Print this Article


සිත සකසා ගන්නා සුවිශේෂී දහම

සිත සකසා ගන්නා සුවිශේෂී දහම

ඇස, කන, නාසය, දිව ,සිරුර, සිත යනුවෙන් ප්‍රධාන වශයෙන් දියුණුවීමේ දොරටු හයකුත් පිරිහීමේ දොරටු හයකුත් ධර්මයේ සඳහන් වෙනවා. ඇස, කන, නාසාදී ඉඳුරන්ගෙන් තණ්හාව, තරහව, වෛර, ක්‍රෝධ, මද මාන්න ආදියෙන් බැඳෙන අරමුණු ගත්තොත් එය පිරිහීමේ දොරටු වශයෙන් සඳහන් වෙනවා.

ඇස, කන, නාසාදී ඉඳුරන් ශ්‍රද්ධා, වීරිය, සති,සමාධි , ඥාන දියුණු කරගැනීම සඳහා යොමු කළොත් එය දියුණුවේ දොරටු ලෙස හඳුන්වනවා. බුදු බණ ඇසීම, දේශනා කිරීම, බුදු ගුණ සිතීම ආදී යහපත් දේ තුළින් තමාගේ සිතේ අති විශාල දියුණුවක් සලසා ගැනීමට පුළුවන්. දාන, ශීල, භාවනා පින්කරන සීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරන සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යප්‍රදාන පංචේන්ද්‍රිය, පංච බල , සප්ත බොජ්ඣංග , ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගන්නාට අති විශාල දියුණුවක් සලසාගන්න පුළුවන්. බුදු, පසේ බුදු , මහරහතන් වහන්සේලා ප්‍රධාන වශයෙන් සුවිශේෂී තත්ත්වයන්ට පත් වූයේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලයි. දන්දීම, සිල් රැකීම, අත හැරීම , ප්‍රඥාව දියුණු කිරීම, වීර්යය දියුණු කිරීම, ඉවසීම දියුණු කිරීම, සත්‍යවාදීවීම හොඳ අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබා ගැනීම , මෛත්‍රිය දියුණු කර ගැනීම යන හැම දෙයක් පිළිබඳව මධ්‍යස්ථව සිතීම ආදී කරුණු දහයෙන් ආර්ය උතුමන් වහන්සේලා උතුම් තත්ත්වයන්ට පත් වුණා. බුදුරජාණන් වහන්සේ දිවි හිමියෙන්ම ඒ කරුණු ටික තිස් ආකාරයකට පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා වශයෙන් දියුණු කළ නිසා ඒ තත්ත්වයන්ට පත් වුණා. අපේ බුදුවරයාණන් වහන්සේලා දාන පාරමිතා, උප පාරමිතා, ආදියෙන් විස්සක් සම්පූර්ණ කර පසේ බුදු වුණා. මහරහත් බව පසක් කරගන්න බලාපොරොත්තු වන අය නිවන් පසක් කරන ගුණ දහයක් දියුණු කරගැනීම අවශ්‍යයයි. දෙව් ලොවට, බඹ ලොවට ගිය හැමෝමත් යහපත දකින සියලු දෙනාටත් දියුණුවීමේ දොරටු නිසා යහපතක් සලසාගන්න පුළුවන්.

