Print this Article


දක්ෂිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවීම

දක්ෂිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවීම

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන මහමෙවුනා උයන බුද්ධ ශාසනයට පූජා කරන්නට පෙර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කිරීමේ කතාව ඇතිවුණි. මේ මහා බෝධි වංශයේ නිධාන කතාවයි.

මිහිඳු මහරහතන් වහන්සේගේ උපකාරයෙන් සහ සෘද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේ සමඟ වැඩසිටි පූජනීය භූමි සොයා ගනු ලැබිණ. ඒ වගේම අටසැට ලෙන් කරවා මිස්සක පව්වෙහි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු හැට අටක් රහතන් වහන්සේ හට වස් වසන්නට කටයුතු සැලැස්වීම රජතුමා මහත් සොම්නසින් සිදු කළේය.

දක්ෂිණ මහා බෝධීන් වහන්සේ වැඩමවීමට කටයුතු යෙදීම

ජය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාවත්, සංඝමිත්තා තෙරණින් වහන්සේත් ලංකාද්වීපයට වඩම්මවා ගන්නට කියා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වදාළ වචනය සිහි කරමින් රජතුමා තම මාළිගාවේ කාලය ගත කළේය. වස් කාලයේ එක්තරා දිනක මිහිඳු මහරහතන් වහන්සේ සමීපයෙහි වාඩි වී ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කරන්නේ තමන්ගේ නැඟණිය ගේ පුත්‍රයා වූ අරිට්ඨ ඇමැතිවරයා ඒ කටයුත්ත සඳහා යෙදවීමට සිතා ඔහු අමතා පවසන්නේ “දරුව ඔබ ධර්මාශෝක රජුන් සමීපයට ගොස් මහාබෝධි ශාඛාවත්, සංඝමිත්තා තෙරණියත් මෙහි වඩම්මවාගෙන ආ හැකිද?” යනුවෙනි.

දේවයන් වහන්ස, ඉඳින් මට නැවත මෙහි ආ විට පැවිදි වෙන්නට අවසර ලැබේනම්, ජනයාගෙන් ගෞරව ලබන්නාණෙනි, මම මහාබෝධි ශාඛාවත්, සඟමිත් තෙරණින් වහන්සේත් වඩම්මාගෙන එන්නෙමි.

රජතුමා “එසේම වේවා”! කියා අරිට්ඨ ඇමැතිවරයා එහි පිටත්කර වීය. අරිට්ඨ ඇමැති අපගේ මිහිඳු මහරහතන් වහන්සේත්, රජතුමාත් වන්දනා කර සංදේශයත් රැගෙන වස් මාසය පුර පක්ෂයෙහි දෙවැනි දින පිටත් විය. රාජකීය දූත මෙහෙවරක යෙදෙන අරිට්ඨ ඇමැති දඹකොළ පටුනෙන් නැව් නැංඟේය. මිහිඳු මහරහතන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් මහා සමුද්‍රය තරණය කොට නික්මුණු දින ම පාටලීපුත්‍ර නගරයට ගියේය. එය මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් කළ විශේෂ සෘද්ධියකි. එසේ වූයේ දක්ෂිණ බෝධින් වහන්සේ ලක්දිවට වැඩමවීම අතිශයින් සුවිශේෂි සංධිස්ථානයක් වූ නිසාවෙනි.

උපාසිකාරාමය

අනුලා දේවිය ඇය සමඟ පරිවාර කන්‍යාවන් පන්සිය දෙනාත්, ඒ වගේම අන්තඞපුර ස්ත්‍රීන් පන්සිය දෙනෙකුත් දස සිල් සමාදන් විය. කසාවත් පොරවාගෙන පිරිසුදු පැවිදි බව අපේක්ෂාවෙන් ධර්ම මාර්ගය පුහුණු වෙමින් සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමවීම බලාපොරොත්තුවෙන් නගරයෙහි එක් ප්‍රදේශයක “දෝළ” නැමති ඇමැතිගේ නිවසේ මනා වත් පිළිවෙතින් යුක්තව වාසය කළේය. ඒ දසසිල් උපාසිකාවෝ ඒ භික්ෂුණී අසපුවෙහි වාසය කළ නිසා ඒ කරුණෙන් උපාසිකා විහාරය යන නමින් එය ප්‍රසිද්ධියට පත්විය. මේ අනුව කාන්තාවන්ට පැවිද්දක් ලබා නොමැති නමුත්, ශ්‍රමණ, අනගාරිකා උපාසිකාවන් ලෙස උපාසිකාරාමවල වාසය කිරීමට අතීතයේ තොරතුරු අනුව සාක්ෂි සපයන්නේ එය වරදක් නොවන නිසාය.

හෙළවැසි රාජ දූතයන් ධර්මාශෝක රජු මුණ ගැසීම

දේවානම්පියතිස්ස රජුන්ගේ නැඟණියගේ පුත්‍රයා වන මහාඅරිට්ඨ ඇමැති ධර්මාශෝක මහරජුන් බැහැ දැක රාජ සන්දේශයත්, මිහිඳු මහරහතන් වහන්සේගේ සංදේශයත් දැනුම් දුන්නේය.

