Print this Article


 ගැටබරු ඇසළ පෙරහර මංගල්‍යය සංස්කෘතික හා ආගමික පුනර්ජීවයට උරදෙන්නකි

 ගැටබරු ඇසළ පෙරහර මංගල්‍යය සංස්කෘතික හා ආගමික පුනර්ජීවයට උරදෙන්නකි

දක්ෂිණ ලංකාවේ මාතර දිසාවේ, මොරවක් කෝරළේ, කොටපොල පිහිටි සිසිල් තෙත් බවින් යුත් සුන්දර වන පෙතින් ගැවසීගත් ගැටබරු කඳුශිකරය අනුරාධපුර යුගයේ වළගම්බා රාජ සමය දක්වා ඈතට දිවෙන ඉතිහාසයකට නෑකම් කියන පුණ්‍ය භූමියකි. නිල්වලා ගඟේ ඉහළ නිමිනය මෙන්ම, ජල පෝෂිත කලාපය, මොරවක් කෝරළය හා කන්දබඩ පත්තුවේ මෙම ප්‍රදේශය පැරණි රෝහණ රාජධානියේ බටහිර කලාපයට අයත් වේ.

මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේත්, කන්දබඩ පත්තුවේත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරුවාපත්තුවේත් ජීවත් වන ජනීජනයාගේ වන්දනා මානයට පාත්‍රවන ඔදතෙද වන් ඓතිහාසික දේව වංශ කතාවේ ප්‍රදේශාධිපති විරුවෙකු වූ බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් උදෙසා පිහිට වූ දෙවොල ගැටබරු ලෙන් විහාරය තුළ ඉදිකර ඇත.

ලක්වැසි ජනතාවගේ වන්දනා මානයට පාත්‍ර වන දෙවිවරුන් අතර මෙම බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් ද සිංහල සම්භවයක් ඇති දේශීය දෙවි කෙනෙකු සේ සැලකේ. ශ්‍රී ලංකාවාසීන්ගේ ගෞරවාදරයට වන්දනා මානයට පාත්‍ර වී ඇති දෙවි දේවතාවුන්ගේ සම්භවය පිළිබඳ විමසන විට පෙනී යන්නේ උන්වහන්සේලා ජීවමාන කාලයෙහි අධි මානුෂීය ශක්තීන් සහිතව සිටිමින් ජනතාවගේ භය සම්ප්‍රයුක්ත ගෞරවය දිනාගත් අය බවත්, ඒ හේතුවෙන් පසුකාලීනව ඔවුන් දේවත්වයෙන් පිදුම් ලැබූ බවත් ය. ගැටබරු ලෙන් විහාරය ශ්‍රී බුද්ධ වර්ෂ 386 වැන්නෙහි අනුරාධපුර රාජධානියට පත් වට්ටගාමිණී අභය (වළගම්බා) රජු විසින් කරන ලද බව සනාථ කරගෙන ඇත.

මෙම මහානුභාව සම්පන්න පුණ්‍ය භූමියේ වත්මන් යුගය ආරම්භ වන්නේ 1834 නව සොයා ගැනීමත් සමඟ වේ. ඉන් පසු සියවසකට අධික කාලයක් නැවත ජනතාවගේ පූජෝපහාර ලබමින් කෙමෙන් දියුණුව කරා පා නැඟූ මේ රජමහා විහාරස්ථානය නිදහසින් පසු ලංකාවේ ඇති වූ ජාතික ආගමික ප්‍රබෝධය හේතුවෙන් 1950 දශකයේ එවකට විහාරාධිපති ධූරය හෙබ වූ අපවත් වී වදාළ රොටුඹ සිරි රතනපාලාභිධාන මහා ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ වූ ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය හා සංවර්ධන ක්‍රියාදාමය හේතුවෙන් මේ වන විට මෙරට නන්දෙසින් දිනපතා පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ වන්දනාමානයට ලක්වන සියලු විහාරාංගයන්ගෙන් උපලක්ෂිත දර්ශනීය මනස්කාන්ත පූජා භූමියක් බවට පත්ව ඇත. එදා 1953 දී දින දෙකක් පැවති පෙරහර මංගල්‍යය මේවන විට දින හතක් දක්වාත්, එය මෙතෙක් දශක හයකට අධික කාලයක් අඛණ්ඩවත් පවත්වාගෙන යාමට හැකිවීම අප සැමගේ භාග්‍යයකි. ගැටබරු ඇසළ පෙරහර මංගල්‍යය අපගේ ආගමික චාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුව පැවැත්වීමේ අරමුණ වන්නේ පූජාච පූජනීයානං යන බුදු වදනට අනුව බුදුන් වහන්සේට (තෙරුවනට) සහ වෙනත් මහෝත්තමයන්ට (දෙවියන්ට) පූජාවත් උපහාරයක් වශයෙනි. මෙමගින් ජනතාවටත්, රටටත් දේව ආරක්ෂාවත්, ශාන්තියත් ප්‍රාර්ථනා කරනු ලැබේ.

