Print this Article


පැල්මඩුල්ලේ රූප අරුණ පිරිවෙන් විද්‍යායතනය

පැල්මඩුල්ලේ රූප අරුණ පිරිවෙන් විද්‍යායතනය

1826 දී ආරම්භ කළ පැල්මඩුලු රාජමහා පිරිවෙන ඉඳුරුවේ සුමංගල නාහිමියන් විසින් 1868 දක්වා පවත්වාගෙන ගිය අතර අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍යයන් වූ රොටුඹ රේවත හිමි, කිරඹ රේවත හිමි, ගලගම අත්තදස්සි හිමි, ඉඳුරුවේ පියදස්සි හිමි, වල්ගම ස්වර්ණජෝති හිමි, පුවක්දණ්ඩාවේ සුමංගල හිමි, යන හිමිවරුන් විසින් පවත්වාගෙන ආහ. 1911 දී ඉඳුරුවේ පියදස්සි හිමියන්ගේ ශිෂ්‍ය හාල්දඬුවන බුද්ධ රක්ඛිත හිමියන් 1918 දක්වා පිරිවෙන සුරක්ෂිතව පවත්වාගෙන ගොස් ඇත.

අනතුරුව 1918 සිට 1981 දක්වා සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක සාහිත්‍ය ශූරී ත්‍රිපිටකාචාර්ය හාල්දඬුවන ධම්මරක්ඛිත නාහිමියන් විසින් නව අධ්‍යාපන ක්‍රමය අනුව රූප අරුණ පිරිවෙන නමින් විශ්වවිද්‍යාල අනුබද්ධිත ආයතනයක් ලෙස ගිහි පැවිදි සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසින් වැඩි දියුණු කර ඇත. ඉඳුරුවේ පඤ්ඤාතිස්ස හිමි, වේහැල්ලේ ධම්මපාල හිමි, පරවාහැර පඤ්ඤානන්ද හිමි, මුද්දුවේ පඤ්ඤාසේකර හිමි, වැනි වියතුන් රැසක් මෙම යුගයේ බිහිවී ඇත. ඉන් අනතුරුව උල්ඉඳුවාවේ ඤාණරතන හිමි, දම්පැල්ලේ ධම්මිස්සර හිමි, විල්ලඹියේ මලියදේව හිමි, තලගස්කන්දේ වජිර හිමි, යන හිමිවරුන් පිළිවෙලින් පරිවේණාධිපති ධුරය දැරූ අතර වර්තමානයේ විල්ලඹියේ රාහුල හිමියෝ පරිවේණාධිපති ධුරය උසුලති. 1981 සිට 2000 දක්වා රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක මහෝපාධ්‍යාය මුද්දුවේ පඤ්ඤාසේකර නාහිමිපාණන් වහන්සේ කෘත්‍යාධිකාරිත්වය ඉසුලූ අතර 2000 වසරේ සිට පිරිවෙණේ කෘත්‍යාධිකාරිත්වය උසුලනු ලබන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සුමංගල රතනපාල බෙංගමුවේ ධම්මදින්න නායක මාහිමිපාණන් වහන්සේ විසිනි.

උන්වහන්සේගේ ආධිපත්‍ය යටතේ ඉතිහාසයේ නොවු විරූ තරමේ දියුණුවක් හා සංවර්ධනයක් සිදුවෙමින් පවතී. රූප අරුණ පිරිවෙන් විද්‍යායතන සිසුන්ගේ ගුණ නැණ වර්ධනය කරන ලක්දිව ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් බවට පත්වී ඇත. කලා, වාණිජ විෂය ධාරාවන්ද සරසවි ප්‍රවේශය ලබන සිසුන් සංඛ්‍යාවද ප්‍රාචීන අවසාන විභාගය සමත් වන සිසුන් සංඛ්‍යාවද ඉහළ මට්ටමක පවතී. මීට අමතරව නූතනයට ගැලපෙන පරිදි පරිගණක පහසුකම් ද සලස්වා ඇත.

පිරිවෙනට වසර 190 ක් පිරීම නිමිත්තෙන් සමරන උත්සව මාලාව 2016 සැප්තැම්බර් 17 සිට 23 සක්වා සංවිධානය කර ඇත. විද්වත් දේශන, පුරාවස්තු ප්‍රදර්ශන, සංස්කෘතික සංදර්ශන විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශන , චිත්‍ර ප්‍රදර්ශන මේ අතර වේ. මේ සියලු කටයුතු කෘත්‍යාධිකාරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය වී ඇත.