මහරජුන් වහන්ස, වූ අනුලා බිසව සිල් සමාදන්ව, සංවරව උතුම් පැවිදි බව අපේක්ෂාවෙන් සිටිති. අනුලා දේවියන් පැවිදි කරවන්නට සංඝමිත්තා භික්ෂුණින් වහන්සේත්, ඒ භික්ෂුණින් වහන්සේ සමඟ ශ්‍රී මහාබෝධි දකුණු ශාඛාවත් වඩම්මවාදෙන සේක්වා! කියා ඉල්ලා සිටියේය. ඒ වගේම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වදාළ මෙම කාරණය සංඝමිත්තා තෙරණින් වහන්සේටත් දැනුම් දුණි. සංඝමිත්තා තෙරණින් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ අදහස තම පිය රජතුමාට පවසා සිටියේය.

එවිට රජතුමා පවසන්නේ “මෑණියන් වහන්ස, මාගේ පුත්‍ර මහින්ද තෙරණුවෝත්, මුණුබුරු සුමන සාමණේරයන් වහන්සේගේත් වියෝගයෙන් සිටින මාහට ඔබවහන්සේත් දකින්නට නො ලැබුණොත් මගේ ශෝකය දුරු කරගන්නේ කෙසේද?

සංඝමිත්තා තෙරණින් වහන්සේ වදාළේ “මහරජතුමනි, සහෝදරයන් වහන්සේගේ වචනයට මම ගරු කරන්නට ඕනෑ. ඒ වගේම බුදු සසුනෙහි පැවිදි වෙන්නට ආශාවෙන් බොහෝ කාන්තාවන් එහි සිටින හෙයින් මේ කරුණ නිසාවෙන් මා ලංකාවට යාම අවශ්‍ය වේ.

දක්ෂිණ බෝධි ශාඛාව වෙන් කරන්නේ කෙසේද?

එයට එකඟ වූ රජුන් ඊළඟට කල්පනා කරන්නේ ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ ආයුධයකින් තුවාල කොට කැපීම සුදුසු නොවේ. මම දකුණු බෝධි ශාඛාව වෙන් කරන්නේ කෙසේද? යන්නයි. රජු ඒ කාරණය මහාදේව ඇමැතිට සැළකර සිටියේය. ඔහුගේ උපදෙස් පරිදි භික්ෂු සංඝයා වහන්සේ මාළිගයට වඩම්මවා දන්පැන් වළඳවා උන්වහන්සේගෙන් විමසා සිටින්නේ “ස්වාමිනි ලංකාවට මහබෝධි ශාඛාවක් වඩම්මවන්නට ඕනෑ. අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ “එසේය මහරජතුමනි, වඩම්මවන්නට ඕනෑ” යැයි කියා වදාළේය.

පසැස් ඇති භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී වැඩහිඳ කරන ලද පංච මහා අධිෂ්ඨානය ගැනත්, ධර්මාශෝක මහරජුන්ට පවසා වදාළේය. එය ඇසූ රජතුමා මහත් සතුටට පත්විය.

එදා පිරිනිවන් මඤ්චකයෙහි සැතපී වැඩහුන් පසැස් ඇති අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද මහා අධිෂ්ඨාන පසක් ඇත්තේය. එනම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව තමන් ම මහබෝධියෙන් වෙන් වී රන් කටාරමෙහි පිහිටත්වා, ඒ දකුණු බෝධි ශාඛාව රන් කටාරමේ පිහිටි පසු සොඳුරු වූ ෂඩ්වර්ණ රශ්මි දහරාවෝ බෝධි පත්‍ර ඵල ආදියෙන් නිකුත් වී සෑම දිශාවක්ම විසිරීයත්වා, ඒ මනරම් බෝධි ශාඛාව රන් කටාරමත් එක්ක ම තමන් ම අහසට පැන නැඟී නොපෙනී ගොසින් සත් දවසක් ම වළා ගැබක සිටීවා, ථූපාරාමයෙහි පිහිටන්නා වූ මාගේ අකු ධාතුව අහසට පැන නැඟී යමක මහා ප්‍රාතිහාර්යය කෙරේවා, ලංකාද්වීපයට මහත් අලංකාරයක් වූ ස්වර්ණමාලි මහා චෛත්‍යයෙහි ද්‍රෝණයක් පමණ වූ මාගේ නිර්මල ධාතුන් වහන්සේ පිහිටද්දී බුදුරජුන්ගේ ජීවමාන වේශය ගෙන අහසට පැන නැඟී වැඩ සිට යමක මහා ප්‍රාතිහාර්ය දැක්වීමෙන් පසු ඒ ධාතුන් වහන්සේ පිහිටත්වායි, අප තථාගත වූ භාග්‍යවතුන් වහන්සේ ගේ මහා අධිෂ්ඨාන පහ වේ. රහතන් වහන්සේ එකරුණ රජුට විස්තර කළ පසු රජු ශ්‍රද්ධාවේත්, ධෛර්යයයේත් පිහිටවීය.

ඉන්පසු රජුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගමන් කරන යොදුන් සතක මාර්ගය සෝදවා නොයෙක් සුන්දර ආකාරයෙන් සැරසවීය. මේ ආකාරයට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නොයෙක් උපහාර පූජාවෙන් පිදුම් ලැබුණි. ඒ වගේම බෝධින් වහන්සේ රෝපණය කරන්නට රන් කටාරමක් පිළිවෙල වුණි. එතැන් සිට නොයෙක් ප්‍රාතිහාර්ය සිදුවුණි. ඒ පිළිබඳව ඊළඟ ලිපියෙන් දැනුවත් වෙමු.


පසුගිය සතියෙන්:   ශ්‍රී මහා බෝධි පුරාණය-12: සුධර්මා රහත් තෙරණිය ලක්දිවට වැඩම වූ නුග බෝධින් වහන්සේ