Print this Article


බෞද්ධ ආර්ථික දර්ශනය – 7 : ධනය හා සැපත

බෞද්ධ ආර්ථික දර්ශනය – 8 :

ධනය හා සැපත

භෞතික සැප ලෙස අත්ථි සුඛ, භෝගි සුඛ හා අනන සුඛ හා අනවජ්ජ යන සැප හතර දැක්වේ. එයින් පළමුවන අත්ථි සුඛ යනුවෙන් අදහස් වන්නේ උපයාගත් යම් චංචල හෝ නිශ්චල ධන සම්පතක් තමා සතුව ඇත. (අත්ථි) යනුවෙන් කල්පනා කිරීමෙන් ලබන සැපතයි.

''බුදුන්වහන්සේ විසින් දැහැමි ආර්ථිකයක් ගොඩනඟා ගන්නේ කෙසේද? යන්න අනේපිඬු සිටුවරයාට පැහැදිලි කරනු ලැබූ අවස්ථා රැසක් බුද්ධ දේශනා තුළ අන්තර්ගත වේ. ඒ අතරින් ගිහි කාමභෝගී ජීවිතයක් ගත කරන අයෙකු විසින් කලින් කලට අත්පත් කරගත යුතු විශේෂ සැප හතරක් පිළිබඳ අනේපිඬු සිටුවරයාට පැහැදිලි කළ අයුරු අංගුත්තර නිකායේ අනන සූත්‍රයේ ඇතුළත් වේ.

එයින් සැප තුනක් ආර්ථික සමෘද්ධිය හා සම්බන්ධවන අතර සිව්වැන්න ආධ්‍යාත්මික සැපත හා සම්බන්ධ වේ. භෞතික සමෘද්ධිය පමණක් නොව සදාචාර සම්පන්න ජීවිතයක් ගොඩ නඟා ගැනීමෙන් අත්පත් කරගන්නා ආධ්‍යාත්මික සැපතක්ද ගිහි ජීවිතයට අවශ්‍ය බව මෙම ඉගැන්වීමෙන් පෙන්වා දෙනු ලැබේ. කාමභෝගී ජීවිතය සැපවත් කරන භෞතික සැප ලෙස අත්ථි සුඛ, භෝගි සුඛ හා අනන සුඛ හා අනවජ්ජ යන සැප හතර දැක්වේ. එයින් පළමුවන අත්ථි සුඛ යනුවෙන් අදහස් වන්නේ උපයාගත් යම් චංචල හෝ නිශ්චල ධන සම්පතක් තමා සතුව ඇත. (අත්ථි) යනුවෙන් කල්පනා කිරීමෙන් ලබන සැපතයි. පුද්ගලයෙකුට විවිධ ක්‍රම මඟින් ධනය ඉපැයිය හැකිය. එසේ උපයාගත් ධනය දෙස බලා සතුටට පත්විය හැකිවේ. බුදුසමයට අනුව කුමන ක්‍රමයකින් හෝ ධනය සෙවීම යන්න නොපිළි ගන්නා අතර ධාර්මික ක්‍රමයකින් ධනය ඉපැයීම අගය කරනු ලැබේ. දැහැමි ධනයෙන් සැපත හා සතුට වින්දනය යමක් තමාට තිබේය යනුවෙන් සතුටුවිය හැක්කේ එම ධනය ‘උට්ඨාන වීර්යෙන් බාහුබලයෙන් දහඩිය මහන්සියෙන් දැහැමි ක්‍රමයකින් හා දැහැමි ආදායමකින් ‘ලබා තිබේ නම් පමණි.