එමෙන්ම මෙම පෙරහර මංගල්‍යයේ අපේක්ෂිතය වන්නේ, නැටුම්, ගැයුම්, වැයුම් සැරසිලි ආදී විවිධ අංගෝපාංගයන්ගෙන් නරඹන, බලන, කරවන, කරන සෑම සියලු දෙනාගේම සිත් සතන් තුළ බුද්ධාලම්බන පී‍්‍රතිය, හුදී ජන පහන් සංවේගය ජනිත කිරීමයි. මේ නිසා සැදැහැ ඇත්තන්ගේ ශ්‍රද්ධාව, භක්තිය වර්ධනය වේ. මෙවැනි උසස් අරමුණකින් සද්භාවයකින් යුතුව වර්ෂයක් පාසා සිදු කරනු ලබන මෙම මහා පෙරහර මංගල්‍යය එක් අතකින් රුහුණේ කලා මංගල්‍යයකි. තවත් අතකින් ජාතික වටිනාකමක් ඇති ආගමික සත් ක්‍රියාවකි.

මෙම උතුම් කාර්යය නිසි පරිදි සංවිධානය කිරීමේදී සහ පැවැත්වීමේදී වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙරලනාතර චන්දවිමල නා හිමිපාණන් වහන්සේ සහ දායක සභාවත්, ඇසළ උත්සව සංවිධාන කමිටුවත් දරණ අප්‍රතිහත ධෛර්යය පිළිබඳ සැමගේ ප්‍රශංසාව හිමිවිය යුතු ය. විවිධ ජන කොටස් නොයෙක් සංවිධාන හා විවිධ තරාතිරම්වල ලොකු කුඩා ජනීජනයා එකම අරමුණක් ඔස්සේ ඒකරාශී කරගෙන අඩුපාඩු හා දුර්වලකම් හැකිතාක් අවමකර ගනිමින් මේ සංකීර්ණ කාර්යභාරය සාර්ථකව නිම කිරීමට හැකි වීම සත්‍ය වශයෙන්ම ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ බල මහිමයේ හාස්කමකි.

සිංහල ජාතියත්, ශ්‍රී ලංකාවත් බුදු දහමේ ආලෝකයෙන් බැබලුණු ආකාරය දෙදහස් පන්සිය වසරක අපේ ඉතිහාසයෙන් සක්සුදක් සේ පැහැදිලි වේ. අපේ සමාජයේ තවමත් දකින්නට සිටින ශ්‍රද්ධාබුද්ධි සම්පන්න ජනීජනයාගේ හිත සුව පිණිස ඔවුන්ගේ සිත් සතන්වල බුද්ධාලම්බන පී‍්‍රතිය හා හුදී ජන පහන් සංවේගය දනවන මෙන් සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කිරීම සාමයික පණිවුඩය සඵලවන ක්‍රියාවකි. අපේ පහතරට නැටුම් සම්ප්‍රදාය හා කලා ශිල්ප සංවර්ධනයට හා උද්ධීපනයට මෙම ගැටබරු ඇසළ මහා මංගල්‍යය මහඟු අවස්ථාවකි. ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යයේ දී හැම විටම හැම අතින්ම රුහුණේ අනන්‍යතාව ආරක්ෂා වන කලා ශිල්පවලටත් කලා කරුවන්ටත් නිසිතැන ලබාදීමට උත්සුක වී ඇත. එසේම සංකර හා අවස්ථාවට නොගැළපෙන අංග ඉවත්කිරීමෙන් පෙරහරේ ගෞරවනීය භාවය පවත්වා ගැනීම අපගේ වගකීමක් වනු ඇත.

මනා විනයකින් සංයමයකින් අවස්ථාවට උචිත ඇඳුම් පැළඳුම් සැරසිලි සහිත උසස් මට්ටමේ පෙරහර මංගල්‍යයක් සංවිධානය කිරීමේ දී අප මුහුණපාන අභියෝග සුළු පටු නොවේ. විවිධ බලාපොරොත්තු ඇතිව නොයෙක් යටි අරමුණු සහිතව විවිධ දෘෂ්ටිකෝණවලින් හා පාට කණ්ණාඩි වලින් බලා පෙරහර මංගල්‍යය විවේචනයට දෝෂාරෝපණයට ලක් කරන පිරිස් ද නැත්තේ නොවේ.

