Print this Article


පහන් සිතක කවි

සසර තවත් දිගු වුණා

කසාවතට සමුදුන් දා
ජීවිතයම අඳුරු වුණා
පස්කම් සැප සෙවූ මගේ
සසර තවත් දිගු වූවා
සසර දුකින් මිදෙමි සිතා
කහවත ගත දැවටූ දා
හතර වරිගයම සසරින්
එතෙර කරන්නෙමි කියලා
විහාරයේ බෝමැඬ යට ඉඳ
බවුන් වැඩූ එදා
සිතේ පැවැති සහන් සුවය
අද මා ළඟ නෑ
සහන් සුවය යළි ලබන්න
ළඟදිම හැකිවේවිද මට
ගිහි දිවියේ බැමි අතරේ
මා සිරවීලා
පතන්නෙමි යළිත් ලැබෙන්න
පෙර මා ලැබූ සුවය එදා


නෙළන්න බැරි මල්

නෙළන්න බැරි මල්
අරලිය අත්තක මල් පිපිලා
සුවඳේ ඉන්නට බැරිවා
බුදුන් පුදන්නට හිතිලා
නෙළා ගන්න හැදුවා

නෙළා ගන්න බැහැ පුංචි මගේ
අත දිග නැතුවා
ගහේ තිබියදී ඒ මල් මා බුදු සමිඳුට පිදුවා
සාධු, සාධු, සාධු


ගෝතමී සිල් මෑණියෝ 

ගෝතමී සිල් මෑණියෝ 
පාරමී දම් පුරා සොඳුරු වන පෙත් මැදින්
අමාමී පැන් බෙදා පෙරු පිළිවෙත් තුළින්
නමාමී අත් තබා මිතුරු කල්‍යාණයෙන්
ගෝතමී මෑණියෝ අප ඇසුර හැර ගිහින්

රතු ඕලු මල් පිපෙන සීත දිය රැළි අතර
මුතු පිනි වැටී දිලෙන ඈත නා අතු පතර
සිතිවිලි නැඟී මැවෙන සදෙව් මන්දිර අතර
පැතු සේ රැඳී නිවන ලබනු මැන අනුත්තර

නිසල සෙනසුන් බිමේ හරිත හෙවණේ ගැලී
සුනිල සන්සුන් හදෙහි කරුණාව ඇත වෙලී
නිමල සදහම් දෙසූ නින්නාදයෙන් සැලී
සසල කෙලෙසුන් කඳුළු බිඳුවලින් යයි හැලී

හමා එන මඳ පවන ගුණ සුවඳ ගෙනේවා
පිපී එන මල් කලණ මිතු දමට පිදේවා
නැඟී එන පුන් සදෙන් සුපින් වත මැවේවා
ඇදී යන දුක් සසර වෙතින් ඔබ මිදේවා


පින්බර ලක්මව

පින්බර ලක්මව 
සෙංකඩගලේ බැබළෙයි සිරි දළදාව
සමනළ ගලේ වැඳගමු මුණි සිරිපාව
මිහින්තලේ බැබළෙයි අනු බුදුරාව

රන්කොත දිලේ රන් වැලි සෑ රදුගාව
සඳරැස් වැටී බැබළෙයි මහ මෙව්නාව
බෝපත් සැලේ සිරිමා බෝ හිමිගාව
බුදුරැස් හැලේ සමාධි බුදු හිමිගාව

තුන්සිත ඇලේ මගෙ සම්බුදු හිමිගාව
සම්බුදු සමිඳු වැඩියෙන් මගෙ මව්බිමට
මිහිදු සමිඳු වැඩියෙන් මගෙ මව්බිමට
සඟමිත් තෙරණි වැඩියෙන් මගෙ මව් බිමට
මා ණය ගැතියි සැමදා මගෙ ලක්මවට


මල්ලියෙ ඔහොම නොකරන්

ළැමදේ ඉනු කිරි දුන්නෙත් දෙන්නාට
එක බත් පිඟානෙන් කැව්වෙත් දෙන්නාට
තියෙන හැම දේම දුන්නෙත් දෙන්නාට
මල්ලියෙ දොසක් නොකියන් බුදු අම්මාට 

දෙනෙතට නිදි නොදී අප නිදි කෙරුවාය
ලෙඩ වුණු වෙලේ කරපින්නන් දිව්වාය
පත පොත අරන් දී අකුරට යැව්වාය
ඒ මල්ලියේ මතු බුදු වෙන අම්මාය 

අප්පච්චී නැතත් තනියක් නොකළාට
අත පය නොම කඩා යහතින් හැදුවාට
ඇස් දෙක සේම මෙතුවක් කල් රැක්කාට
වඳිමු බුදුන් වඳිනා ලෙස අම්මාට


උපහාරයකි

අරගෙන දහම් සිතිවිලි පිරිවෙනෙහි තුළින්
අධිසිල් ගතව පිවිසී සිටි පැවිදි බවෙන්
හිමිපාණන් සතර නම පෙළහරක තුටින්
වැඩමෙව් අරිය මහ සඟ ලෙස පුදමු බැතින්

ගිහිකල සිටියදී පෙර පින් අනුව පැතූ
සඟ පරපුරට පින්වත් ගති ගුණය යුතු
දහමට ලැදිව තම දිවියම කරපු සතූ
පිරිවෙන තුළින් මතුවිය සඟ රුවනෙ මුතූ

පුංචිම දරු කැළක් බහ තෝරන වයස
පන්සල පිරිවෙනට සදහම් මග පිවිස
මව්, පිය , ගුරු , සොයුරු සෙනෙහස සතු මනස
නායක හිමි වෙතින් ලැබ උපරිම විලස

අවුරුදු හතේ සිට අවුරුදු දහය පිරූ
මහණය පතාගෙන පිරිවෙන වසන දරු
ඒ අය අතර තව පොඩි අය සිවුරු දැරූ
පිළිවෙත් රකිති සඟ පිරිවර අනුව ගරූ

නායක සමිඳුගේ ගුණ නැණයට පැහැදී
සසුනට එළඹ පිළිවෙත් සුරැකෙන පරිදී
යහපත් හැඟුම් මත ගුණ දහමින් පිබිදී
තව පිරිවර ලැබේවා වෙන්නට පැවිදි

මව්පිය අනුමැතිය ලැබගෙන පින් සාර
දරුවන් මහණ දම් පිරුවට එන වීර
නායක සමිඳුනේ අප පන්සල බාර
දායක සැම වෙනුවෙනුයි මෙම උපහාර


සසර දිනමු ලොව සනසමු

මෙත් කරුණා ගුණ ගඟේ
කිමිදී හිමි දෙසු මගේ
පිය නැඟුමට වෙහෙසෙන විට
වැටහෙති දිවියක අගේ

කෙළෙසුන් සිඳ බිඳ දමා
කුසලට නොමැතිව පමා
යෙදෙන දනන්හට පිවිසිය
හැකිවෙයි නිවනට අමා

මිනිසුන් ලෙස ඉපදිලා
ඉන් නිසි ලෙස පල නෙළා
ගැනුමට වෙහෙසිය යුතු වෙයි
නිරතුරු නොමැතිව මුළා 

සසර ගමන කෙටිකර
දුක දොම්නස දුරු කර
ලද දිවියෙන් පල ලද්දෝ
දැක ගත්තා අම පුර

දහමට කුසලට සිත
යොමුකර ලැබුමට සෙත
වෙහෙසෙන ගුණබර මිනිසුන්
මුළු ලොව සනසනු ඇත