එසේ ලබාගත් ධන ධාන්‍ය වතුපිටි ඉඩ කඩම් යාන වාහන ගෙවල් දොරවල් ආදී භෞතික සම්පත් දෙස බලා තමාට යමක් තිබේය යනුවෙන් සතුටුවිය හැකි නම් එය ගිහියෙකුට ලැබිය හැකි පළමු සැපත වේ. වැරදි ක්‍රමයකින් අධාර්මිකව උපයාගත් ධනයක් තමා සතුව තිබේ නම් එය දැකීමෙන් අවංකව සතුටුවිය නොහැකිය. මතුපිටින් සතුටක් හා සැපතක් තිබේය යනුවෙන් පෙනුනත් තම හෘදය සාක්ෂියට අනුව විශ්ලේෂණය කළ විට එයින් අවංකවම සතුටක් හෝ සැපතක් ලද නොහැකිය. ආර්ථික වශයෙන් තමා උපයාගත් දේ අවංකව ලබාගත් දෙයක් නම් පමණක් පළමු සැපත හා සතුට වින්දනය කළ හැකියි.

නිවැරැදි ආයෝජනය සැපතකි

දැහැමින් උපයාගත් ධනය පරිභෝජනය කිරීමෙන් හා එයින් සමාජයට හා පුද්ගලයාට හිත පිණිස පවතින පුණ්‍ය කටයුතුවල නිරතවීමෙන් යම් සැපයක් හා සොම්නසක් ලැබිය හැකි නම් එය ‘භෝග සුඛ’ යනුවෙන් හැඳින් වේ. මෙයින් තවදුරටත් පෙන්වා දෙන්නේ ධනය වැය කළ යුතු නිවැරදි පිළිවෙතයි. උපයාගත් ධනය සැපතක් බවට පත්කරගත හැකිවන්නේ එය නිවැරදි ආකාරයට ආයෝජනය කිරීමෙන් ය. එම නිවැරදි පිළිවෙත අනුව පළමුව තම අවශ්‍යතා වෙනුවෙන් වැය කළ යුතු වේ. එයද දැහැමි පිළිවෙතකට අනුව සිදුවිය යුතුයි. ධනය තිබූ පමණින් තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ඕනෑම දෙයකට වැය කළ නොහැකිය. ඒ සියල්ල නීතිය යුක්තිය හා සදාචාරය අනුව වැය කිරීම බෞද්ධ පිළිවෙත වේ. බොහෝ දෙනෙක් තමන් උපයාගත් ධනය වැරදි ලෙස ආයෝජනය කරනු දක්නට ලැබේ. එයින් වන්නේ තම සෞඛ්‍යයත් ධනයත් යන දෙකම හානියට පත්වීමයි. පින් කිරීම සඳහා ධනය වැය කිරීම දෙවන පියවර වේ. පින් කිරීම සඳහා ධනය අවශ්‍ය වේ. එහෙත් කිසිඳු ධනයක් නොමැතිව කළ හැකි පින්කම් රැසක් ද බුදුසමයෙන් හඳුන්වා දී තිබේ. වර්තමාන සමාජ සංස්කෘතික වෙනස්වීම් අනුව පින්කිරීම පිණිස සැළකිය යුතු මුදලක් අවශ්‍ය වන බව පිළිගත් කරුණකි. එහෙත් පින්කිරීම වෙනුවෙන් වුවද අර්ථවත් නොවන අයුරින් ධනය වැය නොකළ යුතුයි. ධාර්මිකව උපයාගත් ධනය එවැනිම දැහැමි පිළිවෙතක් යටතේ වැය කිරීම වනාහි වටිනා මැණිකක් රන් පලකට එබිබවීමක් වැනිය. බොහෝ දෙනෙක් කැපී පෙනීම හා වෙනත් පටු අපේක්ෂා ඇතිව විශාල මුදලක් වැයකොට විවිධ පින්කම් කරන අවස්ථා දක්නට ලැබේ. එවැනි වැරදි පිළිවෙත් වලින් බැහැරව නුවණින් විමසා අර්ථවත් ලෙස පින්කම් කිරීම සඳහා මුදල් වැය කිරීම බෞද්ධ ප්‍රතිපත්තිය වේ.

