Print this Article


දැහැමි දිවිය සදයි සුවය

දැහැමි දිවිය සදයි සුවය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ධම්මාරාමො ධම්මරතො
ධම්මං අනුවිචින්තියං
ධම්මං අනුස්සරං භික්ඛු
යතී ති,

සැදැහැවත් පින්වතුනි,

ඉහතින් සඳහන් කෙළේ ධම්මපදයේ භික්ඛු වර්ගයේ පස්වෙනි ගාථාවයි. දන් සිල් භාවනාදී විවිධ පින්කම් කරමින් කායික වාචසික මානසික සංවරය ඇතිකර ගැනීමට උත්සාහ කරන මේ වස්සාන සමයේ මා සූදානම් වන්නේ වටිනා ධර්මානුශාසනයක් ඉදිරිපත් කිරීමටයි.

ධර්මයෙහි වාසස්ථාන කොටගෙන සිටි ධර්මයෙහි ඇළුනු ධර්මය නැවැත නැවැත සිහිකරන්නාවූ භික්ෂුව සද්ධර්මයෙන් නොපිරිහෙන්නේය යන ඉහත සඳහන් ගාථාවේ සරල අදහසයි. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයෙහිදී ධර්මාරාම තෙරුන් අරභයා දේශනා කරන ලද්දක්.

බුදුරජාණන් වහන්සේ විසින් තවත් සිව් මසකින් තමන් වහන්සේ පිරිනිවන් පානා බව දේශනා කෙළෙන් දහස් ගණනක් භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ පිරිවරා අතනොහැර හැසිරෙන්නට වුණා. ආර්යයන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වූ අතර අනාර්ය භික්ෂූන් හඬා වැළපෙන්නට වුණා. මේ අතර ධර්මාරාම නම් භික්ෂුවක් මේ කිසිවෙකු සමඟ මුසු නොවී හුදෙකලාව ධර්මය මෙනෙහි කරමින් වාසය කළා. මේ පිළිබඳ විවිධ භික්ෂූන් උන්වහන්සේ විමසා සිටියා. තමන් වහන්සේ තවම පෘථග්ජන නිසා බුදුරදුන් ජීවමානව සිටියදීම රහත්වීමට අවැසි බවත් ඒ සඳහා ශ්‍රී සද්ධර්ම දේශනා ආවර්ජනය කෙරෙමින් විමුක්ති සුවය ප්‍රාර්ථනය කෙරෙමින් වාසය කරන බවත් පවසා සිටියා. භික්ෂූන් වහන්සේලා මේ බව බුදුරජාණන් වහන්සේට සැළකර සිටියා.

බුදුරජාණන් වහන්සේ ධර්මාරාම භික්ෂුව කැඳවා භික්ෂූන් සැළකර සිටි මේ ප්‍රශ්නය විමසුවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම තවම අනාර්යයි, පෘථග්ජනයි. ඔබ වහන්සේ තව, සිව් මසකින් පිරිනිවන් පානා බව සැළවුණා. එනිසා ඔබවහන්සේ වැඩසිටින මේ කාලය තුළදීම කෙසේ හෝ රහත්ඵල ලැබීමේ අදිටනින් ශ්‍රී සද්ධර්මය ආවර්ජනය කෙරෙමින් දැඩි උත්සාහයක නිරතව සිටින්නෙමැයි ප්‍රකාශ කළා.

මේඇසූ බුදුරජාණන් වහන්සේ බෙහෙවින් සතුටට පත්ව ධර්මාරාම භික්ෂුවට ප්‍රශංසා කළා. ඉතා හොඳයි ඉතා හොඳයි කියල සාධුකාර පැවැත්වුවා. එපමණකුත් නෙවෙයි ‘මහණෙනි මා කෙරෙහි සෙනෙහෙ ඇති සෙසු ශ්‍රාවකයන්ද ධර්මාරාම භික්ෂුව වගේ විය යුතු යැයි දේශනා කළා.