ජාතික ආගමික කාර්ය භාරයක නියැලෙන මෙහි වගකීම දරන අප හැම එම විවේචනයට සත්‍යයක් වේ නම් එය අවධානයට ලක්කර ගනිමු.

මිට අවුරුදු දෙදහස් පන්සීයයකට ඉහත පොසොන් පෝදා අනුබුදු මිහිඳු මා හිමියන් අප වෙත දෙවා වදාළ ශ්‍රී සද්ධර්මය සංස්කෘතිය හා සභ්‍යත්වය අනේකවිධ පරසතුරු උවදුරුවලට මුහුණ දෙමින් අද දක්වාත් මේ ලක් දෙරණේ ආරක්ෂා වී තිබීම ජාතියේ භාග්‍යයකි.

අපගේ ජාතිමාමක වීර නරපති වළගම්බාවන්ගේ ව්‍යායාමයෙහි ප්‍රතිඵලයක් වශයෙන් අපට උරුම ගැටබරු රාජ මහා විහාරය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම ඇසළ මහා පෙරහර මංගල්‍යය උසස් අන්දමින් පැරණි චාරිත්‍රානුකූලව මතුවටත් පවත්වා ගැනීම සඳහා වෙර දරණ විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර චන්දවිමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, ඇසළ උත්සව සංවිධාන කමිටුවටත් සහාය දැක් වූ ලක්වැසි සියලු දෙනාටත් ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.

 


ගැටබරු පුදබිමට දක්වන්නේ අසීමිත ගෞරවයකි

දෙනියායේ කොටපොල ගැටබරු ඓතිහාසික රජමහා විහාරස්ථානයෙහි විහාරාධිපති පරම්පරාවේ හත්වැනි විහාරාධිපති ස්වාමීන් වහන්සේ වශයෙන් ගෙවීගිය දශක කිහිපය තුළ ගැටබරු පුදබිම තුළ වූ ප්‍රවර්ධනය මෙන්ම උසස් සාර්ථකත්වය පිළිබඳව නිරාමිස පී‍්‍රතියක් ලබමි. එහි ප්‍රවර්ධනය කරා මේ පුදබිම ළඟාවනු දැකීම මාගේ ජීවිතයේ මා ලැබූ ඉමහත් භාග්‍යයක් කොට සළකමි.

මහානුභාවසම්පන්න ගැටබරු සිද්ධස්ථානය ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය විහාරස්ථානයක් බවට පත්කිරීමෙහිලා අතීතය තුළ ඇප කැපවූ මැදිහත් වූ සහ වර්තමානයේ අනාගතය සඳහා සංවර්ධනාත්මක ප්‍රවේශයක් ලබාදෙන රාජ්‍ය නායකත්වයන් ගිහි පාර්ශවයේ පුරෝගාමීන් මම පුණ්‍යානුමෝදිතව සිහිපත් කරමි. දශකයෙන් දශකයට විවිධ පසුබිම් මධ්‍යයේ ගැටබරු පුදබිමේ ප්‍රවර්ධනය අඛණ්ඩව සිදුවන්නේ සියලු පාර්ශවයන් සහ බැතිමත් ජනතාව තමන් සතු පූජනීය පොදු වස්තුවක් ලෙස ගැටබරු පුදබිමට දක්වන අසීමිත ගෞරවය හේතුවෙනි.

එදා අභාවප්‍රාප්ත එම්.ඩී.යාපා මැතිතුමාගේ ගිහිනායකත්වයෙන් අතිශය දුෂ්කර පසුබිමක ආරම්භ වූ නූතන ගැටබරු පුදබිමේ සංවර්ධන ගමන්මගේ රාජ්‍ය නායකයින්ද දිවංගත මාතර දිස්ත්‍රික් අමාත්‍ය කීර්ති අබේවික්‍රම මැතිතුමා, හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අප දායක කුමාරසිරි හෙට්ටිගේ මහතා මෙන්ම වර්තමානයේ අප උත්සව සංවිධානයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමාගේ නායකත්වය යටතේ ගැටබරු පුදබිමට එක්කළ සහ එක්කරමින් සිටින මහා පරිමාණයේ වටිනාකම් සුවිශේෂ වශයෙන් යළි යළිත් පුණ්‍යානුමෝදිතව සිහිපත් කළ යුතුව ඇත. අප ජීවත්වන මොරවක් කෝරළයේ ඓතිහාසික උරුමයන්හි ප්‍රතාපවත්භාවය තහවුරු කරමින් ගැටබරු පුදබිම මුල්කරගෙන සිව්දෙස කීර්තිය පතුරුවන වටිනා උප සංස්කෘතියක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් ඇගයීමට ලක්විය යුතු කරුණකි. ගැටබරු පෙරහර මංගල්‍යයේදි පුදබිම සංවර්ධන ක්‍රියාවලියේද ප්‍රවර්ධනය වෙනුවෙන් දායකවන රාජ්‍ය, පෞද්ගලික, සමූපකාර ආයතන මෙන්ම ගැටබරු දායක සභාව ඇතුළු උත්සව සංවිධාන හා සහ සම්බන්ධ සියලු දායකකාරකාදීන්ට මගේ ප්‍රණාමය පිරිනමන අතර සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ද ගැටබරු රජ්ජුරුබණ්ඩාර දෙවිඳුන්ගේ රැකවරණය ද ප්‍රාර්ථනා කරමි.


