Print this Article


දිය කැපීමේ මංගල්‍යය හා දේවාශිර්වාදය

දිය කැපීමේ මංගල්‍යය හා දේවාශිර්වාදය

සිරිසර කන්ද උඩරට සෙංකඩගල පුරවර ශ්‍රී දළදා පෙරහර සම්බන්ධ ප්‍රධානකාර්යන් අතර අවසාන පෙරහරත් සමඟ දවල් පෙරහරට පෙරාතුව ශුභමුර්තියෙන් දිය කපනු ලැබේ. මෙම උතුම් චාරිත්‍රය සම්බන්ධව දැනගත යුතු ප්‍රධාන කරුණු.

01.අවසාන රන්දෝලි පෙරහර , 02.යළි ගෙඩිගේ විහාරයට දළදා පෙරහර පැමිණීම , 03.පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීම , 04.දිය කැපීම සඳහා රාජකාරි නියම කිරීම , 05.දිය කපනා තොටදී දියකැපීම , 06.පෙරහර පුල්ලියාර් කෝවිලට සැපත්වීම

07.ගෙඩිගේ විහාරෙන් පෙරහර පිටත්වීම , 8.යළි දවල් පෙරහර සියල්ල එක්වන්ව වීදි සංචාරය , 09. පෙරහර ගෙවදීම හා රජදැකීම

පෙරහර මංගල්‍යය අවසාන වන්නේ දියකැපීමේ චාරිත්‍රයෙන් නිසා එම කාර්ය ඉෂ්ට සිද්ධ කරගැනීමෙහිලා ස්ථානයක් වෙලාවක් ක්‍රමෝපායක් තිබිය යුතු වන්නේය.

ශ්‍රී දළදා මාලිගාවේ මොහොට්ටාල විසින් නිකුත් කරන නැකැත් අනුව අවසන් රන්දෝලි පෙරහර අස්ගිරි මහාවිහාර ගෙඩිගේ මහාවිහාරය හෙවත් ගමන් මාලිගයට පැමිණීමත් සමඟ ශ්‍රී දළදා මාළිගාවේ තේවාවට සමානව ආවතේව පුද පූජා වන්දන මානන කරන්නේය.

01.ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයට පංචතූර්ය නාදමධ්‍යයේ වැඩම කරවීම 02.අස්ගිරි මහා සංඝරත්නය පිළිගැනීම , 03. අතිපූජ්‍ය මහානාහිමියන් වහන්සේ විසින් ධාතු කරඬුව ගෙඩිගේ විහාරය තුළ වඩා හිඳුවීම , 04.ගිලන්පස පූජාව , 05.අතිපූජ්‍ය මහානාහිමියන්ගේ අනුශාසනය , 06.රාජකාරි හඳුන්වා දීම හා නියම කිරීම , 07. පසුදින ගැටඹේතොටදී දියකැපීමේ රාජකාරියට නියමිත නිලධරයන් හඳුන්වාදීම , 08.පසුදින පහන්වන තුරු පංච තූර්යනාද පැවැත්වීම ,09.උදේ කිරිආහාර පුජාව හා දවල් බුද්ධ පූජාව , මෙසේ අස්ගිරි ගෙඩිගේ විහාරය තුළ දළදා පෙරහර කරඬුව සුරක්ෂිතව පූජා විධි සහිතව වැඩ සිටින අතර නියමිත ශුභමුහුර්ති අනුව ආව තේව නිලධරයන් අලි ඇතුන් සහිත පෙරහරකින් ගැටඹේ තොට විහාරස්ථානයට සැපත්ව එහිදී විවිධ පුද පුජා පවත්වා දියකපා යලි පෙරහර කටුකැලේ පුල්ලියාර් කෝවිලට පැමිණීම රජ දවස පටන් පවත්නා උතුම් චාරිත්‍රයකි. ශ්‍රී දළදා මාළිගාවේ නිලධරයන් මෙන්ම එම කෝවිලේ කපු මහත්වරුන් අතර පවත්නා සිරිත් විරිත් රාශියක් ඉෂ්ට සිද්ධ කෙරෙන්නේය.

ශ්‍රී දළදා පෙරහර එම කෝවිලෙන් පිටත්ව සතර දේවාල පෙරහරත් සමඟ වීදි සංචාරය සඳහා සූදානම් වීම හා ගෙඩිගේ විහාරයෙන් පෙරහර කරඬුව මංගල හස්තිරාජයා මත වඩා හිඳුවාමාදී සියලු කාර්යන් සඳහා වෙඩිහඬ සංඥාවෙන් සියලුම ජනතාවට දැනුම්දෙන විට රාජකාරි නිලධරයන්, නර්තනයන් ,දද කොඩිසේසත් උසුලන්නන්, උඩුවියන් ,පාවාඩ දමන්නන් ස්ව ක්‍රියාව සූදානම් වෙන විට ශ්‍රද්ධා භක්තියෙන් , පී‍්‍රතියෙන් මහජනතාව ඉපිල යන්නෝය. දිය කැපීමේ උතුම් චාරිත්‍රයෙන් අපේක්ෂා කරණ පරමාර්ථයන් 01 කලට වේලාවට වැසිලැබ ගොඩමඩ ගොවිතැන සශ්‍රීකවීම, 02.පුරාණ චාරිත්‍රයක් ඉෂ්ට සිද්ධ කිරීම , 03.දේවාශීර්වාදය ලබාගැනීම , 04.ගජබාරජ දවස ද්‍රවිඩ සේනාව ලංකාවට ගෙන ඒම අනුස්මරණය කිරීම , මෙසේ වසර දහස් ගණනක සිට පැවතෙන දිය කපනා මංගල්‍ය සෑම පෙරහරක් අවසානයේ සිදුකරන්නේය.

ශ්‍රී දළදා පෙරහර මංගල්‍යයෙන් සමස්ත මානව පරපුරට ශාන්තියක්ම වන්නේය.