Print this Article


බෞද්ධ ආර්ථික දර්ශනය – 4:  දැහැමි වෙළෙඳාම

බෞද්ධ ආර්ථික දර්ශනය – 4: 

දැහැමි වෙළෙඳාම

බුදුසසුනේ චිර පැවැත්ම සඳහා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණ අනුග්‍රහය සුවිශේෂී වූවකි. ඔවුන්ගේ සේවය දෙයාකාරයකින් ඇගයීමට ලක්කළ හැකිය. සුවපහසු විශාල ආරාම හා වාසස්ථාන ඉදිකර සසුනට පරිත්‍යාග කිරීමෙන් ලද අනුග්‍රහය ප්‍රධාන වේ. රටින් රට යමින් කළ ව්‍යාපාරික කටයුතු අතර ධර්මය ප්‍රචාරය කිරීමට දැක්වූ උනන්දුව දෙවැන්නයි. සසුන ආරම්භයේ සිටම වර්තමානය දක්වාම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබෙන මූල්‍යමය අනුග්‍රහය හා පරිත්‍යාග සසුනේ චිර පැවැත්මට ඉවහල් වී තිබේ.

අතීතයේ සිටම ලාංකික බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ ධන පරිත්‍යාගය හේතුවෙන් මෙරට ඇති වූ ශාසනික දියුණුව විශාලය. මෙම පසුබිම යටතේ සාර්ථක වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට උපකාරීවන බෞද්ධ උපදෙස් කවරේද ? යන්න සූත්‍ර දේශනා ආශ්‍රයෙන් විමසා බැලීම අවශ්‍ය වේ. අංගුත්තර නිකායේ එන පාපණික හා වේළුුල්ල යන සූත්‍ර දෙකෙහි ඇතුළත් කරුණු සාර්ථක වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට උපකාරී වේ. පළමු පාපණික සූත්‍රයේ දැක්වෙන පරිදි ව්‍යාපාර සාර්ථකත්වය කෙරෙහි පුද්ගල අධිෂ්ඨානය හා කැපවීම අවශ්‍ය වේ. ව්‍යාපාරිකයා තම ව්‍යාපාරය කෙරෙහි පූර්ණ අවධානයකින් සිටිය යුතුය යන්න පිළිගත් කරුණකි. බුදුසමය පෙන්වා දෙන්නේ එම අවධානය උදේ (පුබ්බණ්හ සමයං) දහවල් (මජ්ඣන්තිකං සමයං) හා සවස (සායණ්හසමයං) වශයෙන් පැය විසිහතර පුරා ක්‍රියාත්මක (සකච්චං කම්මන්තං අධිට්ඨාති) විය යුතු බවයි.

තම වෙළෙඳ ව්‍යාපාරය පිළිබඳ අවධානය යොමු නොවීමෙන් සිදුවන පාඩුව හා අලාභය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රමාණවත් තරම් අත්දැකීම් තිබේ. බුදුසමය පෙන්වා දෙන පරිදි තම ව්‍යාපාර කටයුතුවල පූර්ණකාලීනව නිරතවීමෙන් හා ඒ කෙරෙහි මනා අවධානයක් යොමු කිරීමෙන්, මෙතෙක් තමා අත්පත්කර නොගත් ආර්ථික දියුණුව ඇතිකරගැනීමටත්, යම් ප්‍රතිලාභයක් ලබා තිබේ නම් එය තවදුරටත් වර්ධනය කරගැනීමටත් හැකි වේ. වෙළෙඳාම හා සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවලදී ව්‍යාපාරිකයාගේ පූර්ණ කැපවීම හා අවධානය මත එහි දියුණුව තීරණය වන බව මෙම බෞද්ධ ඉගැන්වීම්වලින් පැහැදිලි වේ.

සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට නම් ...