බුදු දහම යනු සිත සකසා ගන්නා සුවිශේෂී දහමක්. පව් කිරීමෙන් වැළකිලා පින් දහම් කරගෙන සිත දියුණු කරගනු ලැබුවහොත් තම තමාට එහි දියුණුව, එහි ආරක්ෂාව හොඳට දැකගන්නට පුළුවන්. සෑම දෙයකම අභිවෘද්ධිය පැහැදිලි කර දෙන්නේ බුදු දහම පමණයි. දෙමාපියන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, තුනුරුවන් වන්දනාමාන කිරීම, හොඳ යහපත් ගති ගුණ දියුණුවීම සෑම දෙයක්ම බුදු දහමෙන් හොඳට උගන්වනවා. කරණිීය මෙත්ත සූත්‍රය, මහා මහාමංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍ර වලින් කළ යුතු දේ, නොකළ යුතු දේ මහත් අගේ ඇතිව පැහැදිලි කරනවා. අන්න ඒ කරුණු ටික කොයි කවුරුත් දැන කියාගත්තොත් පිරිහීමක් නැතිව දියුණුවක් පිණිස කටයුතු කරන්න පුළුවන්. මහා පරිනිබ්බාන සූත්‍රයේ සප්ත අපරිහානිය ධර්ම හතළිස් නවයක් පමණ දේශනා කර වදාළා. මේ හැම දෙයක්ම තිබෙන්නේ දියුණුව පිණිසයි. ලිච්ඡවී රාජධානියේ, විශාලා මහනුවර වැසියන් සප්ත අපරිහානීය ධර්මයන් නිවැරැදිව ක්‍රියාත්මක කළා. ඒ නිසා ඒ අය සැමදාම දියුණුවේ සිටියා. තව්තිසා දෙව්ලොව ඉන්න දෙවියොත්, දිව්‍යාංගනාවොත් හරිම දර්ශනීයයි. අන්න ඒ වගෙයි, ලිච්ඡවී රාජධානියේ ඉන්න වැසියන්. සෙසු පළාත්වළ , සෙසු රටවල ඉන්න මිනිසුන්ට වඩා ඉතා ලස්සන, දැකුම්කලු, මනරම් ජන කොටසක් විශාලා මහනුවර හෝ වෛශාලිය එහෙමත් නැත්නම් ලිච්ඡවී රාජධානියේ ජීවත් වුණ බව සඳහන් වෙනවා. ඒ අය එතරම් දර්ශනීය වුණේ පින්වන්තකම නිසයි. සිත මූලික කරගෙන ඒ අය උත්සාහවන්තව කටයුතු කළේ දියුණුව පිණිසයි.

දවසක් අජාසත්ත රජතුමා බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් යවා මා ලිච්ඡවී රාජධානිය සටන් කරලා අල්ලා ගන්නා කාරණය ඉෂ්ඨ වෙනවද කියලා අහගෙන එන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ යුද්ධ කරන්න කිව්වෙත් නැහැ, එපා කිව්වෙත් නැහැ. නමුත් අනඳ හැමුදුරුවන්ට මෙහෙම පැවසුවා. ආනන්දය, ලිච්ඡවී රාජධානිය සියලුම රජවරුන්, ඇමැතිවරුන් , පළාත්වල මැති ඇමැතිවරුන්, ඒ ඒ පළාත්වල නිතර නිතර රැස් වෙනවා. සාකච්ඡා කරනවා. සමඟිව වාඩි වෙනවා. සමඟිව විසිර යනවා. ඒ අය ළඟ වාද විවාද අසමගිකම් මොකුත්ම නැහැ. ඒවා තිබෙන තුරා ලිච්ඡවී රාජධානිය කිසි කෙනෙකුට අල්ලන්න බැහැ කියලා පැවසුවා. ඒ අය හරිම සමඟි සම්පන්නයි. වාද , භේද නැහැ. අන්න ඒ නිසා ඒ අයගේ රාජධානිය සුරක්ෂිතයි. සොරසතුරෙකුටවත් ඇතුළු වෙන්න බැහැ’යි වදාළා. එය අහගෙන ගිය ඇමැතිවරයා ඒ බව අජාසත්ත රජතුමාට මතක් කළා. අන්න ඒ වගේ හැම ගෙදරකම , ගමකම හැම නගරයකම, හැම රටකම අපරිහානීය ධර්ම හරියටම ක්‍රියාත්මක කළොත් තමන්ට පුළුවන් අති විශාල දියුණුවක් ලබන්න. ඒ වගේම ගිහි , පැවිදි කොයි කවුරු වුණත් පිරිහෙන දේ ඉවතට දමා දියුණුවෙන දේ නොපිරිහෙන දේ දියුණු කරන්න කියන උපදේශය බුදුරජාණන් වහන්සේ අපට මහා පරිනිබ්බාණ සූත්‍රයෙන් දේශනා කර වදාළා. ඒ අනුව කල්පනාකර බුදු දහමෙන් ගත යුතු හරය, ලබාගෙන මෙලොව දියුණුව හොඳින් සකසාගෙන පරලොව සුගතියත් නිවන් සැපත් පිණිස වැඩ කටයුතු කළ යුතුයි. මිල මුදල්, කෙත්වතු යාන වාහන හරිහම්බ කිරීම තමන්ගේ මෙලොව දියුණුව පිණිස යෙදෙනවා. ඒ අතරට බුදු ගුණ භාවනා, මෛත්‍රී භාවනාවන් තුළින් සිත ශක්තිමත් කර සිත දියුණු කරගැනීම අවශ්‍යයයි. වයසට ගිහින් පින් කරනවා. පරලොව ගිහින් පින් කරනවා කියලා කිසි දවසක සිතන්න හොඳ නැහැ. වයසට යන්නට පෙර මැරෙනවා. පරලොව කොහේ යයිද කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. එහෙම කල්පනා කරලා අද තමන්ගේ දියුණුව හදාගැනීම අවශ්‍යයයි. එය මෙලොව පරලොව යහපත සහ නිවන සදහායි. සතර අපායට වැටුණේ අපරිහානීය පුද්ගලයායි.

