Print this Article


බුදුපිළිමයේ උපත - 31:  

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට පසු සිව්වනක් පිරිස බිහි කිරීම

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා M sc පර්යේෂණ

අසිරිමත් සම්බුද්ධ චරිතය හා බෞද්ධ ඉතිහාසය සම්බන්ධ ප්‍රමුඛ සිද්ධීන් ගණනාවක් නිසා ඉසිපතන මිගදාය ශ්‍රේෂ්ඨ ස්ථානයක් වේ. තථාගතයන් වහන්සේගේ අදහසට අනුව රාගයෙන් රත් වී, ද්වේෂයෙන් දුෂ්ට වී, මෝහ මනසින් වටවී ලෝ තතු ගැන දකින සත්වප්‍රජාවගේ ඇස පාදන, නැණ පාදන සන්සිඳීම පිණිස, දැනීම පිණිස, අවබෝධය පිණිස නිවී සැනසීම පිණිස ඇස පහළවන නැණ පහළ වන විද්‍යාව පහළවන පටිඝෝතගාමි ගැඹුරු දැකීම අමාරු සියුම් ධර්මය ප්‍රථම වරට ලොව හමුවේ දේශනා කරන ස්ථානය ලෙසින් ද මිගදාය ප්‍රකටය. පස්වග මහණුන් ධර්මාභිසමය ලබා පැවිදි උපසම්පදා ලබාගත් ස්ථානය ද මෙයයි. එයින් පැවිදි උපසම්පදා කර්මයේ පමණක් නොව භික්ෂු ශාසනයේ ආරම්භය ද සිදු වූ ස්ථානය ඉසිපතන මිගදායයි. බුද්ධ ශාසනය වෙත මානව පිරිස ඇදී ඒ මේ ප්‍රවණතාව ඉසිපතනයෙන්ම සිදුවිය. උපාසක උපාසිකාවන් බිහි වී ශ්‍රාවක පිරිස දියුණුවීමට පටන් ගත්තේ ද මෙම ස්ථානයෙනි.

බරණැස ඉසිපතන පුදබිම

ධර්ම ප්‍රචාරය සඳහා චාරිකාචරණයට ශ්‍රාවකයන් වහන්සේලා පිටත් කර හැරීම සිදුවූයේ ද ඉසිපතනයේ දී ය. එබැවින් බෞද්ධ අධ්‍යාපනය හා බෞද්ධ සභ්‍යත්වය පිළිබඳ සමාරම්භක කේන්ද්‍රස්ථානය වශයෙන් ඉසිපතන මිගදාය ඓතිහාසික වශයෙන් අග්‍රගණ්‍ය වෙයි. පස්වග මහණුන් වහන්සේ රහත් බව ලැබීමත් සමඟම බුදුරජාණන් වහන්සේ ඇතුළු ලොව රහතන් වහන්සේලා සයනමක් වූහ. මෙහිදී යසකුලපුතුගේ පැවිද්ද සිදුවීම නිසා සම්බුද්ධ ශාසනය වෙත ඇදී ආ අන්දමද ඒ ප්‍රවණතාව මහත් වන්නට පටන් ගත් අයුරු විනය ග්‍රන්ථවලින් පැවසේ.(මහා වග්ගපාලි - මහාබන්දක පි. 32)

යස කුමරා එකල බරණැස සුප්‍රකට කුලපුත්‍රයෙකි. සිය කාමභෝගී ජීවිතය පිළිබඳ මහත්සේ කලකිරීමට පත්ව මේ සඳහා පිළිතුරක් සොයා ගැනීමේ අදහසින් ඉසිපතනයට පැමිණියේ ය. ඔහු ඉසිපතනයට යන්නට ඇත්තේ අටුවා ග්‍රන්ථවල සඳහන්වන පරිදි ඈත පුරාණයේ පටන් අධ්‍යාත්මවාදී තාපසවරුන්ගේ යෝග භූමියක් වශයෙන් ප්‍රකටව පැවති නිසා විය හැකිය. කෙසේ වෙතත් එහිදී යසකුලපුත්‍රයාට හමු වූයේ බුදුරජාණන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ සමඟ සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ ලෝකය බහුල ලෙස උපද්‍රවයන්ගෙන් පීඩිත බවක් පිළිබඳවය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ යසකුල පුතුගේ අදහස් වටහාගෙන ධර්මදේශනා කළහ. පුද්ගලයන්ගේ අදහස් දැන හැඳිනගෙන දේශන පැවැත්වීම උන්වහන්සේගේ පිළිවෙළයි. අදහස් දැක ධර්ම දේශනා පවත්වන උන්වහන්සේ අනුපිළිවෙලින් කරුණු ගෙනහැර දක්වා සිත් සතන් සකස් කිරීමෙන් පසුවම සාමුක්කංසික දේශනා නම් වූ සිව්සස් දහම් දෙසති. මෙහි අදහස නම් කරුණු වටහා දියයුත්තේ නොදන්නා තැනින් ආරම්භ කිරීමෙන් නොවන බවයි. දන්නා දක්නා තැනින් පටන් ගෙන නොදන්නා නොදක්නා තැන තෙක් යථාර්ථය තත්වූ පරිද්දෙන් අනාවරණය කිරීමයි. මෙය අධ්‍යාපන ක්‍රියාවලියකදී අත්‍යවශ්‍ය අනිවාර්ය පිළිවෙල වෙයි.

