Print this Article


පූජාච පූජනීයානං

මැටරඹ හේමරතන නා හිමි

ඓතිහාසික යටගල රාජමහා විහාරය ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය හා මගුල් මහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ විහාර ගණයේ ආධිපත්‍යය උසුලන හෙට්ඨාවල පරිවේණාධ්‍යක්ෂ ශාස්ත්‍රපති, පණ්ඩිත මැටරඹ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර හේමරතනාභිධාන දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්ම දිනය සැප්තැම්බර් 17 වැනිදාට යෙදී තිබිණි.

ලක්දිව අතිසම්භාවනීය ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මේ යැයි, ජීවමානව ප්‍රකට කරමින් වැඩසිටින උන්වහන්සේ වියත් ශික්ෂාකාමී මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස මෙරට ගිහි පැවිදි සකල සාධු ජනයා අතර අතිශය භක්ත්‍යාදරයට පත්ව සිටිති.

ඓතිහාසික ගාලු පුරවරයේ උණවටුන මැටරඹ නමැති පෞරාණික ග්‍රාමචරයෙහි විසූ අහංගම නානායක්කාර ගමගේ ජේමිස් නානායක්කාර මහෝපාසක මහතාගේ හා අක්මීමන පල්ලියගුරුගේ ඇලිස්නෝනා මහෝපාසිකා මාතාවගේ පුත්‍රයෙකු ලෙස සැප්. 17 වැනිදා හේමරතන නාහිමියෝ ජන්මලාභය ලැබීය. යටගල මැල්කම් මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලත් අතර 1956 අප්‍රෙල් 05 වැනි දින යටගල රාජමහා විහාරයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය.

එහිදී හේමරතන නාහිමියන්ගේ ආචාර්යපාදයන් වහන්සේලා වූයේ ඉලුක්පිටියේ ජිනරතන නාහිමි, වත්තේහේනේ රතනසාර නාහිමි හා වත්තේහේනේ පියරතන පඬිහිමියනුත් ය. යටගල රාජමහා විහාර හෙට්ඨාචල මහ පිරිවෙනින් හා පැපිලියාන සුනේත්‍රාමහාදේවී මහ පිරිවෙනින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කළ උන්වහන්සේ 1965 දී මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූහ. ඉක්බිතිව රත්මලාන පරිවේනාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ දෑ අවුරුදු ගුරු පුහුණුව ඉතා සාර්ථකව නිමකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්හ.

යටගල හෙට්ඨාවල මහ පිරිවෙනේ ආචාර්යවරයෙකු වශයෙන් අධ්‍යාපන සේවාව ඇරැඹූ හේමරතන නාහිමියෝ පසුව එහි පරිවේනාධිපති ලෙස ද පත්ව වසර 22 කටත් අධික කාලයක් එහි වගකීම් සම්භාරය දැරීය. අක්මීමන ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස වසර 08 ක් ද කලක් ගාලු දිස්ත්‍රික් පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමයේ ලේකම් ලෙස ද නොමැකෙන සේවාවන් රැසක් සිදු කළේ ය.

1990 දී යටගල රාජමහා විහාරය පූජා භූමියක් බවට පත්කරවීමට මූලිකත්වය ගත්තේද හේමරතන නාහිමියන් ය. 2004 දී ස්වකීය අස්මදාචාර්යපාදෝත්තම වත්තේහේනේ ශ්‍රී රතනසාර නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු ඓතිහාසික යටගල රාජමහා විහාරය ප්‍රමුඛව ඒ හා අනුබද්ධ සිතුල්පව්ව රාජමහා විහාරය, මගුල් මහා විහාරය, උණවටුන ඓතිහාසික වැල්ලේ දේවස්ථානය, යද්දෙහිමුල්ල අමරසිංහාරාමය, හැඩිදෙමළකන්ද සේලුත්තරාරාමය, උණවටුනේ බෝධිරාජ විහාරය හා අම්පිටියාගොඩ ගුණරත්නාරාමය යන සම්භාවනීය විහාරස්ථාන අටක ආධිපත්‍යයට පත් වූහ.

ඉතා විනයගරුක දූරදර්ශී හා කාර්යක්ෂම විහාරාධිපති හිමිනමක ගේ භූමිකාව හේමරතන නාහිමි තුළින් මනාව මූර්තිමත් වෙයි. පූර්වෝක්ත විහාරස්ථාන සියල්ලෙහිම වර්තමාන නවෝදයේ නියමුවා වනුයේ නාහිමියන්ය. ස්‍යාමෝපාලි මහා නිකායන්තර්ගත රුහුණේ ප්‍රමුඛතම සඟ පරපුරක් වන යටගල රාජමහා විහාරය මූලස්ථානය කොටගත් කැටගොඩ සඟ පරපුරෙහි වර්තමාන ප්‍රධානත්වය දරන උන්වහන්සේ ශාස්ත්‍රීය වශයෙන් සිදුකොට ඇති සේවාව පිළිබඳව මෙහිදී වෙසෙසින් සඳහන් කළ යුතු ය.