සතර අපායේ ස්වභාවය හැම මොහොතකම දුක් ලැබීමයි. මෙය නරකාදිය 136කින් සමන්විතයි. ප්‍රේත ලෝකයෙත් විවිධාකාර කොටස් බහුලයි. තිරිසන් ලෝකෙත් අනන්තයි. සතර අපායෙත් ඒ වගෙයි. මේ සතර අපාය ලැබෙන්නේ නරක වැඩ කළ අයටයි. සතර අපායෙන් බේරුණු කෙනෙක් හොයන්න අසීරුයි. සිටියොත් බොහොම ස්වල්ප දෙනයි. අපායට පත්කරන දේ වැරැදි කාය කර්ම, වාග් කර්ම , මනෝ කර්ම යනුවෙන් වැරැදි දහයක් තිබෙනවා. කාය කර්ම තුනයි, වාග් කර්ම හතරයි, මනෝ කර්ම තුනයි. එහෙමනම් මේ දස වැදෑරුම් පව් කරපු අයට සතර අපාය උරුමයි. කාය, වාග්, මනෝ කියන ද්වාරත්‍රයෙන් සුචරිත පුරුදු කරපු සැමටම සුගතිය ලැබෙනවා. සුචරිත ධර්ම, යහපත් ධර්ම කොයි කවුරුත් දැන කියාගෙන වැඩ කටයුතු කළ යුතුයි. සතුන් මැරීමෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, නපුරු වචන කතාවෙන් වැළකීම. හිස් වචන කතාවෙන් වැළකිම, දැඩි මසුරුකමෙන් වැළකීම, තරහවෙන් වැළකීම, මිසදිටුකමෙන් වැළකීම ආදිය කාය, වාග්, මනෝ වශයෙන් මේ ද්වාරත්‍රය පව්වලින් වැළකෙන ක්‍රම දහයක් දේශනා කර වදාළා. එය සුචරිත ධර්මයි.

