෝටි න පඤ්ඤායති
අවිජ්ජා නීවරණනං සත්තානං
තණ්හා සංයෝජනානං සංධාවත සංසරතං”

මහණෙනි, මේ සසරෙහි කෙළවරක් නැතිය අනමතග්ග යනුවෙන් සඳහන් කළේ එයයි. පූර්වාන්තයක් හෙවත්, ආරම්භයක් නොපෙනේ. කෙළෙවරක් නැති පූර්වාන්තයක් නොපෙනන සංසාර ගමනේ සත්වයන් ගමන් කරන්නේ කුමක් හේතු කොටගෙන ද අවිද්‍යාව හෙවත් නොදැනීම නිසා සත්වයෝ තෘෂ්ණාවෙන් කර්ම රැස්කොටගෙන සසරට බැඳෙති. එනම් භවය සකස්කර ගනිති. මෙසේ සසරට බැඳෙමින් භවය සකස්කර ගනිමින් වඩාත් ම නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායෙහි ඉපදෙමින් දුක්විඳිමින් දුවගෙන යති, හැසිරෙති. එනම් ඉපදෙමින් මරණයට පත්වෙමින් භවයෙහි සැරිසරති. මේ තුළ ද සඳහන් වන්නේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් අප ඉගෙන ගත් තෘෂ්ණාව නිසා ලොව පවතින බවත්, එසේ වුවත් ඒ තෘෂ්ණාව නිසා ම සත්වයන් වඩාත් ම දුක් විඳින බවත්ය.

හේතුප්‍රත්‍යයන්ගේ හටගැනීම

අවිද්‍යාව නම් වූ නොදැනීම, මුලාව නම් වූ වචනවලින් විස්තර කරන්නේ කුමක් ද? සියලු සංඛත හෙවත් සංස්කාර වස්තු හේතුප්‍රත්‍යයන්ගෙන් හටගනී. මෙහි හේතුප්‍රත්‍යය නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරයි. එනම් තදගතිය, වැගිරෙන බව, උෂ්ණය සහ, වායුව යන සතරය. ලෝකයේ පවත්නා වූ සියලුම සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක වස්තූන් නිර්මාණය වී ඇත්තේ මේ පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙනි. මේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සංඛත නම් වූ ලොව සියල්ලම අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් ත්‍රිලක්ෂණ ධර්මයට යටත්ය. යමක් වෙනස්වන්නේ නම් එය අනිත්‍යයයි. එනම් නිත්‍ය නොවේ. යම් තැනක වෙනස්වීමක් පවතින්නේ ද? එය දුකකි ඒ කෙරෙහි පවතින්නේ අකැමැත්තකි. ඒ කෙරෙහි සිතේ ඇති වන්නේ ගැටීමකි. තැති ගැනීමකි. සැලීමකි. එය දුක්ඛ වශයෙන් මෙහි හැඳින්වේ. මෙසේ දුක සකස් වන්නේ තමාට ඕනෑ විදිහට හෝ තම අභිමතය පරිදි නොපවත්නා නිසාය. එය අනත්ත නම් වීමය.

එසේ නම් අවිද්‍යාව මෝහය නම් සියලු සංඛත සංස්කාර වස්තූන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත්කොට දැක ගැනීමේ ඇති නොහැකියාවයි. මෙහි දැක ගැනීම හැටියට සඳහන් කරන්නේ නුවණින් දැක ගැනීමයි. විදර්ශනා නුවණින් ම දැක ගැනීමයි. ඔබ අප වගේ ම ලොව සියලු දෙනාටම පාහේ ලෝකයේ සියල්ල ම නැතිවන බව විනාශයට යන බව පිළිබඳව නුවණක් ඇත්තේය. එනම් දැනීමක් ඇත්තේය. එනමුත් විදර්ශනාව වශයෙන් දක්වන පරිදි අනිත්‍ය, දුක්ඛ, අනත්ත, ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට තමාගේ ජීවිතය පටන් මුළු ලොවම දෙස සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නට පුරුදු නොවීම හෝ පුරුදු නොකොට තිබීම නිසා ඒ සිතෙහි දැඩි ආශාව ඇතිවේ. එනම් බලවත් වූ තෘෂ්ණාවක් ඇතිවෙයි.