දැන් මේ ගාථාවේ සඳහන් දහම්, කරුණු දෙස අපගේ අවධානය යොමු කරමු. මෙහි ධම්මාරාමෝ යනුවෙන් හැඳින්වෙන්නේ සමථ විපස්සනා භාවනා වැඩීමයි. ගිහියන් විසිතුරු ඇඳුම් පැළඳුම්, හැඳ පැළඳ මිහිරි ආහාරපාන අනුභව කෙරෙමින් ඇස කන ආදී පසිඳුරන් පිනවමින් රූප ශබ්ද ආදී පංචාරම් මනයන් කෙරෙහි ඇලෙමින් වාසය කරනවා. එහෙත් සැබෑ වූ පැවිද්දා පැවිදි වූ දා පටන් රුක්මාල් වල වෙසෙමින් පාත්‍රයක වළඳමින් සරල චාම් ආදර්ශමත් දිවිපෙවෙතක් ගෙවෙනවා. එහෙත් දිවි පැවැත්මේ දී ඒ කිසිවක් නිසා දුකක් දොම්නසක් හෝ මානයක් උපදින්නේ නැහැ. යමෙක් ශ්‍රද්ධාවෙන්ම සතර සංවර ශීලය රකීද එබඳු පුද්ගලයා ධම්මාරාම හෙවත් දහමෙහි ඇළුණු කෙනෙක් වෙනවා. මීළඟට අපි බලමු ධම්මරතෝ යන්නෙන් පැහැදිලි වන්නේ කුමක්ද කියලා. සසර භය දන්නා හැම කෙනෙක්ම සමථ විපස්සනාදී භාවනා මඟින් නීවරණ ධර්මයන් යටපත් කර ගැනීමට උත්සාහ දරනවා. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ සංසිඳුවා සිත දියුණු කිරීම සමථ

භාවනාවෙන් සිදුවෙනවා. මෙම භාවනාව සඳහා අවශ්‍ය සම සතළිස් කර්මස්ථානවලින් එකක් වැඩීමෙන් සමාධිය වැඩෙනවා. අරමූණෙහි සිත එකඟ වෙනවා. සිත එකඟවනවිට විතක්ත විචාර පීති සුඛ එකග්ගතා යන ධ්‍යානාංග මතුවීමත් සමඟ පංච නීවරණ යටපත් වෙනවා. මේ ධ්‍යානාංග මතුවීමට ආසන්න අවස්ථාවෙහි සිතෙහි පහළ වන එකඟ බව උපචාර සමාධිය යනුවෙන් හැඳින්වෙනවා.

හිරු උදාවට ආසන්න වන විට අලුයම අඳුර සිඳී අරුණාලෝකය උදාවීමට පටන්ගත් වේලාව ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහි දෙවැන්න අර්පනා සමාධියයි. අරුණාලෝකය උදාවී හිරු පැහැදිලිවම පෙනෙන අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකියි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලකුණු භාවනාව විදර්ශනාවයි. විදෝෂ දර්ශනය යනු විදර්ශනා යන වචනයේ අදහසයි. මේ භාවනාව බුද්ධෝත්පාද කාලයෙහි පමණක් පවතින්නකි. සෝවාන් සකෘදාගාමි ආදී මගඵල ප්‍රතිවේදය සිදුවන්නේ ද විදර්ශනා භාවනාවෙනි.

සද්ධම්මා න පරිහායතී යන මෙම දහම් පදයෙන් අදහස් වන්නේ සද්ධර්මය නොපිරිහෙන බවයි. සද්ධර්මය යන දහම් පදය තුළින් සතර සතිපට්ඨානය, සතර සම්ම්‍යග් ප්‍රධාන වීර්යය, සතර සෘද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබලය, සප්ත බොජ්ඣංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් හා සෝවාන් සකෘදගාමි අනාගාමි අරහත් යන සතර මග සතර ඵලයන්ද නිර්වානය යන නව ලෝකෝත්තර දහම විස්තර වෙනවා. මෙයින් පිරිහීමට පත් නොවන්නට නම් සිල්වත්ව සමථ විදර්ශනා ධර්මයන් හා එක්ව කටයුතු කළ යුතුයි.

ධර්මාරාම හිමියන් බුදුපියාණෝ තවත් සිව් මසකින් පිරිනිවන්පානාබව දැන දැනත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදී වාසය කළා. බුදුරදුන්ගේ සාධුකාරයට ප්‍රශංසාවට පවා පත්වුණා.

සසර දුක් නසා සසරින් එතෙරවනු කැමැති අප විසින් ද කළයුත්තේ, හැකිතාක් කුසල්දහම් සිදු කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදී වාසය කිරීමයි. එබැවින් තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ මේ මාර්ගයෙහි ගමන් කරමින් මගඵල ලබා ගැනීමට අපි සැම උත්සාහ ගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.