උසස් පෙළ බෞද්ධ ධර්ම සංග්‍රහය, ලේඛන රේඛා, අපතේ යන අධ්‍යාපන සම්පත්, වන්දනා ගාථා, ඓතිහාසික මඟුල් මහා විහාරය, රමණීය සිතුල්පව්ව යන ග්‍රන්ථ මුද්‍රණද්වාරයෙන් පළකොට ඇති උන්වහන්සේ පුවත්පත් හා සඟරා සඳහා ද හරවත් ධර්ම ශාස්ත්‍රීය හා සිංහල සාහිත්‍ය ලිපි රැසක් සැපයූහ.

එදාමෙදාතුර හේමරතන නා හිමි සිදු කළ ජාතික, ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික සේවාව අගයමින් ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වය මඟින් 2009 දී ‘සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර’ යන ගෞරව නාම සම්මුතිය ද සහිතව දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය ද, ශ්‍රී රෝහණ පාර්ශ්වය මඟින් 2003 දී ‘ශ්‍රී සද්ධර්මභාරතීශ්වරාචාර්ය’ යන ගෞරව නාම සම්මුතිය ද පිරිනැමීය.

සැප්. 17 වැනිදාට යෙදෙන මැටරඹ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර හේමරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ඓතිහාසික යටගල රාජමහා විහාරය, සිතුල්පව්ව රාජමහා විහාරය, මඟුල් මහා විහාරය, වැල්ලේ දේවස්ථානය, යද්දෙහිමුල්ල අමරසිංහාරාමය, හැඩිදෙමළකන්ද සේලුත්තරාරාමය, උණවටුනේ බෝධිරාජ විහාරය හා අම්පිටියාගොඩ ගුණරතන්නාරමය යන අෂ්ට මහා විහාරස්ථානයන් හි ද, දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය, කලුතර බෝතුවාවත්ත බෙත්තාරාමය යන විහාරස්ථානවල ද විශේෂයෙන් ම සැප්. 17 දින රාත්‍රී 7.00 ට අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී ද, රාත්‍රී 8.00 ට රුවන්වැලි මහ සෑ රදුන් අබියස දී ද විශේෂ ආශීර්වාද පින්කම් මාලාවක් පැවැත්විණි.


ගාලු මාතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක ධූරයට පත්

දෙල්ලව ජිනරතන නා හිමි

කුඩා වුවද මහත් වුවද සියලු භෝගස්කන්ධයන් අත්හැර මවුපිය ඥාති පරපුරද හැර දමා ස්වල්ප වූද වරදෙහි බිය දකිමින් ආචාර සම්පන්නව දිවි දෙවෙනි කොට ශික්ෂාපද රකිමින් කසාවත පෙරවාගත් බ්‍රහ්මචාරියා භික්ෂුව ලෙසින් අර්ථකථනය කෙරෙයි. වරක් බුදුරදුන් වෙත පැමිණි භික්ඛක නම් බමුණෙකු හට වදාළේ අනුන්ගෙන් සිඟන පමණින් භික්ෂුවක් නොවන බවත් අකුසල ධර්මයන් බැහැර කිරීමෙන් භික්ෂුවක වන බවය. එක් අතකින් භික්ෂුව විමුක්තිය සඳහා කඟවේන අඟක් සේ හැසිරෙන විට තවත් අතකින් දෙවි මිනිසුන්ගේ පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කරන පොදු වස්තුවකි.

භික්ෂුව නිදහස් ජීවිතයක සහ පොදු බවේ ලක්ෂණයකි. ඉතිහාසයෙහි හමුවන සංවිධිත මුල්ම ප්‍රවෘජිත පිරිස වූ කලී බෞද්ධ භික්ෂුවය.

බුදුහිමියන් ඔවුනට පැවරූ වගකීම වන්නේ තමාගේ විමුක්තියද සකසා ගනිමින් ලෝක යහපතට වැඩකළ යුතු බවයි.

ඉතිහාසය පුරාම මෙම කාර්යභාර්ය ඉටුකළ භික්ෂුව ශ්‍රී ලාංකේය සමාජයෙහි ‘මුරදේවතා’ වෙයි. මෙම මුරදේවතා පරපුරේ විශිෂ්ට නූතත යතිවරයෙකු ලෙස ගාලු මාතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක දෙල්ලව ශ්‍රී නාථාරාමාධිපති දෙල්ලව ජිනරතන හිමියන් හැඳින්විය හැකිය.

ගාලු මාතර දෙපළාතටත්, විශේෂයෙන් හිනිදුම් පත්තුවටත් මහත් සේ ශාසනික ආභරණයක් ලෙසින් හැට වසරක් පුරා යතිවර දිවිය ගෙවූ අප නාහිමියන් හැඳින්විය හැකිය.