ජනතාව මහත් හරසරින් වන්දනාමාන කරනු ලැබේ

ඓතිහාසික ගැටබරු රජ මහා විහාරස්ථ මහා දේවාලය දක්ෂිණ ලංකාවේ අග්‍රගණ්‍ය පුදබිමක් සේම, ජනතාව මහත් හරසරින් වන්දනාමාන කරනු ලබන දේවාල පරිශ්‍රයක් ලෙසින් ද සැළකේ. දුරාතීතයේ වළගම්බා රජ දවස දක්වා විහිදෙන ඉතිහාසයකට හිමිකම් කියන මෙම ලෙන්විහාරය ප්‍රමුඛ පින්බිම රජ්ජුරු බණ්ඩාර මහා දේවාලය හේතුවෙන් වඩාත් ජනාදරයට පත්ව ඇත. තෙරුවන් නැමඳ දෙවියන්ට තම දුක් තැවුල් පවසා යම් සහනයක් පැතීම පොදු ජනතාවගේ සාමාන්‍ය සිරිතය. මිනිසාගේ ඇදහිලි සහ විශ්වාස මානව පුරාණයේ බොහෝ ඈත දුරක සිට පැවත එන අතර එය ඔහුගේ ලෞකික ජීවිතයට යම් සහනයක් සලසන පිළිවෙත් සමුදායක පිළිබිඹුවකි. ඓතිහාසික ගැටබරු රජ්ජුරු බණ්ඩාර මහා දේවාලයේ ඇසළ පෙරහර හැටවන වරටත් වීදි ගත වන්නේ බැතිමතුන්ගේ භක්තිය සහ ගෞරවය මනාව විදහාපාමිනි. මානව සමාජයේ සුහදත්වය, එකමුතුකම සහ පොදු සහභාගිත්වය නම් සුවිශේෂ ලක්ෂණයන් සමාජගත කරමින් මිනිසුන් කෙරෙන් නපුරු සිතිවිලි, අයහපත් ආකල්ප තුරන් කරන මෙවන් පෙරහර පැවැත්වීම් ජන සමාජයේ ප්‍රගමනයට පුළුල් දායකත්වයක් දක්වන බව අපගේ විශ්වාසයයි.

ඓතිහාසික ගැටබරු ඇසළ උත්සවය සහ වාර්ෂික පෙරහර මංගල්‍යය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ආශිංසනය කරන අතර, මෙම දැවැන්ත පුණ්‍ය කටයුත්ත උදෙසා දායක කාරකවන සැමට තෙරුවන් සරණත්, දේවාශීර්වාදයත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


සමස්ත දේශයටම මහත් අභිමානයක්

දක්ෂිණ ලංකාවේ අග්‍රගණ්‍ය සිද්ධස්ථානයක් වන ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථානයේ රජ්ජුරු බණ්ඩාර මහා දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය ඓතිහාසික ශ්‍රී විභූතිය ඔප්නැංවෙන පරිදි හැට වන වරටත් පවත්වන්නට කටයුතු යෙදීම මම මහත් සේ අගය කරමි. මාතර දිසාවේ මොරවක් කෝරළයට අයත් මෙම සිද්ධස්ථානය වළගම්බා රජු දවස කළ ලෙන් විහාරයක් ලෙස සැලකේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම පූජෝත්සවය වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් දිවයිනේ නන් දෙසින් පැමිණෙන අතර, අතීත උරුමයේ විශිෂ්ටත්වය වත්මන් පරපුර හමුවේ තබමින්, සාම්ප්‍රදායික සංස්කෘතික අංග සමඟ පවත්වන පෙරහර දක්ෂිණ ප්‍රදේශයට පමණක් නොව සමස්ත දේශයටම මහත් අභිමානයකි.

