Print this Article


දරුවන් රැසකට රැකවරණය දෙන ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය

රටක අනාගතය පිළිබඳ වගකීම හිමිවනුයේ වර්තමානයේ ජීවත්වන ළමා පරපුරටයි. ළමයින්ගේ අධ්‍යාපනය, හැදියාව හා සෞඛ්‍යය පිළිබඳ ලොව සෑම රටකම විශේෂ අවධානය යොමුකොට ඇත්තේ එබැවිනි. තුන්වන ලෝකයේ රටවල පමණක් නොව ලොව දියුණු යැයි ප්‍රකට රටවල පවා යම් පමණකට හෝ දරිද්‍රතාව පවතියි. මෙම සමාජ ව්‍යසනය ලොව ළමා පරපුරේ අනාගතය කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කරවයි. සෑම වසරකම ලෝක ළමා දිනය සමරනුයේ මෙවන් පසුබිමක් තුළ සිටයි.

ඌරුමුත්තේ සුගතානන්ද නා හිමි

ඇතැම් දෙමව්පියන්ට තම දූ දරුවන්ගේ අධ්‍යාපනික හා සමාජ අවශ්‍යතා ඉටු කරවීම ගැටලුවක් වී තිබේ. ඇතැම් තරුණ තරුණියෝ අනාථ වූ දරුවන් මෙලොවට බිහි කරති. කලාතුරකින් ඇතැම් මව්වරුන්, තම දරුවන් කාණුවට දමා යන්නේත්, ගංඟාවලට විසිකර මරා දමන්නේත්, දරුවන් සමඟ තමනුත් දිවි නසා ගන්නේත් මෙකී සමාජ ඛේදවාචකයට මුහුණදීම හේතුවෙනි.

සමාජ ගැටලුවලින් හෙම්බත් වී ආර්ථිකය අන්තයටම පිරිහී ඇතත් ස්වකීය දරුවන් හැකි උපරිම වීර්යය යොදා පෝෂණය කරවන ඇතැම් අහිංසක දෙමව්පියෝ ද අනන්තවත් සිටිති. ඇතැම් දෙමව්පියන්, ස්වකීය දරුවන් අන්ත දුක් විඳිනු දැකීමට ඇති අකැමැත්ත නිසාම කෙසේ හෝ දරුවන්ට යහපත් අනාගතයක් උදාකරවීමේ චේතනාවෙන් ළමා නිවාසවලට බාරදෙන අවස්ථා ද තිබේ. එසේ සිදු කරනුයේ දරු සෙනෙහස මඳකුදු අඩුනිසා නොව ආර්ථික අපහසුතා හේතුවෙන් මය. මෙසේ වූ අහිංසක දරුවන් හදා වඩා පෝෂණය කරවීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරන භික්ෂූන් වහන්සේ නමක් ලෙස කොළඹ 06, වැල්ලවත්ත ශ්‍රී සුගත විහාරාධිපති, දෙහිවල කරගම්පිටිය ශ්‍රී ශාස්ත්‍රානන්ද පිරිවෙනේ සම්මාන පරිවේණාධිපති, සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රාචාර්ය ඌරුමුත්තේ සුගතානන්ද නා හිමි හඳුන්වා දිය හැකිය.

වැල්ලවත්ත ශ්‍රී සුගත විහාරයට කේන්ද්‍රකර ගෙන 1994 දී සුගතානන්ද නාහිමි ආරම්භ කළ ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ අද වනවිට දරුවන් 75ක් මනාව රැකවරණය ලබති. එදා මෙදා තුර මෙහි රැකවරණය ලබා විවිධ ක්ෂේත්‍රවල පුහුණු වීම් නිමාකොට රැකියා සහිතව විසිර ගිය දරුවන් සංඛ්‍යාව සියය ඉක්මවයි. මෙහි නේවාසික දරුවන් අතර වයස අවුරුදු 3 1/2 සිට 17දක්වා වූවෝ සිටිති. ඇතැම් දරුවන්ගේ මව නැත. ඇතැමෙකුගේ පියා නැත. මවුපිය දෙදෙනාම නැති ඇතැම් දරුවෝ ද සිටිති. එසේම දෙමව්පියන් සිටියද දුප්පත්කම නිසාම ළමා නිවාසයට බාරදී ඇති දරුවෝ ද සිටිති. ඔවුන් කොළඹ, ගම්පහ, අම්බලන්තොට , මොණරාගල, කතරගම, අනුරාධපුර වැනි දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණි අයයි. පාසල් යැවීමට අමතරව මෙම දරුවන් වෙනුවෙන් ළමා නිවාසය තුළම පෞද්ගලික උපකාරක පන්ති ද පවත්වන අතර සෑම සෙනසුරාදාවකම පස්වරුවේ වැල්ලවත්ත කුරේ කී‍්‍රඩාංගණයට රැගෙන ගොස් ඔවුනට කී‍්‍රඩා කිරීමට ද අවස්ථාව සලසා දී තිබේ. එයට අමතරව අප්‍රේල්, අගෝස්තු සහ දෙසැම්බර් යන පාසල් නිවාඩු කාලයන්හිදී වන්දනා චාරිකාවලට ද සහභාගිවීමට අවස්ථාව සලසා ඇත. එසේම මිහින් ලංකා ගුවන් යානයකින් මේ දරුවන් සියලුම දෙනාම ලංකාව වටේ රැගෙන ගොස් ගුවනේ සිට ලංකාවේ අසිරිය දැක බලා ගැනීමේ ඉතා දුර්ලභ අවස්ථාව ද උදාකර දී තිබේ.