කසාවත දැරූ පමණින් හෝ හිස මුඩු කළ පමණින් කිසිදා භික්ෂුවක් වන්නේ නැත. භික්ෂුව ලෝකයට ශාසනයට ආභරණයක් වන්නේ ධර්මධරයෙකු වීමෙනි. බහුශ්‍රැතයෙකු වීමෙනි. විනීතයෙකු වීමෙනි. විශාරදයෙකු වීමෙනි. සමාජ නායකයෙකු වීමෙනි. අප දෙල්ලව ජිනරතන නාහිමියෝ ඒ සියල්ලටම ඉතා සුදුස්සෙකි.

හිනිදුම්පත්තුවේ ශාසනික උරුමයන් දේශදේශාන්තර වල පවා පැතිරුණු චරිත අතරට සිසිල් වූ සිංහරාජයේ පාමුල සුන්දර දෙල්ලව ගමෙහි ජනිත වෙමින් දෙල්ලව ගමෙහි පන්සලෙහි පැවිදිබව ලබා ගොඩපිටිය ජේතවන පිරිවෙණින්, ඌරාපොල ශ්‍රී රතනජෝති පිරිවෙණින් මූලික අධ්‍යාපනය ද ලබා පේරාදෙණිය සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධියද ලැබූ අප නාහිමියෝ බහුශ්‍රැත ධර්මධරයෙකු බවට පත්වූහ.

මල්වතු මහා විහාරයෙන් උපසම්පදාව ලබා තමා ශිල්ප ලද ගොඩපිටිය ජේතවන පිරිවෙණෙහිම ගුරු දිවිය ලබා දිගු කලක් ඉටුකළ අධ්‍යාපනික මෙහෙවර වඩාත් කූටප්‍රාප්තියට පත් කෙරෙන්නේ දෙල්ලව නාථාරාමයෙහි ‘ශ්‍රී විද්‍යාවර්ධන’ නමින් පිරිවෙණක් අරඹා පරිවේණාධිපති ධූරයට පත් වීමෙනි.

උන්වහන්සේගේ ශාසනික මෙහෙවර අත්‍යුදාරය. දේවාලේගම ගම්මානයට සුගත විහාරය ලැබුණේ ද පොල්ගම්පල ගම්මානයට ධර්මරාජ විහාරය ලැබුණේ ද උන්වහන්සේගේ නායකත්වයෙනි. විහාර පමණක් නොව දහම්පාසල් තුනක් ඇරඹීමෙහි නිර්මාතෘවරයාණෝ ද උන්වහන්සේයි.

එපමණක් නොව ධර්මධරයෙකු ලෙස ඉතා ව්‍යක්ත ධර්මදේශකයන් වහන්සේ නමක් ලෙස අප නාහිමියෝ ඉතා හරබර දෙසුමෙහි සමතයෙකි. එමෙන්ම ආගමික ලිපි ලේඛනයෙහි ද නිරතුරු නිරතයහ.

ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සභික ධූරයට ද පත් වූ උන්වහන්සේ නෙළුව සමථමූල මණ්ඩලයෙහි සාමාජිකයෙකු ලෙසින් ක්‍රියා කරති. ශාසනාරක්ෂක මණ්ඩලය, විහාරාධිපති සංගමය ආදී බොහෝ ආයතනයන්හි මුල් තනතුරු හොබවමින් අනතිමානී චාම් සරල දිවි පෙවෙතක් ගෙවමින් සසුනඹර එකලුකරන්නට මුළු දිවිය පුරා කළ මෙහෙවර අගයා ශ්‍රී රෝහණ සංඝ සභාව උන්වහන්සේ සංඝ නායක ධූරයට පත් කර තිබෙයි.

තම මෙහෙවර ඉදිරියට රැගෙන යන්නට දෙල්ලව ධම්මරතන දෙල්ලව පුඤ්ඤරතන බෙංගමුවේ ඉන්දරතන, දෙල්ලව චන්දරතන, රන්සෑගොඩ ඥානරතන පඬි හිමිවරුන් ඇතුළු විශාල ගිහි පැවිදි සිසු පිරිසක් උන්වහන්සේට වෙති.

පැවිදි බවේ හැටවසරක මෙහෙවරට අපසැම උන්වහන්සේ වෙත සුභාශිංසනය පිරිනමමු.

ජිනරතන නාහිමිපාණන්ගේ පැවිදි දිවියට හැට වසරක් පිරීම නිමිති කරගෙන මෙම ඔක්තෝබර් මස 06 වැනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වා 07 වැනි දින අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල් තබා සවස උපහාර උත්සවයක් පවත්වා රාත්‍රී බෝධි පූජාවක් සිදුකර 08 වැනි දින දවල් සඟසතු මහ දනක් පිරිනමා ආශිර්වාද කිරීමට ශිෂ්‍ය පිරිස සහ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.