Print this Article


පිපෙන්නට වෙර දරන දූ දරුවන් අමා දියෙන් තෙමා පෝෂණය කරන ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය

පිපෙන්නට වෙර දරන දූ දරුවන් අමා දියෙන් තෙමා

පෝෂණය කරන ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය


දොඩම්පහළ චන්දසිරි මහා නා හිමියන්ගෙන් ශිෂ්‍යාධාර ලබමින්
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් ශිෂ්‍යාධාර ලබමින්
 
අළුදෙණියේ සුබෝධි හිමියන් වැඩසටහන හඳුන්වා දෙමින්

මේ මිනිස් ලෝකයට අප පැමිණියේ ඉතාමත් දුර්ලභව ලැබුණ පෙර පිනක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ ලැබුණ දුර්ලභ වූ මිනිස් ජීවිතය තුළදී ඉතා අග්‍ර පින් කරගත හැකිනම් එය ඉතා දුර්ලභ වූ කටයුත්තක් වනූ නො අනුමානය. එවන් මාහැඟි පුණ්‍ය කටයුත්තක් පසුගිය දිනක පොල්ගහවෙල, මහමෙවුනා භාවනා අසපු සංචිතයේදී සිදුවිය.

ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන එහෙත් ඉගෙනීමට දක්ෂ දරුවන්ගේ අනාගතය ගොඩනඟා ගැනීමට අත්වැලක් වනු පිණිස මහමෙව්නා භාවනා අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා රූපවාහිනියේ, ගුවන් විදුලියේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් 2016 වර්ෂය සඳහා දෙවැනි අදියර ලෙස “ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුන්‍යාවර්ජනා” ක්‍රියාවට නංවා ඇත.

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු දරුවන් නියෝජනය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, උතුරු පළාතේ දමිළ දරුවන්ද එම ව්‍යාපෘතියේ පිහිට ලබති. 2015 වර්ෂයේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වලාභි සිසු දරු දැරියන් එකොළොස් දෙනෙකු සරසවි වරම් ලබා ඇත. ඒ දරුවන් වෙනුවෙන් විශිෂ්ඨ කුසලතා අධ්‍යාපන ශිෂ්‍යත්ව රන් පදක්කම් පිරි නැමීම විශේෂත්වයක් විය. ඊට අමතරව 2016 වර්ෂය සඳහා ඉගෙනුමට දක්ෂ ආර්ථික අපහසුතා ඇති දරුවන් 750 දෙනෙකු තෝරාගෙන ඇත. එයින් දරුවන් 50 ක් දමිළ දරුවන් වීම මෙහි විශේෂත්වයකි. එම සියලු සිසුන් කාණ්ඩ හතරකට වර්ගීකරණය කෙරේ. 05 වසරට අඩු පන්තිවල දරුවන්, 06 වසර සිට 09 වසර දක්වා දරුවන්, 10 වසර සහ 11 වසර දරුවන්, සහ උසස් පෙළ සහ උසස් අධ්‍යාපනය හදාරණ දරුවන් ලෙස කාණ්ඩ කර ඇත. මාධ්‍ය ජාලය විසින් ශිෂ්‍යත්වලාභියා පිළිබඳ නිතර සොයා බලන අතර, තමා ලබාගත් ශිෂ්‍යත්ව මුදල් කෙසේ වියදම් කළේද? යන්න ඔහු විසින් මසකට වරක් දන්වා එවිය යුතුය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන මහතා
විශාරද නන්දා මාලනී මහත්මිය දරුවන් අමතමින්...

අනාගතය දෙස විවෘත මනසකින් බැලිය හැකි අධ්‍යාපනික දැනුමෙන් මෙන්ම යහපත් ගුණ ධර්මයන්ගෙන්ද ඔප මට්ටම් වූ අනාගත පරපුරක් බිහි කිරීම ශිෂ්‍යත්වලාභි දරු දැරියන්ගේ අධ්‍යයන ශාක්‍යතාවය ඒ ඒ කාලයන්ට අනුව සොයා බැලීමත්, ඔවුන්ගේ ගුණධර්ම හා දැනුම යාවත්කාලීන කිරීමත් යන කරුණු නිසියාකාරයෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව අංශය මාසිකව සිදුකරයි. ඒ අනුව ශිෂ්‍යත්ව අරමුදල වියදම් කළ ආකාරය ඔවුන් ශිෂ්‍යත්ව අංශය වෙත ලියා දැන්විය යුතුය. එමෙන්ම දරුවන් වෙනුවෙන් සකස් කළ තෛ‍්‍රමාසික දහම් සඟරාවක් ලබාදීමටත් කටයුතු කර ඇත. ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා ඒ දරුවන් වෙනුවෙන් එම පොත් ලබාදී ඇත. එම පොත් පෙළ සකස් වී ඇත්තේ පියවරෙන් පියවර එම දරුවන් ධර්ම මාර්යේ හික්මවීම පිණිස බව ශ්‍රද්ධා ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය වෙනුවෙන් අළුදෙණියේ සුබෝධි ස්වාමින් වහන්සේ පැවසීය.

 

 

 

 

 

 

 

 

ශිෂ්‍යාධාරලාභී දරුවන්ගෙන් කොටසක්