Print this Article


අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරය

අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරය

සෙංකඩගල පුරවරයේ අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ විහාරය ක්‍රි.ව. 1347 – 1375 සමයේ ගම්පොළ යුගයේ රාජ්‍ය මෙහෙයවූ තෙවන වික්‍රමබාහු රජතුමා විසින් සිය මෑණියන් වූ චන්ද්‍රවති බිසව සිහිපත් කිරීම මුල්කරගෙන අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරය ඉදිකර ඇති බවට පොත පත්හි දැක්වේ. එම වර්ෂය ක්‍රි.ව. 1364 වශයෙන් දැක්වෙන අතර චන්ද්‍රවති බිසවගේ ආදාහන කටයුතුද මෙහිදී සිදුකර සිහිවටනයක් ලෙස චන්ද්‍රවතී නමින් රෝපණය කළ බෝධීන් වහන්සේ නමද අදත් මෙහිදී ප්‍රදර්ශනය වේ.

චන්ද්‍රවති බිසවගේ භෂ්මාවශේෂ මෙහි තැන්පත් කළ නිසා ඊටම පූජනීය ස්ථානය ආදාහනමලුව වශයෙන්ද හඳුන්වනු ලබන්නේ ය. වික්‍රමබාහු රජතුමා විසින් ගෙඩිගේ විහාර සම්ප්‍රදාය අනුව මෙහි විහාර මන්දිරයක් ඉදිකොට ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කර සංඝාවාසයක්ද මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කර ඇති බව සඳහන් වේ. සියම් දේශයේ උපාලි මා හිමියන් අස්ගිරිය ගෙඩිගේ විහාරයේ වැඩ සිට ශාසනික මෙහෙවරක යෙදී සිටියදී අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ආදාහනයද මෙහිදී සිදුකර ඇත.

ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවන ලද ශ්‍රී දළදා වහන්සේ දළදාවංශ කතාව ශ්‍රී සම්බුදු සිරිතේ ආරම්භය දක්වා ඉතිහාසය දැක්වෙන අතර, ශ්‍රී ලංකාද්වීපයට වැඩම වූ ශ්‍රී දළදා සමිඳු සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙරට සිද්ධස්ථාන කිහිපයකම වඩා හිඳුවා සෙංකඩගල පුරයට වැඩම කිරීමට පළමු වසර කීපයක් දෙල්ගමුවේ වැඩ සිටිබව ශ්‍රී දළදා සමිඳුන්ගෙන් ඉතිහාස කතා වස්තූන්ගේ ප්‍රකාශිතය. අස්ගිරිය මහා විහාර වාසී ඇල්ලෙපොල මංගල මාහිමි ප්‍රධාන රාජකීය අමුත්තන් පිරිසක් විසින් සෙංකඩගලපුරයට වැඩම වූ ශ්‍රී දළදා වහන්සේ මුලින්ම අස්ගිරිය ගෙඩිගේ රාජමහාවිහාරයට වැඩමවා දළදා පුද සිරිත් චාරිත්‍ර පවත්වා ඇත. ශ්‍රී දළදා සමිඳු මහනුවර වැඩමවූ මුල්දිනයේ සිට අද දක්වා දළදා වහන්සේ හා ගෙඩිගේ විහාරය අතර සම්බුද්ධ ශාසනය අතින් ඓතිහාසික සම්බන්ධතාවයක් පවතින ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදුකෙරෙන පුද සිරිත් චාරිත්‍ර සම්ප්‍රදායන්වල ආරම්භය ගෙඩිගේ විහාරය මුල්කරගෙන සිදු කෙරුණි.

