Print this Article


තලගල ගිරිභණ්ඩ පූජාව මහරගම නාවින්න නගර සභා පිටියේදී

තලගල ගිරිභණ්ඩ පූජාව මහරගම නාවින්න නගර සභා පිටියේදී

මාතලේ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 200 ක වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ශ්‍රී සිද්ධාර්ථ පදනම සංවිධානය කරන 7 වන තලගල ගිරිභණ්ඩ පූජාව මහරගම නාවින්නේ නගර සභා පිටියේදී සැප්තැම්බර් 10 දා සිට 18 දා දක්වා පැවැත්වේ. දිනපතා පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පහන් ආලෝක පූජාව, තුලාභාර දාන, ධර්ම දේශනා, සම්බුද්ධ පූජා, සෙත්පිරිත් දේශනා, ගිලන්පස දාන, සහ නෘථ්‍ය පූජා ගීත පූජා ඇතුලත් පින්කම් මාලාවක් සිදුකෙරෙයි.

එම කාලය තුළ දවස පුරා ගිරිභණ්ඩ පූජා කන්දෙහි පූජා භාණ්ඩ තැන්පත්කර පූජා කළ හැකි බවද කියයි. සැප්තැම්බර් 18 දා පෙරවරු 9.30 ගිරිභණ්ඩ පූජාව සඟසතුරු කර පූජා කිරීම සහ 500 නමක් මහ සඟරුවන අබියස සිදුකරන මහා සාංඝික දානය පැවැත්වේ. පින්කම් සතිය තුළ (සැප්. 10-18 අතර) නාවින්නේ පූජාව පවත්වන ස්ථානයේදී පූජා භාණ්ඩ මිළදී ගෙන පූජා කිරීමට සැදැහැවතුන්ට පහසුකම් සපයා ඇති බව ද කියයි.

ශ්‍රී සිද්ධාර්ථ පදනම වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් තලගල සුමනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදුකෙරේ. 08 දා පෙරවරු 08.00 ට පූජා භාණ්ඩ පෙරහරද 09.00 පූජා මණ්ඩපයෙහි පූජා භාණ්ඩ තැන්පත් කිරීමද 10 දා පෙරවරු 10.00 ට ගිරිභණ්ඩ පූජා මණ්ඩපය විවෘත කිරීමද සිදුකෙරේ. 10 දා සිට 17 දා දක්වා දිනවල දවස පුරා පිරිකර කන්දෙහි පූජා භාණ්ඩ තැන්පත්කර පූජා කිරීම පස්වරු 6.00 සිට 9.00 දක්වා ද රජ දවස දිවයින වටා සිදුකළ පහන් පූජාව සංකේතවත් කරන පහන් ආලෝක පූජාව, ධර්ම දේශනා, සම්බුද්ධ පූජාව, සෙත් පිරිත් දේශනා, ගිලන්පස දාන,තුලාභාර දාන (තම බරට සමාන පිරිකර පූජා කිරීම) සහ නෘත්‍ය පූජා ගීත පුජා ඇතුළත් පින්කම් මාලාවක් පැවැත්වේ. 18 දා පෙරවරු 09.00 ට මාතලේ විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා වැඩමවන පෙරහර පිළිගැනීම හා මූලික ආගමික වතාවත් පැවැත්වීම, 500 නමක් සංඝ රත්නය අබියස ගිරිභණ්ඩ පුජාව මහා සංඝරත්නය වෙත පූජා කිරීම හා මහා සාංඝික දානය සිදු කෙරේ.

දඩ මුදල් ගෙවා බන්ධනාගාර ගතවූවන් නිදහස් කිරීම, නොමිලේ කරණවෑමි සේවා පැවැත්වීම ,දන්සැල් පැවැත්වීම,

දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන වෙනුවෙන් පහත සඳහන් විශේෂ සේවාවන් සංවිධානය කිරීම , ඉතාම දුෂ්කර විහාරස්ථාන වෙනුවෙන් කඨින පින්කම් සංවිධානය කිරීම, මාසිකව,වාර්ෂිකව ආධාර කිරීමට කැපකරු දායකවරුන් පත්කරගැනීම, දුෂ්කර ප්‍රදේශවල ශිෂ්‍ය හිමිවරුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අනුග්‍රහ ලබාදීම , විහාරස්ථානවල ගොඩනැගිලි ඉදිකිරීම හා අලුත්වැඩියා කිරීම, දහම් පාසල් සහ පෙර පාසල් සඳහා ආධාර කිරීම, ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී දායකවරුන් වෙනුවෙන් උපකාර කිරීමද සේවා අතර වේ.

23,24 යන දිනවලදී මාතලේ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ස්ථානවලදී මෙම පූජා භාණ්ඩ ඒ ඒ විහාරස්ථාන වෙත භාර දීම සිදු කෙරේ. විල්ගමු, ලග්ගල පල්ලේගම යන ශාසනාරක්ෂක මණ්ඩලවල විහාරස්ථාන සඳහා 23 දා පස්වරු 02.00 සංස්කෘතික මන්දිරය විල්ගමුව, මාතලේ අඹන්ගහ කෝරලේ –යටවත්ත ,උකුවෙල, රත්තොට යන ශාසනාරක්ෂක මණ්ඩලවල විහාරස්ථාන සඳහා 24 දා පෙරවරු 09.00 ට ධර්මරාජ පිරිවෙන මාතලේ හා නාවුල, දඹුල්ල පල්ලේපොල, ගලේවෙල යන ශාසනාරක්ෂක මණ්ඩලවල විහාරස්ථාන සඳහා 24 දා පස්වරු 2.00 ට ධම්මානන්ද පිරිවෙන නාඋල යන ස්ථානවල සිදු කෙරේ.