ප්‍රධාන අභියෝගයක්

තමා කිසිවෙකුටත් අල්ප වූ හෝ දෙයකින් ණය නැතැයි යනුවෙන් කල්පනා කරන විට ඇතිවෙන සතුට හා සොම්නස ‘අනණ සුඛ’ යනුවෙන් හැඳින්වේ. ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීමට ගන්නා උත්සාහයේදී මුහුණදීමට සිදුවන ප්‍රධාන අභියෝගය නම් ණය නොගෙන ව්‍යාපාර පවත්වාගෙන යාමයි. සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නඟා ගැනීමට ගන්නා උත්සාහයේ දී ණය ගැනීම අවශ්‍ය වේ. එහෙත් දිගින් දිගටම පවත්නා ණය වීම බුදුසමයෙන් අනුමත කර නොමැත. ගත් ණය සඳහා පොලී ගෙවීමට සිදුවීම, විවිධ චෝදනාවලට ලක්වීමට සිදුවීම, ණය නොගෙවීම හේතුවෙන් ලුහුබැඳීම හා ණය ගෙවීම පැහැර හැරීමෙන් දඬුවම් ලැබීම ආදිය ණය ගැනීමේ ආදීනවයන්ය. මේ අනුව ණයබරින් යුක්ත පුද්ගලයෙකුට සතුටක් සොම්නසක් හිමි නොවන බව පැහැදිලිය. එහෙත් බුද්ධිමත් අයෙකුට ගත් ණය ඵලදායී ලෙස ආයෝජනය කොට ව්‍යාපාර සාර්ථක වූ පසුව ණයින් නිදහස්ව සතුටු විය හැකිය.

සදාචාර සම්පන්න ජීවිතයක පරමාදර්ශය

භෞතික ධනය හේතුවෙන් ලබන ඉහත සඳහන් සැපයට වඩා අගනා සැපතක් පිළිබඳ ‘අනවජ්ජ සුඛ’ යටතේ දැක්වේ. එයින් අදහස් වන්නේ කායික වාචසික හා මානසික වශයෙන් නිවැරදි චර්යා හේතුවෙන් ලබන සැපත හා සතුටයි. මුල් සැප තුන පහසුවෙන් අත්පත්කරගත හැකි වුවද අවසන් අනවද්‍ය සැපය එසේ පහසුවෙන් අත්පත්කර ගත නොහැකිය. කායික වාචසික හා මානසික යනුවෙන් සංක්ෂිප්තව දැක්වුවද එයින් අදහස් වන්නේ දස කුශලයයි. සදාචාර සම්පන්න ජීවිතයක පරමාදර්ශය ලෙස පිළිගන්නේ දසකුශලයෙන් සමන්විත වීමයි. දස කුශල ප්‍රතිපදාවට අදාළව තම ජීවන පිළිවෙත සකස් කරගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා දැඩි කැපවීමක් අවශ්‍ය වේ.

කැපවීමෙන් යුක්තව තිදොර සංවර කරගත් තැනැත්තාට පමණි අනවද්‍ය සැපත වින්දනය කළ හැකි වන්නේ. නිවැරදි චරියාව (කායික වාචසික) හා මානසික පාරිශුද්ධත්වය ආධ්‍යාත්මික වශයෙන් ලැබිය හැකි උසස්ම ධනය වේ.

මේ නිසා ගිහිකාමභෝගීයෙකු අත්පත්කරගතයුතු සැප සතර අතරින් වඩාත්ම උසස් සැපත අවසන් අනවජ්ජ සුඛය වඩාත් වැදගත් බව බුදුරජාණන් වහන්සේ අණේපිඩු සිටුවරයා අමතා දේශනා කළහ. සෙසු සැප සතර එම සැපත හා තුළණය කිරීමේදී සොළොස් කලාවෙන් එක් කලාවක් තරම් හෝ නොවටිනා බව අණන සූත්‍රය අවසානයේ පැහැදිලි කොට තිබේ. මේ අනුව භෞතික වශයෙන් දැහැමිව උපයාගත් ධනයක් තිබීමත් එය නිසි පරිදි ආයෝජනයකොට තමා සුවපත් වීමත් පින්කිරීමත් ණය නැති බව දැනීමත් බාහිර වශයෙන් සැපතක් හා සතුටක් ලැබීමට හේතුවන අතර නිවැරදි යහපත් චර්යාව හා මානසික පාරිශුද්ධත්වය ආධ්‍යාත්මික සැපත පිණිස හේතුවේ.