සාර්ථක දැහැමි ව්‍යාපාරිකයෙකු වීමට බලපාන ඉගැන්වීම් සමූහයක් වේඵුල්ල සූත්‍රයේ ඇතුළත් වේ. එහි දැක්වෙන පරිදි සාර්ථක ව්‍යාපාරිකයෙකු තුළ පිහිටා තිබිය යුතු ගුණාංග තුනකි. එනම් ව්‍යාපාරික ඤාණය (චක්ඛුමා) එම ඤාණය පදනම්කරගත් උත්සාහය (විධුර) හා නිශ්‍රය සම්පත්තිය හෙවත් විශ්වාසය දිනාගැනීම (නිස්සය සම්පන්න) එම ලක්ෂණත්‍රයයි. මෙහි පළමු කරුණෙන් පෙන්වා දෙන්නේ ව්‍යාපාරික ඤාණයයි. ඒ යටතේ සාර්ථක ව්‍යාපාරිකයෙකුට භාණ්ඩ මිලදී ගැනීම (එවං කීතං) විකිණීම (එවං වික්කියමානං) විකිණීම සඳහා මිල නියම කිරීම (ඵත්තකං මූලං භවිස්සති), භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායම පිළිබඳ (ඵත්තකං උදයොති) අවබෝධයක් අවශ්‍ය වේ. මේ සියල්ල ඇතුළත් පළමු කරුණින් පෙන්වා දෙන්නේ භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම පිළිබඳ වූ වෙළෙඳ ඤාණය ව්‍යාපාරිකයා සතුවියයුතු බවයි. දෙවැන්නෙන් අදහස් වන්නේ වෙළෙන්දා තුළ පිහිටා තිබියයුතු භාණ්ඩ විකිණීමට හා මිලදී ගැනීමට ඇති හැකියාවයි. වෙළෙඳාමේදී පාරිභෝගික අවශ්‍යතා මැනවින් වටහාගෙන වඩාත් ගුණාත්මක භාණ්ඩ අලෙවි කිරීමට ව්‍යාපාරිකයෙකුට හැකියාවක් තිබිය යුතුයි. තම ලාභය පමණක් සළකා පාරිභෝගිකයාගේ අවශ්‍යතාව හා සතුට නොසළකා ගුණයෙන් හීන භාණ්ඩ අලෙවි කිරීම බුදුසමය අනුමත නොකරයි. පලතුරු හා වෙනත් ආහාර ද්‍රව්‍ය වෙළෙඳාමේ දී දක්නට ලැබෙන විවිධ වංචනික ක්‍රම සළකා බැලීමෙන් මෙය වටහා ගත හැකිවේ. පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවි කරන වංචනික වෙළෙඳුන් කොතෙකුත් දක්නට ලැබේ. අප මිලදී ගන්නා බොහෝ ආහාර පාන හා පලතුරු නිවසට ගෙන ගොස් පරිහරණය කිරීමේ දී ඇතැම්විට ඒ සියල්ලම ඉවත දැමීමට සිදුවන අවස්ථා තිබේ. නිසි ප්‍රමිතියකින් තොර ඇතැම් ආහාර ද්‍රව්‍ය පරිභෝජනය හේතුවෙන් ජාතියම මෙතෙක් නොඇසූවිරූ දරුණු ලෙඩ රෝගවලට ගොදුරුවී තිබේ. පිළිගත් ව්‍යාපාරික ආයතන මඟහැර මහමඟ තබා විකුණන භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයාට සිදුවන්නේ අවසානයේ මුදල් සහ භාණ්ඩ යන දෙකම අහිමි කරගැනීමටය. භාණ්ඩ විකිණීමේ දී පිළිගත් ව්‍යාපාරික ආයතන තම පාරිභෝගිකයා පිළිබඳ යම් පමණක හෝ සැලකිල්ලක් දැක්වුවද වීථි වෙළෙන්දන්ගේ භාණ්ඩවලට බොහෝදුරට ප්‍රමිතියක් නොමැත. මෙම වෙළෙන්දන් විසින් මූලික වෙළෙඳ ප්‍රතිපත්ති උල්ලංගනය කරමින් ආහාර පාන අලෙවි කරනු දක්නට ලැබේ. මෙවන් තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ ලාභයම පමණක් අරමුණුකරගෙන ගුණාත්මක බවින් තොර භාණ්ඩ අලෙවි කිරීම නිසයි. බෞද්ධ සදාචාරය අනුව මෙවැනි වංචනික ක්‍රියා මඟින් උපයන ධනය දැහැමි ධනයක් ලෙස නම් කෙරේ.