ප්‍රබල වූ ආශාව

යමක් කෙරෙහි සිතෙහි ආශාවක් හටගත්තොත් එය ස්ථිර නොවන බවට දැනුමක් පැවතියේ ද කෙසේ හෝ ඒ වස්තුව ලබා ගැනීමට උත්සාහ ගනී. මෙහි දී ඒ වස්තුව ලබාගැනීම පිණිස ප්‍රාණඝාතකිරීම, සොරකම්කිරීම, කාමමිච්ඡාචාරය, බොරුකීම, මත්වතුර, පරිහරණය කිරීමේ වැනි පස්පව්වලට ද, තවත් ඉදිරියට ගමන් කරමින් දස අකුසල්වලට ද යොමු වේ. අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැනුමෙන් ඔබ්බට ගිය පරමාර්ථ වශයෙන් දකින නුවණක් යම් කෙනෙකුට තිබෙන්නේ නම් නිත්‍යනොවන, ස්ථිර නොවන විනාශයට පත්වන යමක් වෙනුවෙන් තවත් කෙනෙකුගේ ජීවිතයක් නැතිකිරීමට හැකි ද? යමෙක් තවත් කෙනෙකුගේ ජීවිතයක් නැති කිරීමට යෑමෙන් මෙලොව වශයෙන් ම ඔහු හෝ ඇය විසින් තමාගේ ජීවිතයට අනතුරක් කර ගනියි. පරලොව වශයෙන් සතර අපායම හිමිවෙයි. සොරකම, කාමමිච්ඡාචාර ආදී පාප ධර්මයන් කළ හැකිවන්නේ ද අනිත්‍ය වූ යමක් වෙනුවෙන් තමාගේ මෙලොව, පරලොව, දෙලොව ජීවිතය ම බලවත් සේ දුකකට ඇද දමා ගැනීමට හැකි ද? එහෙත් යම් වූ දැනුමක් පැවතුණත් පරමාර්ථ වශයෙන් එනම් සියලු සංඛත සංස්කාර වස්තූන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැක ගැනීමට සිත නැවත නැවතත් පුරුදු කොට නොමැත්තේ නම්, ප්‍රබල වූ ආශාව දෙවියන්ගේ පටන් ආරම්භ වූ මේ ප්‍රබල වූ ආශාව සත්වයා හෝ මනුෂ්‍යයා මහත් වූ විපත්වලට ඇද දමයි. සියල්ල වෙනස් වූවත් එනම් ස්ථිර නොමැති වූවත් තමා කැමැති දෑ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මනසින් ලබාගැනීමට පොළඹවයි.

මෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ උපති සූත්‍ර දේශනාව සිහිපත් කළ හැකිය. තද ආශාවට නතුවන පළගැටියා පහන් දැල්ලට ළංවන්නේ එහි ඇති අනතුර ද නොතැකීමෙනි. හෝ අනතුර ගැන සිහිපත් නොවන්නේ සිතෙහි හට ගත්ත ද ආශාව නිසාය. එමෙන් ම ආරම්භයේ පටන් ප්‍රබල තෘෂ්ණාවෙන් ලොවක් හදන ජීවිත ප්‍රජනනයෙන් පටන් ගත් මනුෂ්‍යයෝ ඒ තද ආශාව නිසා ම පළගැටියන් මෙන් වරදට හසු වෙයි. ජීවිත විනාශ කර ගනිති. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙහි දෙවියන්ගෙන් ලොවක් ආරම්භ කර මනුෂ්‍යයෝ දේවත්වය ලෙසම ලොව අසිරිමත් ස්වභාවික වස්තූන් ද ලබා ගතකළ සුවපත් වූ ජීවිතවලින් පිරිහෙන ආකාරය අප ඉගෙන ගත්තෙමු. අප දැනගත්තෙමු.

තෘෂ්ණාව භාග්‍යවතුන් වහන්සේ විසින් කොටස් තුනකට බෙදා දක්වන ලද්දේය. එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙනුයි. කාම තණ්හා නම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ඉන්ද්‍රියන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතිවිලිවලින් පිනවීමට තිබෙන කැමැත්තයි. එය කාමච්ඡන්දය හැටියටත්, ඡන්ද රාගය, හැටියත් පෙන්වා දී තිබේ. මෙම පිනවීම හෙවත්, ඇස ආදී ඉන්ද්‍රියන් සතුටු කිරීම පස් ආකාරයකින් ඇති කර ගන්නා වූ කාම ගුණ හැටියටත් දක්වා තිබේ. මේවා පංචකාම ගුණ හැටියට දක්වයි. එනම්

“ඉට්ඨා ඛන්තා මනාපා ප්‍රිය රූපා කාමෝප සංහිතා රජනීයා”

එනම් ඉටු වඩන, මන වඩන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඇලුම් කරන යනුවෙනි.

මෙහි තවත් කොටසක් වප් පුර අටවක (ඔක්තෝබර් 09 වනදා) පෝදා පත්‍රයේ පළ වේ.