බුදුරජාණන් වහන්සේගේ දේශනය යසකුල පුතුගේ සිතට අස්වැසිල්ලක් වූ අතර බුදුරජාණන් වහන්සේ වෙතින් මහණ උපසම්පදාව ලබා ගත්තේ ය. ප්‍රබුද්ධ මනසින් යුතුව මගපල ලබාගත් යස කුමරුගේ පැවිද්ද ගැන ඇසූ ඔහුගේ යහළුවන් වූ විමල, සුබාහු පුණ්ණජි, ගවම්පති යන යහළුවන් සතර දෙනා ද, ඔවුන්ගේ කණ්ඩායමට අයත් තවත් යහළුවන් පනස් දෙනෙක් ද ඔහු ඇතුළුව පැවිද්ද ලබා රහත් වූහ. භික්ෂු ශාසනයට එක් වන සංඛ්‍යාව බරණැසදීම වැඩෙන්නට වූ බව මෙයින් පැහැදිලි වෙයි. මේ වන විට සියලු රහතන්වහන්සේලා හැට එක් නමක් වූහ. (මහාවග්ග පාලි - මහා බන්ධක පි. 40)

උපාසක උපාසිකාවන් ඇතිවීම.

ඉහතින් සඳහන් කරන ලද අන්දමට භික්ෂූන් වහන්සේලා සම්බුද්ධ ශාසනය සඳහා ඇති වූ බව ඉතා පැහැදිලිය.

උපාසක හා උපාසිකාවන් බිහි වූ අන්දම යසකුල පුතු මහණ වී රහත්වීම බලපෑ අයුරු මෙසේ ය.

බරණැස සිදු වූ ඊළඟ සිදුවීමක් ලෙසින් තිසරණ ගත උපාසක හා උපාසිකා යන ශ්‍රාවක දෙපිරිස බිහිවීම මහා වග්ග පාලියට අනුව හිටි ගමන් නිවසින් පිටව ගිය යස කුරුමගේ පියා ද බුදුරජාණන් වහන්සේ හමු වී බණ ඇසීමෙන් තිසරණ ගත සෝතාපන්න ප්‍රථම උපාසක බව ලැබීය. ඔහුගේ ආරාධනය පරිදි නිවසෙහි දන් පිළිගැන්වීමට වැඩම කළ වේලෙහි යසගේ මවත් පැරණි භාර්යාවන් ඇතුළු පිරිසත් බණ අසා තිසරණ ගත උපාසිකාවෝ වූහ. බරණැස සිදු වූ ඊළඟ ශ්‍රේෂ්ඨ සිද්ධිය නම් බුදුදහම ලෝ වැසි ජනතාවගේ හිතසුව පිණිස පතුරුවාලීම සඳහා චාරිකා කිරීමට ශ්‍රාවක සංඝයා මෙහෙයවීමයි. (බුදුන් වදාළ බුද්ධ චරිතය.

පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි හා කීර්ති නාරම්පනාව පි. 118 )

බුදු සසුනට ශ්‍රාවක සඟරුවන එක් කරවීමේ කාර්ය බුදුරජාණන්වහන්සේ ක්‍රමානුකූලව සිදුකළ අන්දම පැහැදිලි වේ.

මේ කාර්යයේ අභිප්‍රාය ලෙස පෙනීයන්නේ භික්ෂූන් විසින් සාමාජිකයන් සඟසසුනට ඇතුළත් කරගනු සඳහා විසිර ගිය භික්ෂූන් පැවිද්ද සඳහා කෙතරම් අපේක්ෂකයන් තමන් වෙත ගෙන ආවේදයත් ඔවුන් සඟ සසුනට ඇතුළත් කිරීමේ කාර්යය සිදු කිරීමට භික්ෂූන්ට අවසර දීමට බුදුරජාණන් වහන්සේට සිදු විය. මේ සඟසසුනට ඇතුළත් කිරීමේ කාර්යය සමන්විත වූයේ පහත සඳහන් ලෙසිනි.

1. හිස රැවුල් බෑම, 2. කහ සිවුරු දැරීම, 3. බුදුරජාණන් වහන්සේ ධර්මය හා සංඝයා සරණ යෑමේ තිසරණ ගැනීම තෙවරක්ය. සජ්ඣායන කිරීමයි. මෙය බුදුරජාණන් වහන්සේ දෙවැනි පැවිදි කිරීම ලෙස සැලකේ. පළමුවැන්න, පස්වග මහණුනට හා යසකුල පුත්‍රයාණන්ට දුන් ඒහි භික්ෂු පැවිදි භාවයයි. ‘මහණ මෙහි එව‘ යැයි කියමින් ලබා දෙන පැවිද්ද ඒහි භික්ෂු භාවයයි. පසු කාලයේ විනය පිටකයේ මීට වඩා මහත් සේ විස්තීර්ණ වූ පැවිදි කිරීමක් දක්වා ඇත. ථේරවාදී රටවල මේ දක්වාත් පරිහරණය වන්නේ එයයි.

(බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත්, පි. 254 – 55 (2012) සරසවි ප්‍රකාශකයෝ.)