Print this Article


උඩගම ධම්මානන්ද නා හිමි

උඩගම ධම්මානන්ද නා හිමි

2016.08.18 වෙනි දින උතුරු , උතුරු මැද නැඟෙනහිර පළාත් හි ප්‍රධාන සංඝනායක පදවිය ලැබීමේ උත්සවය නිමිත්තෙනි.

ඔබය දිනපති – ඔබය තරුපති
දිලෙන සසුනඹරේ – දහම් නද නා සමිඳ
ඔබ ගුණ හද පැතින් සැමරේ

මා උපන් සුන්දර ගම්මානය පොළොන්නරුව පුලතිසි පුරවරයයි. ගමේ පන්සල අපේ පන්සල වූයේ ඉසිපතනාරාමයයි. බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ මිගදායේ ඉසිපතනාරාම නාමය අප පන්සලට ලැබීමත් අප කළ මහඟු පින්කමකි. කුඩා ලද මා දුටු බුද්ධ පුත්‍රයාණන්, සිත වැළඳගත් හිමියන් උඩගම ධම්මානන්ද හිමි වේ. මෙම ලිපිය 2016.08.18 වැනි දින පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී සවස 2 ට අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නාහිමියන්ගේ අභිනව නායක උත්සවය වෙනුවෙනි.

1940 දෙසැම්බර් 6 වන දින මාතලේ උඩුගම ග්‍රාමයේ උපත ලබන ඒ.ඊ.සුගතපාල නම් ගිහිකල කුල දරුවා පොළොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තේය. 1955 වර්ෂයේ උඩගම ධම්මානන්ද යන නාමයෙන් පැවිදි දිවියට පත් වන උන්වහන්සේ 1957 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් අධ්‍යාපනය සඳහා වැඩම කරවයි. අතිපූජ්‍ය පඤ්ඤාරංසි නා හිමියන් ඇතුළු තවත් නා හිමිවරුන් කිහිප නමකගේම කාරුණික අනුග්‍රහය ධම්මානන්ද හිමියන් වෙතට හිමිවිය. 1964 වර්ෂයේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධියද ලබාගත් උන්වහන්සේට 1992 උඩරට අමරපුර මහා නිකායේ විනයවාදි කාරක සංඝ සභාව විසින් පොළොන්නරුව තමන්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලදී. සිරි විජයබා පිරිවෙන මෙන්ම ඇතුමල්පිටිය විද්‍යාලයෙහි විදුහල්පති හිමිනමක් වශයෙන් දීර්ඝ සේවයක් ද ඉටු කර ඇත.

හිතේ දුක් ගිනි – නිවන බණ පොත
ගමේ පන්සල –අපේ පින්කෙත
සසර භව දුක සිඳීන පින් හිත
කසාවත පොරවා
දන්වේල නැත – බහක් නොදොඩා
බණට පිරිතට – පයින් වැඩියා
සා පැටව් වැනි – දරු පැටව් හට
අකුරු කරවා රජුන් තැනුවා

රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසින් රචිත මා විසින් ගායනා කරනු ලබන මේ ගීතය අපේ පන්සලටද ඉතා සමීපය. එසමයේ පොළොන්නරුව පැවතියේ දුෂ්කර පළාතක්වය. පන්සලකට දන් දීම මහඟු පින්කමක් බව අපි දැනගෙන සිටියෙමු. අපේ අම්මා මසකට වරක් පන්සලට සලාක දානය දෙන විට මා ද එහි යන්නට වඩාත් ඇළුම් කලේ හිමියනි, ඔබ නිසාවෙනි. ඉතා සුන්දර වූ පරිසරයක පිහිටි විහාරගෙය, දන්ගෙය තුළ සක්මන් කරනා පැහැපත් පෙනුමෙන් කහවතින් සැරසුණු ඔබවහන්සේ දුටු කල අප සිත් නිවී සැනසුණු හැටි මට තාම මතකය. ඔබවහන්සේගේ සුපටිපන්න, උජුපටිපන්න ඤායපටිපන්න ගුණයට කුඩා කල සිට මම මහත් සේ ඇළුම් කළෙමි. දානය වළදා අවසන් වූ පසු එම දන් අප වෙත බෙදා දෙමින් අප දෙ අත් රසකැවිලි හා පළතුරු වලින් පිරවූ ඔබවහන්සේ මට තවම මැවී පෙනේ. දහම් පාසලෙන් අප වෙත අනුකම්පාවෙන් ලබා දුන් දහම් දැනුමෙන් අප හොඳ මිනිසුන් ලෙස සමාජගත වීමු. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජීවිතයේ යෞවන කාලයෙන් සැලකිය යුතු අවධියක් අප හිමි ඇසුරෙහි පන්සල් භූමියේ ගෙවණු බවද මගේ මතකයට නැඟේ. එතුමා එහි උපාධිධාරි ගුරවරුන් කිහිප දෙනෙකු ඇසුරු කොට දේශපාලන ගමන් මඟ ආරම්භ කළ බව මගේ හැඟීමයි. එතුමාගේ මෛත්‍රී ගුණය, බෞද්ධකම හා හික්මීම ජනාධිපතිවරයෙකු වීම දක්වා රැක ගැනීමට ඉසිපතනාරාම පන්සලෙන් ලද අත්දැකීම් බොහෝ වන්නට ඉවහල් වී ඇතැයි මම සිතමි. පහත සඳහන් වන්නේ සමුද්‍ර වෙත්තසිංහයන් විසින් රචිත උන්වහන්සේගේ ගුණ කදම්බයයි.

පොළොන්නරුවට සඳක් වෙමිනා
උතුම් අර්හත් ධජය දරනා
රන් කොතක් සේ දුරට පෙනෙනා
සසුන් කෙත රකිනා
දනන් දුක දැක සිහිල සදනා
මහාපැරකුම් සයුර ලෙසිනා
වියලි රජරට තෙමා ගලනා
දිය කඳකි අගනා

මිහිඳු මහා පෙරහර එදා මෙදා තුර පුලතිසි පුරවරයෙහි පැවති විශාලම බෞද්ධ පෙරහර වේ. එහි සියලු කටයුතුවල මූලිකත්වය ගෙන උන්වහන්සේ අද දක්වා ම විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටිති. උඩගම නායක ධම්මානන්ද හිමියෝ මේ වන විට විශාල අත්දැකීම් රාශියක් ලබා පැවිදි ජීවන ගමනේ යෙදෙති. පළාත් හා ප්‍රාදේශීය සංඝරත්නය මෙන්ම ගිහි පැවිදි සියලු දෙනා එක්කොට ගෙන විශාල සේවයක් පොළොන්නරුව පළාතේ ජනතාවට ඉටුකරති. ප්‍රධාන සංඝනායක පදවිය අභිබවා යන උතුරු, උතුරු මැද නැඟෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන උඩගම ධම්මානන්ද හිමියනි, ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝ ආයුෂ පතමි.