නූතන වෙළෙඳ ලොව

සාර්ථක ව්‍යාපාරිකයෙකු සතු තුන්වන ලක්ෂණය ලෙස දැක්වෙන නිස්සය සම්පන්න වීමෙන් අදහස් වන්නේ ව්‍යාපාරික ලෝකයේ විශ්වාසය දිනාගැනීමයි. මෙහිදී පාරිභෝගික විශ්වාසය මෙන්ම ව්‍යාපාර සඳහා ණය ආධාර සපයන මූල්‍ය ආයතනවල විශ්වාසය දිනාගැනීම මෙයින් අදහස් වේ. දැහැමිව සාධාරණ අයුරින් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකුට කලක් ගතවන විට සමාජය තුළ පිළිගැනීමක් හා විශ්වාසයක් ඇතිවේ. ව්‍යාපාරිකයා විසින් පාරිභෝගිකයා වෙත ලබාදෙන සේවය කොතරම් ගුණාත්මකද එසේම ඔහු ගණුදෙනුවලදී කොතෙක්දුරට අවංකද යන කරුණු මත එම විශ්වාසය පදනම් වේ. වේඵුල්ල සූත්‍රයේ එන මෙම තුන්වන කරුණ අනුව ව්‍යාපාරිකයාගේ දියුණුව සමඟම මහජන විශ්වාසය ඇති වී තවදුරටත් ඔහුගේ සේවය ලබාගැනීමට පාරිභෝගිකයා තුළ කැමැත්තක් ඇති වේ. එසේම ව්‍යාපාරය සඳහා ලබාගත් ණය මුදල් නිසි වේලාවට ගෙවන විට ණය ආධාර සැපයූ මූල්‍ය ආයතන ද තවදුරටත් ඔහුට මුදල් ලබාදීමට උනන්දු වේ. ණය ආධාර ලබාගැනීමෙන් තොරව ව්‍යාපාර දියුණු කළ නොහැකි බව පිළිගත් කරුණකි. වෙනස් වන ලෝකයට සාපේක්ෂව ක්‍රියාත්මකවීමේ වැදගත්කම හයවන සියවසේ ආරම්භ වූ බුදුසමයෙන්ද පිළිගෙන තිබෙන බව මෙම බෞද්ධ ඉගැන්වීම් මඟින් පැහැදිලි වේ. බුදුරදුන්ගේ ඉගැන්වීම් නූතන වෙළෙඳ ලෝකයේ අවශ්‍යතා සමඟ ද සම්බන්ධ කළ හැකි අයුරු මෙයින් ගම්‍ය වේ.

දැහැමි ආර්ථිකය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් නූතන වෙළෙඳ ආර්ථිකයට ආදේශ කර ගැනීමේ වැදගත්කම බටහිර උගතුන් විසින්ද අවධාරණය කර ඇති අයුරු තායි ජාතික සුලක් ශිවරක්ෂාගේ සමාජ ක්‍රියාන්විත බුදුසමය පිළිබඳ සාකච්ඡාවලින් තහවුරු වේ. මෙම සාකච්ඡාවලින් සුලක් ශිවරක්ෂා පෙන්වා දෙන්නේ වර්තමාන සමාජ ආර්ථික ප්‍රශ්න විසඳීමට බුදුරදුන්ගේ ඉගැන්වීම් සෘජුවම ආදේශකරගත හැකි බවයි.

වෙළෙඳාම දැහැමි රැකියාවක් මෙන්ම එයින් ලබන ආදායමත් දැහැමි එකක් බවට පත් වන්නේ පව් පින් මැනවින් හඳුනාගෙන ව්‍යාපාරික කටයුතුවල නිරත වීමෙන්ය. බුදුරජාණන් වහන්සේ විසින් සෝතාපන්න ගිහි ශ්‍රාවකයෙකු වූ අනේපිඬු සිටුවරයා අමතා වදාළ බොහෝ සූත්‍ර දේශනා තුළ අන්තර්ගත වන්නේ සාර්ථක වෙළෙඳ ව්‍යාපාරයකට අවශ්‍ය උපදෙස් ය. මෙම උපදෙස් ආශ්‍රයෙන් සදාචාර සම්පන්න බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාවක් ප්‍රතිනිර්මාණය කළ හැකි වේ. අධර්මයෙන් ධනය උපයා එම ධනය සසුනෙහි දියුණුවට යෙදවීම බුදුදහමින් අනුමත නොකරයි. එහෙත් ඇතැම් ව්‍යාපාරිකයන් අධර්මයෙන් ධනය උපයා එයින් මහපරිමාණයේ පින්කම් සිදුකරන අවස්ථා ද දක්නට ලැබේ. පින්කම් සඳහා කොතෙක් ධනය වැය කළත් එම ධනය අධර්මයෙන් උපයාගෙන ඇත්නම් එය බුදුසමයට අනුව වරදක් වේ. බුදුරදුන්ගේ ඉගැන්වීම් අනුව සළකා බලන්නේ ව්‍යාපාරිකයාගේ දැහැමි බව හා දැහැමි ව්‍යාපාරයක් ද යන්න මිස එකී පුද්ගලයා විසින් වැය කරනු ලබන ධනයේ ප්‍රමාණය නොවෙයි. මේ ගැන නොසළකා ඇතැම් අධාර්මික ව්‍යාපාරිකයන්ගේ ධනය ලබාගන්නා ගිහි පැවිදි දෙපක්ෂයටම සිදුවන්නේ මහත් අනර්ථයකි. පින්කම් උපයෝගීකරගනිමින් තම අධාර්මික බව සමාජයෙන් වසන්කිරීමට උත්සාහගන්නා කූට ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට හසු නොවීමට ගිහි පැවිදි දෙපක්ෂයටම විශාල වගකීමක් තිබේ. සදාචාර සම්පන්න බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩනැංවීම සඳහා ගිහි පැවිදි දෙපක්ෂයේම කැපවීම අවශ්‍ය වේ.