ඇසළ කප් සිටුවා කුඹල් රන්දෝලි පෙරහර, දින 10 ක් තිස්සේ පවත්වා අවසන් රන්දෝලි මහ පෙරහර අවසානයේදී සෙංකඩගල පුරවරයේ වීදි සංචාරය කර ගෙවදීමෙන් පසු ශුභ නැකතින් ශ්‍රී දළදා මන්දිරයෙන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පෙරටු කරගෙන පිටත්වන සිව් දේවාල දිය කැපුම් මංගල්‍ය පෙරහර ඓතිහාසික ගෙඩිගේ රාජමහ විහාරයට පිවිස පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත්කරනු ලබන්නේ දළදා වහන්සේ ඓතිහාසික ගෙඩිගේ වැඩසිටි බව සිහිපත් කර දළදා සමිඳුන්ට පවත්වන පුද සිරිත් විරිත් පූජාවන් ඒ පරිද්දෙන්ම ගෙඩිගේ විහාරය විසින් පවත්වති. ශුභ නැකැත් වේලාවෙන් සිරිත් පරිදි පවත්වනු ලබන දවල් පෙරහර ගෙඩිගේ රජමහා විහාරයෙන් පිටත්වන මොහොත තෙක් ගෙඩිගේ රජමහ විහාරයේ තැන්පත් කර තබන පෙරහර කරඬුව සම්බන්ධ වගකීම් සහ භාරකාරත්වය අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමි ප්‍රධාන අස්ගිරිය මහා විහාරයේ මහා සංඝරත්නය වෙත පැවරේ. දියවඩන නිළමේතුමාගේ සහ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේගේ නිර්දේශය මත පෙරහර කරඬුවේ ආරක්ෂාව නිමිත්තෙන් බස්නායක නිළමේ කෙනෙකු ද චාරිත්‍ර පැවැත්වීමට සම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාළිගාවේ පල්ලේමාලේරාලත්, තේවාශබ්ද පූජාවන් අඛණ්ඩව පැවැත්වීමට හේවිසි වාදකයින් සමග කවි කාර මඩුවත්, පත් කෙරේ. මෙම චාරිත්‍ර විධි ශ්‍රී දළදා මාළිගාවේ රාජකාරිය සිදුකරන පිරිස විසින්ම පවත්වන අතර මුළුතැන් බුද්ධ පූජාව ශ්‍රී දළදා මාළිගාවේ සිට පංචතූර්යය නාද හේවිසියෙන් ගෙන එනු ලබන්නේ ය. ශ්‍රී දළදා සමිඳු උදෙසා පවත්වනු ලබන සියලු පුද චාරිත්‍ර, පූජාවන් ශ්‍රී දළදා මාළිගාවෙන් හැර දක්නට ලැබෙන එකම පූජනීය ස්ථානය මෙම ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරයයි. එසේම ශ්‍රීදළදා මාළිගාවේ දළදා පෙරහර ගමන් කරන එකම විහාරස්ථානය ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජ මහා විහාරය වන්නේ ය. ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ලබන ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරයට පිවිසෙන දෙස්, විදෙස් බැතිමතුන් අතීතයේ සිටමෙහි පැමිණ විවිධ පුද පූජාවන් පවත්වා පින් ලබා ගැනීම. ඈත සිට පවත්වාගෙන එනු ලබන පින්කමක් ලෙස සලකති.

2016 ඇසළ පෙරහර සම්බන්ධ දිය කැපුම් පෙරහර සහ දවල් පෙරහර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරයෙන් පිටත්වන ශුභ නැකැත් වේලාවන් මෙසේ දක්වා ඇත. 2016 අගෝස්තු මස 18 වෙනි ගුරු දින රාත්‍රී 01 පසු වී 16 ට නැගෙනහිර දිශාභිමුඛව ශ්‍රී දළදා මන්දිරයෙන් පෙරහර පිටත්ව සිව් දේවාල පෙරහර සමඟ පිටත්ව ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රාකාර පෙරහර කරඬුව එහි තැන්පත් කොට සිව් දේවාල පෙරහර ආපසු දේවාල වෙත පිවිස දේව පුජා පවත්වා ගැටඹේ තොටට ගොස් දිය කැපුම් මංගල්‍ය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට විත් දේව පූජා ඉටු කෙරේ. සිරිත් පරිදි පවත්වනු ලබන දවල් පෙරහර සවස 01 පසු වී විනාඩි 25 ට උතුර දිශාභිමුඛ ඓතිහාසික ගෙඩිගේ විහාරයෙන් පිටත් වේ.

ගෙඩිගේ රජමහ විහාරයේ විහාරාධිකාරී අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඩරුවේ ශ්‍රී උපාලි අනු නාහිමිපාණන් විසින් ගෙඩිගේ විහාරයේ පුරා විද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කරගෙන සිදුකරන ලද ශාසනික සේවාව ශ්‍රේෂ්ඨත්වයෙන් සැළකිය යුතුයි. නව විහාරමන්දිරයක් සමඟ අංගසම්පූර්ණ සංඝාවාසය, ප්‍රවර උපාලි ස්මාරකය, ධර්මශාලාමන්දිරය, ඓතිහාසික බෝධීන් වහන්සේ වටා රන්වැට සලපතල මලුව සහ දැනට නිමවෙමින් පවතින නැගෙනහිර දිසාවේ මහ වහල්කඩ තායි රජයෙන් පූජා කරන ලද සක්මන් බුද්ධ ප්‍රතිමාවහන්සේ දැනට සැලසුම්කර පවතින සංරක්ෂණ කටයුතු සමඟ සියවස පිරි ශ්‍රී ධම්මකිත්ති දහම් පාසල තෙමහල් ධර්ම මන්දිරය ද තවත් ව්‍යාපෘතිය ද උන්වහන්සේගේ සේවා අතර වේ.