Print this Article


ඇසළ මහා පෙරහැර ආගමික හා සංස්කෘතික වටිනාකමක් ඇති පූජෝත්සවයකි

ඇසළ මහා පෙරහැර ආගමික හා සංස්කෘතික වටිනාකමක් ඇති පූජෝත්සවයකි

ජීවමාන බුදුන් වහන්සේ ලෙස සලකන සමස්ත ලෝකවාසී ශ්‍රද්ධාවත් බෞද්ධ මහා ජනතාව වන්දනාමාන කරන දන්ත ධාතුන් වහන්සේ ප්‍රමුඛස්ථානයේ තබා සෙංකඩගල පුරවරයෙහි වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා පෙරහැර ආගමික හා සංස්කෘතික වටිනාකමක් ඇති පූජෝත්සවයකි.

ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ඛේම නම් මහ රහතන් වහන්සේ විසින් ලබා ගන්නා ලද වාම දළදා වහන්සේ කළිඟු රට බ්‍රහ්මදත්ත රජුට භාර දෙන ලදුව. එම රජතුමා දන්ත ධාතුන් වහන්සේ රන් මිනිමුවා මණ්ඩපයක තැන්පත් කර පුද පූජා පැවැත්වු බවත්, ගුහසීව රජු දවස හේමමාලී හා දන්ත කුමරු විසින් ලංකාවට වැඩම කරවු බවත්, ඒ දවස ලක්දිව රාජ්‍ය විචාල කිත්සිරිමෙවන් රජතුමා අනරාධපුරයේ අලංකාරමත් දාඨා ධාතු මන්දිරයක් කරවා දන්ත ධාතුන් වහන්සේ එහි වඩා හිඳුවා නිති පුද පූජා පැවැත්වූ බවත් දළදා ඉතිහාසයෙන් පැහැදිළි වෙයි.

බුදුරජාණන් වහන්සේගේ සුවාසුදහසක් ධර්මස්ඛන්ධයෙන් ස්පර්ශය ලැබු දන්ත ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙන් සලකා ශී‍්‍ර මේඝවර්ණ රාජ්‍ය සමයෙහි පටන් මහා සංඝරත්නය මෙන්ම ශ්‍රී ලාංකික ශ්‍රද්ධාවත් රජවරු හා බෞද්ධ මහා ජනතාව මහත් ගෞරවයෙන් වන්දනාමාන කරති. එපමණක් නොව විදේශීය ආක්‍රමණ පැවති යුගවල දී පවා තම දිවි දෙවෙනි කොට ආරක්ෂා කරන ලද ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පළමුවැනි විමලධර්ම සූරිය රජු දවස පටන් අද දක්වා සෙංකඩගල පුරවරයෙහි අත්‍යාලංකාර මන්දිරයක සකල ලෝකවාසි බෞද්ධ ජනතාවගේ පූපෝපහාර ලබමින් වැඩ වසති.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමියන් වහන්සේගේද අනුශාසනා ලබා නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාලයන්හි පෙරහැරද දළදා පෙරහැරට එක් කළ අතර, එදා සිට අද දක්වා දළදා පෙරහැර ප්‍රමුඛස්ථානයේ තබා සතර දේවාලයන්හි පෙරහැර ද දළදා පෙරහැරට එක් වී ජාතික කලා සංදර්ශනයක ස්වරූපයක් ගෙන ඇත. මෙලෙස ආගමික, ජාතික හා සංස්කෘතික වශයෙන් වැදගත් වූ දළදා පෙරහැර මෙම වර්ෂයේ ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබීම අප කාගේත් සතුටට කරුණකි.

ඔබ සැමට දළදා සමිඳු පිහිට ලැබේවා!