Print this Article


පහන් සිතක කවි

 

නිවනේ නිවී යමු

මෙත් මුදිතා මහ කරුණා ගුණ මහිම
සිත් උතුරා ගෙනෙන බැතිබර ගුණෙනි ලැම
උත්තම මුණි ගුණය කරුණා නොවන නිම
අත් මුදුනත් තබා වඳිනෙමි අසම සම

අසම සම ගුණෙනි සව් සතට සෙත සැදූ
විසම වූ සිත සෙනෙහස සතුට බෙදූ
රසම විය දහම් චතුසත් හිමි පැහැදූ
උසම ගුණෙන් පිරිපුන් හිමි ලෝකවිදූ

අනිත් දුක් අනාත්ම යන මේ ලකුණු තුන
වෙනත් දහම් තුළ නොදකිමි කිසිම තැන
දිනත් මෙම දහම් මහ දුු සියලු දන
ගනිත් මැදිම් පිළිවෙත් මඟ නිවන් යන

නිවන අම නවන නිවෙනා තැන නිවන
අවන සිත නිවා සැනසුම සිසිල දෙන
පෙනෙන තැනක් නැති තැන නොවනා නිවන
දැනෙන සිතට ඇත සිත තුළ වෙයි නිවන


පුතුට ඔවදනක්

පුරන් අප්පු කැප්පෙටිපොල වීදිය බණ්ඩාර
දුෂ්ඨ ගැමුණු සහ විජ ඉඳු මහසෙන් රණ සූර
දාසෙන් කාවන්තිස්ස රජ බැඳවූ මහ වෙහෙර
අනාගතේ මේ සිරි ලක පුත උඹටයි බාර

දෙරන පුරා සැඟවී ඇත නිල් කැට රතු කැට
මහ සයුරේ පිරී තිබේ වටිනා මුතු ඇට
පෙර විරුවන් පොහොර කරපු සවිමත් ලේ ඇට
රැක ගනු මැන පුතුනේ වගුරා දහදිය කැට

සිංහලයත් සිංහ ලෙයත් ඔබට ඇත පුතේ
සිහල බසත් බුදු දහමත් පණ වගෙයි පුතේ
වැදු මවත් දිනු රටත් එක වාගෙයි පුතේ
ඒ අප සතු දායාදය රැක ගනින් පුතේ

දුරාචාරයේ දුසිරිත් ප ුරුදුව හැසිරෙන්න එපා
නිරාහාරව මිය ඇදුනත් තම රට විකුණන්න එපා
ගරා වැටෙනු වැව් දාගැබ් දැක නෙත් පියවන්න එපා
පරාජිතව මිය යන්නට යළි ඔබ ඉපදෙන්න එපා


වඩිනු මැනවි බුදු සමිඳේ

නිබඳ සොවින් සසර දුකින්
දැවෙනව අපි බුදු සමිඳේ
සසර දුකින් අප මුදන්න
වඩිනු මැනවි යළි නිබඳේ

උපත, විපත අතර නිතර
දහදුක් විඳිමින් දුකසේ
සසර දුකින් නිබඳ සොවින්
තැවෙනව අප බුදු සමිඳේ

ලෙඩට දුකට කඳුල සුසුම
හෙළමින් නිරතුරු නිබඳේ
මනු දිවියේ රුදු භව දුක
වඳිනව අප බුදු සමිඳේ

මුළු තුන්ලොව සනසන්නට
පෙර මනුලොව වැඩියානේ
භව අඳුරින් අප මුදන්න
වඩිනු මැනවි බුදු සමිඳේ


අපි යමු පන්සල්

අපමණ ගුණ කීවත් මහිමිගෙ නිමක් නැත
පින්දම් කළොත් මතු සසරෙදි දුකක් නැත
යස සිරි නිවන් පුර යාමට මගක් ඇත
මුල් වූ විට දහම මොක් මග සැපක් ඇත


ජීවිතය හා මරණය

ආදරය මිරිඟුවකක් සිතු ලෙස වෙනස් වන
ජීවිතය දුක් ගොඩකි පැතුමන් ඉටු නොවන
ලැබුණත් නොලැබුණත් අජරාමර නිවන
මරණය සැපයි යළි කිසිදා හමු නොවන


පන්සිල ඔබයි දැල්වෙන මිනි පහනේ 
පැවිදි බිමට එක්වූ දා පටන් සිට
ගුරු ගෞරවය රැක ගත් සඟ පරපුරට
රාජකීය පණ්ඩිත නම දිනා සිට

අඳුර නසා වැඩියා ආලෝක යට
තෙරුවන් ගුණ සුවඳ ගත සිත පැතිරේවා
සසුනඹරෙහි පුන්සඳ මෙන් බැබලේවා
ඔබ යන මගෙහි බාදක සැම දුරුවේවා

රේවත හාමුදුරුවනි නිදුකින් වැජඹේවා
ඔවදන් දිදී අප යහමගටම හෙලුවා
දහම් කරුණු දී හදවත ඔප කෙරුවා
ජීවිතෙ අනියතයි අග මරණය දෙසුවා

සඟ පරපුරෙහි ඔබහට ඇති තැන දුටුවා
නුඹ ගැබ පුරා දැන් විහිදෙන උතුම් ගුණේ
පෙන්වන්නට කියන්නට වචන නැහැ අනේ
පින්වත් අපේ පණ්ඩිත හාමුදුරුවනේ
පහන් සිල ඔබයි දැල්වෙන මිණි පහනේ

බී. බටේපොල
අල්ගම


දම් පාසල් දැරිය

අලුයම අවදි වී මුවකට දොවා ගෙන
වට්ටිය රැගෙන නෙළමින් මල් සුවඳ දෙන
ඉරුදින දහම් පාසල වෙත යන ලෙසින
සැරසෙනවාය මේ දියණිය බැති සිතින

සුදු පිරුවට ළමා සාරිය ඇඳ රුවට
පීරාගොතා ගෙන වරලස යස හැඩට
දෙගුරුන් නැමඳ මල් වට්ටිය ගෙන අතට
ඇය පිය නගනවා දම් පාසල වෙතට

මද හස ඇගේ මුහුණෙන් නිති දිස්වෙනවා
සදහම් සුවඳ හද මඬලෙන් පැතිරෙනවා
පාසල් දැරියනට ඇය නිදසුන වෙනවා
ඇයගේ දිවි ගමන දින දින බැබළෙනවා

දම් පාසලට ගොස් වෙහෙරෙහි පරිසරය
පිරිසුදු කරනවා හරියට කඩිසරය
සදහම් දැනුම ගැන ඇය තුළ ඇති පිරිය
කෙතරම් අගනේද දම් පාසල් දැරිය


සිරිපා වඳිමි

අතහැර දමා මේ පස්කඳ අතර මග
නවතිනු රිසියනට ආ මග සසර දිග
පෑ මේ මගය මග නම් අරි අටඟි මග
සිරිපා වඳිමි සම්බුදු හිමි තිලොව අග

පළමුව නිවන් සුව විඳ එහි පිවිස තමා
බවදුක විඳින සත්වග වෙත නැණැස යොමා
මග පෑ සදාකාලික සුව පිණිස අමා
සිරිපා වඳිමි සිත සැදැහෙන් සිරස නමා