Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව ශ්‍රී ලංකා පොලිසියේ සහභාගීත්වයෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව ශ්‍රී ලංකා පොලිසියේ සහභාගීත්වයෙන්

මිහින්තලා මහ සෑයට කප්රුක් පූජා කිරීම

සිතූ පැතූ සම්පත් ලැබෙන මහානිසංස පිංකමක්

ලේක්හවුස් ආයතනය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා එක්ව මිහින්තලා පුදබිමේ දී බිනර පෝදා පැවැත් වූ හතරවන කප්රුක් පූජාව ඉතා සාර්ථකව පැවැත්වීම පිළිබඳ මහා සංඝ රත්නයේ ආශිර්වාදය පුද කරනවා යැයි මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණ වැවේ ධම්මරතන නා හිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි 2016 පොසොන් පොහොය දින සිට නොකඩවා සෑම පුර පසළොස්වක පොහොය දිනකම මිහින්තලා මහ සෑයට කප්රුක් පූජාවක් පැවැත්වීමට තීරණය කර තිබුණි.

නා හිමියෝ එහි දී මෙසේ ද පැවසූහ. සතර බුදුරජාණන් වහන්සේ ගේ සහ මහ රහතන් වහන්සේලාගේ පා පහස ලද මේ උතුම් වූ පුණ්‍ය භූමියේ ඇති බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති ඓතිහාසික මිහින්තලා මහ සෑයට කප්රුක් පූජා කිරීම වස්ත්‍රාභරණ සහ සිතූ පැතූ සම්පත් ලැබෙන මහානිශංස පින්කමක්.

පොලිස්පතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාටත් රජයටත්, ශ්‍රී ලංකාවාසී සැමටමත් ලේක්හවුස් ආයතනයේ සැමටමත් අප පින් අනුමෝදන් කරනවා.

ඒ අනුව ප්‍රථම, දෙවන, තෙවන පිළිවෙළින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදා නිලධාරීන්,ලේක්හවුස් ආයතනයේ නිලධාරීන්ගේ ද එකමුතුවෙන් කප්රුක් පූජා තුනක් පැවැත් වූ අතර හතරවන කප්රුක් පූජාව ශ්‍රී ලංකා පොලිස්පතිතුමාගේ උපදෙස් මත උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් සියලුම පොලිස් ස්ථානවල සහයෝගයෙන් මිහින්තලා පොලිස් ස්ථානාධිපතිතුමාගේ සහ ලේක්හවුස් සාමාන්‍යාධිකාරී, බුදුසරණ කර්තෘ, අලෙවි කළමණාකරු ඇතුළු සියලුදෙනාගේ සංවිධානයෙන් ඉකුත් බිනර පුන් පොහෝදින මිහින්තලා මහ සෑයට පූජා කරන ලදී.එහි දී මිහින්තලා රජමහා විහාරවාසී ඉන්ද්‍රරතන හිමිපාණන් විසින් ආගමික වතාවත් පැවැත් වූ අතර උඩරට පහතරට නැටුම් කණ්ඩායම් කිහිපයක් ම ශබ්ද පූජාවද පැවැත්වූහ.

කාන්තා පොලිස් නිලධාරිනියෝ බෞද්ධ කොඩි රැගෙන පෙරහරේ ගමන් කළහ.එම අවස්ථාවට උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ, සහකාර පොලිස් අධිකාරී, (01) චූලනී වීරරත්න, මිහින්තලා පොලිස් ස්ථානාධිපති රුක්මාල් රත්නායක, ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් ද සහභාගි වී සිටි අතර අනුරාධපුර පොලිස් පුහුණු මධ්‍යස්ථානයේ නිලදරුවන් ද ඊට සහභාගි වී සිටියහ.

 

 

 
 

කප්රුක් පුජාවේ අවස්ථා කිහිපයක්