සෑම දරුවෙකුටම හැටන් නැෂනල් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාවේ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වැල්ලවත්ත ශාඛාවේ බැංකු ගිණුම් ආරම්භ කර ඇත. දරුවන් නෑවීම්, කැවීම්, පෙවීම්, ලෙඩ දුක්වලදී සාත්තු කිරීම් හා ආහාර පිසීම් ආදී කටයුතු සඳහා ද මෙහි සේවක සේවිකාවන් 12දෙනෙකු යොදවා තිබේ. මේ අනුව පෙනෙන්නේ මෙම දරුවන්ට, තම දෙමව්පියන් ළඟ නැතැයි, කියා කිසිම අවස්ථාවක දුක්වීමට මෙහි ඉඩක් සලසා නොමැති බවයි.

මෙම දරුවන්ගේ වාසය සඳහා විහාරස්ථානයේ ඉඩකඩ මදිකම නිසා ඌරුමුත්තේ සුගතානන්ද නා හිමියන් විසින් විහාරස්ථානයට යාබදව ඉඩකඩ සහ තෙමහල් ගොඩනැඟිල්ලක් ද ඉදිකොට තිබේ. සුගතානන්ද නා හිමි ස්වකීය විශ්‍රාම වැටුප හා ආගමික කටයුතුවලින් ලැබෙන දේ පවා වැය කරන්නේ මෙම දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙනි. උන්වහන්සේට සිය මව්පිය පරපුරෙන් උරුම වූ පෞද්ගලික ඉඩකඩම් පවා විකුණා ලත් මුදල් මෙම දරුවන්ගේ සුබ සාධනය හා ආයතනයේ ගොඩනැඟිලි ඉදිකිරීම වෙනුවෙන් වෙන් කොට ඇත.

ගාල්ල ගිංතොට සුගත බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍රකරගෙන සුගතානන්ද නාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කළ සෝමාදේවී වැඩිහිටි නිවාසයේ මව්පියවරු 15දෙනෙක් මනාව රැකවරණය ලබති. වැල්ලවත්ත ශ්‍රී සුගත විහාරය කේන්ද්‍රකරගෙන” ගව සම්පත සුරැකීමේ සංවිධානය” පිහිටුවා ඇති සුගතානන්ද නා හිමි මේ වන විට මරණයට කැප වූ ගවයන් සියයකට අධික ප්‍රමාණයක් නිදහස් කොට තිබේ.

මෙවන් සමාජ සේවාවන් සඳහා සුගතානන්ද නා හිමි පන්නරය ලැබුවේ, පිටබැද්දර ඓතිහාසික එළමල්දෙණිය රාජමහා විහාරයේ දී 1966 දෙසැම්බර් 22 වනදා උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූ දා පටන්ය. ස්වකීය ගුරුහිමිවරුන් වෙතින් ලත් මූලික ශික්ෂණය ඊට බෙහෙවින් බලපෑ බව උන් වහන්සේ මහත් ගුරු බැතින් නිතරම සිහිපත් කරති. ඒ අතර ස්වකීය ගුරුදේව ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත එළමල්දෙණියේ උපනන්ද නා හිමියන්ගෙන් ලද ආශිර්වාදය දිවිමග ආලෝකවත් කිරීමට හේතු විය. එසේම කවදත් උන් වහන්සේගේ කාලීන සමාජ සේවාව වෙනුවෙන් ආශිර්වාද කරන හුණුපිටියේ ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නා හිමි , දිවියාගහයසස්සි නා හිමි, අඹේවෙල ධම්මපාල නා හිමි, අත්තුඩාවේ පියරතන නා හිමි, ඕමාරේ කස්සප අනු නා හිමි, මාකඳුරේ සිරි රතන හිමි, කෙහෙල්වල පඤ්ඤානන්ද හිමි, මාපලගම බුද්ධ සිරි නා හිමි, හපුතලේ පඤ්ඤාරාම හිමි හා කිරිවැල්දොල පියනන්ද හිමි යනාදී භික්ෂූන් වහන්සේ රැසක් වෙති.

තව ද සුගතානන්ද නා හිමියන්ගේ කැපවීමට මහත් අත්වැලක් සපයන ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි අද්දර පතිරනගේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ජපානයේ පදිංචි ව්‍යාපාරික සිසිල් පෙරේරා, මහා දානපතිනි එමී ධර්මවර්ධන, සාමවිනිසුරු එම්, ජේ, ප්‍රනාන්දු , සෙනරත් ජයසුන්දර, හෙක්ටර් බෙත්මගේ, බෙනට් හෙට්ටිගොඩ, චන්ද්‍රානි හෙට්ටිගොඩ , ලක්මිණි විජේවර්ධන, ධර්මසිරි ජයසුන්දර යනාදී මහත්ම මහත්මීහු ප්‍රමුඛත්වය ගනිති.

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය මගින් ඌරුමුත්තේ සුගතානන්ද නා හිමි වෙත 2015 වසරේදී කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීය. “අනුන්ගේ දියුණුව උදෙසා ක්‍රියා කළ යුතුය” (පරත්ථං පටිපජ්ජථ) යන උතුම් බුදු වදන මැනවින් ක්‍රියාවට නංවමින් අත්‍යුදාර වූ කාලීන සමාජ සේවාවන් රැසකට නිසි නායකත්වය ඌරුමුත්තේ සුගතානන්ද නා හිමි වෙතින් ලැබීම මහත් අගනේය.