මේ මගින් තමාගේ දියුණුව, තමාගේ යහපත සකස් කර දෙනවා. තමන් දිහා බලල බොහෝ දෙනෙක් සුමග ගමන් කරනවා. අන්න ඒ විදිහට ආදර්ශ සම්පන්නව කටයුතු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ එකම දවසකවත් පිරිහෙන වැඩක් කළේ නැහැ . කරන්නෙත් නැහැ. මොකද, ප්‍රකටව හෝ අප්‍රකටව උන්වහන්සේ අතින් රහසින්වත් පව් සිදුවී නැහැ. උන්වහන්සේ ගමනින් , කතාවෙන්, පැවැත්මෙන් සංවරයි. බුදුරජාණන් වහන්සේ ගැන අහලා දැකලා බලලා කරුණු සොයාගෙන ඒ අනුව කල්පනාකර මුලු මහත් ජනතාවටම තමාගේ දියුණුව තමාගේ යහපත ආරක්ෂාව සකස් කරගන්නට නම් තුනුරුවන් වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන්න. ඒ අයට පමණක් මනුලොව, දෙව්ලොව, බඹලොව සාධාරණයි. ඒවාට ගිහින් සිහියෙන් යුතුව වාසය කරන්න පුළුවන්. ඒ අය දහමට විරුද්ධ වුණානම් යහපතට විරුද්ධ වුණානම් ඒගොල්ලන්ට සැප නැහැ. ඒ අය අඳුරු සහගත ලෝකවලට පත්වෙනවා. මේ ගැන කල්පනා කර සැප ලබා දෙන ප්‍රතිපත්ති මාලාව අනුගමනය කිරීම බොහොම වටිනවා. ඒ ප්‍රතිපත්ති මාලාව නම් යහපත් දේ කිරීමයි. අයහපත් දේ ඉවත් කිරීමයි. පන්සිල් සමාදන් වීම , අටසිල් ගැනීම, දසසිල් ගැනීම ආදිය උත්තරීතර ධර්මයන්. ඒ අතරට බණ භාවනා කටයුතු කිරීම බොහොම වැදගත්. මේ ශරීරය වයසට යනවා. , ලෙඩ වෙනවා, මැරෙනවා, එය හොඳට කල්පනාවට හිතට අරගෙන මේ ශරීරය හෙවත් පංච උපාධානස්ඛන්ධය අනිත්‍යයයි, දුක්ඛයි. අනාත්මයි යනුවෙන් පියවර දස දහස්වර අනුස්මරණය පුරුදු වෙන්න. එය බුදු දහමේ අංක එකේ භාවනාවට වැටෙනවා. එතරම් ප්‍රබල දෙයක් තවත් ලොවේ නැහැ.

සසර වසන තුරා මනා නුවණක් ලබන්න අවශ්‍ය නම් මේ භාවනාව කළොත් ප්‍රමාණවත්. එබඳු අයට පුදුම විදිහේ බලයක් , ශක්තියක් ලැබෙනවා. මේ දියුණුව සකසා ගත යුතුයි. දෙව්ලොව සමහර දෙවියන් පිනට දහමට ගුණයට නැඹුරු වෙන්න කැමැතියි. ඇතැම් දෙවිවරු සැප සම්පත් බහුල නිසා පිනට දහමට ගුණයට කැමැති නැහැ.

දෙවිලොවත් ‘සිළුමිණ සෑය’ නමින් චෛත්‍යයක් තිබෙනවා. ඒ වගේම බඹලොවත් “සළුමිණ” සෑය නමින් චෛත්‍යයක් තිබෙනවා. මේවා දෙවිලොව දෙවියන්, බ්‍රහ්ම ලොව බ්‍රහ්ම රාජවරු වඳින පුදන පූජනීය ස්ථානයන්. එබඳු තැන්වලත් වඳින්නේ පුදන්නේ ස්වල්ප දෙනයි. සැදැහැවත් ගති ඇති බෝසත් උතුමෝ පරසතු, මදාරා මල් පූජා කර මහා පින්කම් කරනවා. ඔය විදිහට ගෞරවය පුදලා දෙවිලොව ඉපදෙන පින වැඩි කරගන්නවා. බඹලොව අය භාවනා කරලා වැඳුම් පිදුම් කරලා පින වැඩිකර ගන්නවා.

මනුලොව වගේම දෙවිලොවත් උතුම් නුවණ නැති විරුද්ධ අය සිටිනවා. මේ අයට දුක් විපාක බහුලයි.

මේවා ගැන හොඳ දැනුමක් කවුරුත් ඇතිකරගෙන පිනට දහමට යොමුවෙන්න . නැත්නම් ඔත්පල වූවිටදි හෝ මරණමංචකයෙදි පුළුවන් කාලේ පින් කරගත්තේ නැහැ කියලා අඬන්න සිදු වෙනවා. එය පිරිහීමයි. පින් දහම් කළ අය සතුටින් සුගතියට යනවා. ඒ විදිහට කොයි කවුරුත් තම හිත දියුණුකරගෙන පස්පවින් වැළැකී දිවිමග සකසාගෙන බුදු, පසේ බුදු , මහරහතන් වහන්සේලා අවබෝධ කළ දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ කරගෙන මේ සියලු දුක්ඛස්ඛන්ධයන්ගෙන් නිමාව වන ශාන්ති ලක්ෂණ අමා මහා නිවන් සම්පත් අවබෝධය සඳහා සෑම දෙනාම දියුණුව සලසා ගනිත්වා.