Print this Article


කොටපොල ගැටබරුව රාජමහා විහාරස්ථ ගැටබරු රජ්ජුරු බණ්ඩාර මහා දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය

කොටපොල ගැටබරුව රාජමහා විහාරස්ථ

ගැටබරු රජ්ජුරු බණ්ඩාර මහා දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය


කොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ මහානුභාව සම්පන්න ගැටබරු රජ්ජුරු බණ්ඩාර මූලස්ථාන දේවාලයේ 60 වැනි වාර්ෂික පෙරහර මංගල්‍යය මෙම මස 12 දින සිට 18 වන දින දක්වා උසස් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ යටතේ 08 වන දින අලුයම 04.54 ට කප් සිටුවීම සිදු වු අතර 12 වන දා සිට පූජෝත්සව කටයුතු ආරම්භ වේ. පළමු පේලි පෙරහර 12 දින පස්වරු 3.00 හිඟුරුපනාගලින් ආරම්භ වී ගැටබරු විහාරය දක්වා වීථී සංචාරය කරන අතර දෙවැනි පේලි පෙරහර 13 දින පස්වරු 3.00 ට වරල්ල උත්තරගිරි විහාසර්ථානයෙන් ආරම්භවී ගැටබරු රාජමහා විහාරය දක්වා ද තුන්වැනි පේලි පෙරහර 14 වැනි දින පස්වරු 3.00 ට කොස්මෝදර සුබෝධාරාමයෙන් ආරම්භ වී ගැටබරු රාජමහා විහාරය දක්වා ද වීථී සංචාරය කිරීමට නියමිතය.

15 වන දින රාතී‍්‍ර ප්‍රථම රන්දෝලි පෙරහර ගැටබරු පූර්වාරාමයෙන් වීථී සංචාරය ආරම්භ කර කොටපොල නගරය හරහා හිගුරුපනාගල සුමපකාර තේ කම්හල් පරිශ්‍රය දක්වා ගමන් කිරීම සිදු වන අතර දෙවෙනි රන්දෝලි මහා පෙරහර 16 වන දින රාත්‍රී ගැටබරු පූර්වාරාමයෙන් වීථි සංචාරය ආරම්භ කර ගල්දොල මංසන්ධිය දක්වා ගමන් කිරීමට නියමිතය. රන්දෝලි මහා පෙරහර සඳහා උඩරට, පහතරට, සබරගමු, සම්ප්‍රදායේ නැටුම් අංග සහ අලි ,ඇතුන් ගමන් කිරීමට නියමිතය. නැටුම් අංග ඇතුළත්ව බුද්ධ පෙරහර සහ දේව පෙරහර වශයෙන් සාම්ප්‍රදායානුකූල සිරිත් ප්‍රකාරව පැවැත්වෙන බව ගැටබරු ඇසළ උත්සව සංවිධානයේ ප්‍රධාන සංවිධායක නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මැතිතුමා ප්‍රකාශ කරයි. මෙවර ගැටබරු ඇසළ මහා තොරණ සැප්තැම්බර් 12 සිට 17 දින දක්වා ගැටබරු මංසන්ධියේ ප්‍රදර්ශනය කරන අතර මෙම තොරණ යුද හමුදාවේ පූර්ණ අනුග්‍රහයෙන් ඉදිකර ඇත. දේව තොවිලය මෙම 17 සහ 18 දෙදින තුළ උඩමළුවේදී පැවැත්වෙන අතර ගිනි පෑගීම මෙම 18 අලුයම සිදු කෙරේ. ගැටබරු රාජමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක ධර්මකීර්ති ශ්‍රී රතනපාල ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර චන්දවිමල නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සහ ගැටබරු රාජමහා විහාර කෘත්‍යාධිකාරි ඇසළ උත්සව සංවිධානයේ ප්‍රධාන ලේඛකාධිකාරි ආචාර්ය කිරින්දේ ආනන්ද හිමිපාණන්ගේ මග පෙන්වීම මත ගැටබරු ඇසළ උත්සව සංවිධානයේ ප්‍රධාන සංවිධායක නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රධාන ගැටබරු ඇසළ උත්සව සංවිධාන කමිටුව මෙම පූජෝත්සවයේ සංවිධාන කටයුතු සිදු කරයි.