මෙවන් උතුම් සංස්කෘතික හා ආගමික මෙහෙවරක් පෙරට ගෙන යාම පිණිස කැප වන ගැටබරු රාජ මහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රධාන සඟරුවනට ද විහාරස්ථ දායක සභාවට ද ගෞරවනීය ස්තුතිය පුදකරමින්, වාර්ෂික පෙරහර මංගල්‍යය සර්වප්‍රකාරයෙන් සාර්ථක වන්නට මෙත් සිත් පෙරදැරිව සුභාශිංසන පිරිනමමි.

තෙරුවන් සරණයි.


ලක්වැසි ජනතාවගේ ගෞරවයට පාත්‍රවී ඇත

මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රාජමහා විහාරයේ ඉතිහාසය වළගම්බා රජු දවස තෙක් දිව යන්නකි. එය රුහුණේ පුංචි කතරගම ලෙස ප්‍රචලිත වූයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් නිසාවෙනි. මහා වංශයේ සඳහන් වන පරිදි වළගම්බා රජු සතුරු ආක්‍රමණිකයන්ගෙන් මිදීමට සැඟව සිටි රුහුණේ කඳු ශිකර මත ඉදිකළ ලෙන් විහාරයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වේ.

අද රුහුණට මෙම සිද්ධස්ථානය ඓතිහාසික උරුමයක් පමණක් නොව, ජනතා සිත් සතන් නිවී පහන් කරන පූජනීය ස්ථානයක් බවට ද පත්ව ඇත්තේ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේම ගෞරවාදරයට පාත්‍ර වෙමිනි.

එය වඩාත් තීව්‍ර කරන්නට වාර්ෂිකව පවත්වන ගැටබරු පෙරහර හේතු වී තිබේ. අපවත් වී වදාළ රොටුඹ ශ්‍රී රතනපාල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, සාම විනිසුරු එම්.ඩී.යාපා මැතිතුමා සහ එවකට වරල්ල පොලිසීයේ සේවය කළ මිරැන්ඩෝ රාලහාමිගේ මෙහෙයවීමෙන් 1953 දී උඩමළුවේ චාරිත්‍ර පූජෝත්සවයක් ලෙස ඇරඹූ පෙරහර මංගල්‍යය 1956 දී වීථි සංචාරයට එක් වී එතැන් සිට අද දක්වාම පැවැත්වෙනුයේ ත්‍රිවිධ රත්නයට මෙන්ම ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවියන්ටද පූජෝපහාරයක් වශයෙනි. වර්තමානයේ එයට නායකත්වය සපයන ගැටබරු රාජමහා විහාරාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝ නායක බෙරලපනාතර චන්දවිමල නාහිමියන්ගේ මඟ පෙන්වීම සහ කැපවීම අප සැම ගෞරව පූර්වකව අගය කළ යුතු වේ. එමෙන්ම උඩමළුවේ තේවාව භාර ආචාර්ය කිරින්දේ ආනන්ද හිමිපාණන් පෙරහර කමිටුවේ ලේකම් ලෙස ඉටු කරන මෙහෙවරටත් විහාරවාසී කොලොන්නේ මංගල ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝරත්නයටත් අපගේ නමස්කාර පූර්වක ගෞරවය පුද කළ යුතු වේ. ගැටබරු රාජමහා විහාරස්ථානයේ බස්නායක නිලමේතුමා ඇතුළු දායක සභාවටත්, පෙරහර මංගල්‍ය සාර්ථක කර ගැනීමට සහාය වූ සියලු දෙනාටත්, මාගේ කෘතඥතාව පිරිනමනුයේ අපේ උරුමය මතු පරපුරට රැගෙන යාමට දරන ප්‍රයත්නය අගය කරමිනුයි. රුහුණට ගෞරවයක් මෙන්ම ශ්‍රී ලංකාවාසී ජනතාවට සහනයක්, ශාන්තියක් උරුම කර දෙන ගැටබරු රාජමහා විහාරස්ථානය සහ රජ්ජුරු බණ්ඩාර දෙවොල අනාගතය වෙනුවෙන් සුරැකීම සඳහා කටයුතු කිරීම මාගේ ද ප්‍රමුඛ වගකීමක් බව ප්‍රකාශ කරමින්, පෙරහර මංගල්‍යය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.

සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්, ගැටබරු දෙවි පිහිටත් ලැබේවා,