Print this Article


සෙල්ලකතරගම මහාසේන රජ මහා විහාරස්ථානයේ බෝධීන් වහන්සේගේ රන්වැට නිරාවරණය කිරීම

සෙල්ලකතරගම මහාසේන රජ මහා විහාරස්ථානයේ

බෝධීන් වහන්සේගේ රන්වැට නිරාවරණය කිරීම

කතරගම සෙල්ලකතරගම මැණික් නදිය අසබඩ පිහිටා ඇති සෙල්ලකතරගම මහාසේන රාජමහා විහාරස්ථානය රමණීය භූමියක සුන්දර පරිසරයක ඇති ආගමික ස්ථානයකි. චෛත්‍ය බුද්ධ මන්දිරය බෝධීන් වහන්සේ ප්‍රධාන විහාරාරාම රැසකින් යුතු පුදබිමකි.

මෙම පුදබිමේ බෝධීන් වහන්සේ වටා ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය හා රන් වැට බිනර පෝදා සැදැහැවතුන් සඳහා නිරාවරණය කිරීමට මහාසේන රාජ මහා විහාරාධිපති පඩව්ගම ජිනානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ දායක සභාවේ සභාපති මොණරාගල හිටපු දිසාපති ඩී.පී. සපරමාදු මහතා ප්‍රධාන දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.

මෙම පින්කම නිමිත්තෙන් සෙත්පිරිත් දේශනාවක් මහා බෝධි පූජාවක්ද, ධර්ම දේශනාවක් බිනර පෝදා පැවැත්වේ.

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූයේ බෝධීන් වහන්සේ සෙවන යටතේය. මේ නිසා බුද්ධානුස්මෘතිය උපදවා ගැනීමේ සජීවි සංකේතයක් ලෙස බෞද්ධයන් බෝධින් වහන්සේට ගරු කරන්නට වූහ. බුද්ධත්වය ලබා ගැනීමට උපකාරීවීම නිසා බෞද්ධ සමාජයට බෝධින් වහන්සේ එකතු වූහ. බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ චෛත්‍යයන් අතර, පාරිභෝගික චෛත්‍ය ගණයට අයත්වෙයි.

මහාසේන රාජ මහා විහාරාධිපති පඩව්ගම ජිනාණන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි නාවල රාජගිරියේ අංක 10, පාසල් මාවතේ පදිංචි ලෙස්ලි ෆොන්සේකා මහතා සහ කාන්ති තලගල මහත්මිය විසින් සිය දෙමාපියන්ට පින් පිණිස බෝධින් වහන්සේ වටා රන් වැට ඉදි කර සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ දායකත්වය දරණ ලදී.