Print this Article


යුග පෙළහරක අසිරිය බෙල්ලන්විල ඇසළ පෙරහර

යුග පෙළහරක අසිරිය බෙල්ලන්විල ඇසළ පෙරහර

එක්දාස් නමසිය හතළිස් හයේ දෙසැම්බර් මස දහ අටවෙනිදා බෙල්ලන්විලට හිරු උදා වූයේ වෙනදාට වඩා වෙසෙසි බවක් සමගිනි. ඒ පුරා අවුරුදු දෙදහස් තුන්සියයකටත් අධික කාලයක් තිස්සේ නිරුපද්‍රිතව වැඩ හුන් බෙල්ලන්විල දෙතිස්ඵල බෝ සමිඳුන් විරාජමානව වැඩහිඳින බෙල්ලන්විල රාජමහා විහාරයේ නව අධිපතීන්වහන්සේ ලෙස මෙතෙක් අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරයේ වැඩ සිටි බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමියන්ගේ වැඩමවීම නිසාය. මෙ පින්වන්ත ආගමනය පන්සලට මතු නොව ගමටත් කීර්තියක් අත්වන ඓතිහාසික එකක් වනු ඇතැයි එදා කවුරුත් නොසිතන්නට ඇත. එහෙත් අද ලෝක ප්‍රසිද්ධ බෙල්ලන්විල රාජමහා විහාරය මේ තත්ත්වයට ඔසවා තැබු නියමුවාණෝ උන්වහන්සේය.

බෙල්ලන්විල විහාරය, රාජමහා විහාරයක් වුවත් එහි ශ්‍රී විභූතිය වල් වැදී තිබුණි. එය කල එළි කිරීමේ වගකීම පසුදා පටන්ම ඇරැඹූ සෝමරතන නාහිමියන්ට හතළිස් හතේ අවුරුද්දේ තවත් ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදුවිය. මඩ ගොවිතැන් සරුවට කෙරුණු සුන්දර බෙල්ලන්විල ගමේ නොසිතු ගව වසංගතයක් පැතිරෙන්නට විය. ගමේ ගව සම්පත ක්‍රමයෙන් අඩු විය. කුඹුරට කමතට හදවතින්ම පෙම් බැඳි සෝමරතන නාහිමියන්ට මෙය ඉහිලුම් නොදෙන්නක් විය. ගමේ මිනිසුන්ගේ දුක කාටත් කලින් දැනෙන්නේ ගමේ පන්සලටය. මේ ව්‍යසනයෙන් ගැලවෙනු පිණිස තිසරණ සරණත්, දෙවිරැකවරණත් ගමට ලැබුණොත් මේ උවදුර පිටුදැකීම එතරම් ලොකු දෙයක් නොවන බව සිතු සෝමරතන නාහිමියෝ ගැමියන් කැඳවා කරුණු පහදා කරඬුව ගමවටා වඩමවා ගමට සෙත් කරන පෙරහරක් කරමු. යි යෝජනා කළහ. යෝජනා ස්ථීර කළත් නොකළත් සිතු වැඩේ කිරීම නාහිමි සිරිත බැව් දන්නා ගැමියෝ එකහෙළා නාහිමියන් සමඟ සීරුවෙන් සිටගත්හ.

ඒ අනුව හතළිස් හතේ අවුරුද්ද දුරුතු මහ ගෙවෙන්නට ආසන්නයේ බෙල්ලන්විල ගමට ආසිරි පතා දුරුතු පෙරහර වීදි සරන්නට විය. අසිරියකි වසංගත දුරුවිය. කෙත්වතු සරු විය. මිනිසුන් සුඛිත විය. එහෙත් පෙරහර නැවතුණේ නැත. හතළිස් අට, හතළිස්, නමය අවුරුදු දෙකේත් දුරුතු පෙරහර පවත්වා පෙර පරිදිම ගමට ආශිර්වාද කළහ. එසේ ඇරැඹි බෙල්ලන්විල පෙරහර විවිධ හේතුන් නිසා දුරුතු මහෙන් ඇසළ මහට මාරු වෙන්නේ එක්දාස් නමසිය පනහේ අවුරුද්දේය.

ශ්‍රී සෝමරතන නාහිමියෝ කල් යත්ම පෙරහරට විවිධාංග එක් කළහ. සති පිරිතක් පවත්වා පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම ඉන් එකකි. ඇතැම් අවුරුදුවල සති තුන හතර එකදිගට පිරිත් පින්කම් පවත්වා ඇති අතර මහ පෙරහරට අලි ඇතුන් සියයකටත් අධික සංඛ්‍යාවක් සහභාගි කරවූ බැව් පැරැණි ගැමියෝ අදත් සිහි කරති. මෙලෙස මෙම පෙරහර හුදු පෙරහරක් නොවී ඇසළ පින්කම් මාලාවක් බවට පත් කරන්නට නාහිමියෝ ක්‍රියා කළහ.

ඇසළ මංගල්‍යය තිස් තුනකට නායකත්වය දුන් සෝමරතන නාහිමියන් ඒ වන විට පසුවූයේ රෝගී තත්ත්වයෙනි. එක්දාස් නමසිය අසූ හතරේ තිස් හතරවන ඇසළ පෙරහරටත් සියල්ල සූදානම් විය. ලෙඩ ඇඳේ හුන් නාහිමියෝද මේ සියල්ල බලා සතුටු විය. පෙරහර කරන්නට සති පිරිත් ආරම්භ වූහ. දවස දෙක ගතවිය. නාහිමි හදිසියේම රෝහල් ගත කෙරුණි. සති පිරිතේ හවස මහපිරිත අතරතුර බෙල්ලන්විල පන්සලට ලැබුණු පුවත වූයේ බෙල්ලන්විල යුග පුරුෂයාගේ නික්මයාම ගැනයි. පිරිත් නතර විය. තිස් හතර වන ඇසළ උළෙල ආදාහන උළෙලක් බවට පරිවර්තනය විය.

අසූ පහේ අවුරුද්දේ පටන් නාහිමියන්ගේ බර කරට ගත්තේ වර්තමාන විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් සහ විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් විසිනි. පෙර සිරිත් සියල්ල නොකඩවා කරමුයි. දෙදෙනා වහන්සේ තිර අදිටනක පසුවූහ. සිය ගුරුදේවයන්ගේ ඇසුරින් ලත් අත්දැකීමෙන් පෙහෙණි වූ උන්වහන්සේලා අද දක්වාම ඇසළ මංල්‍යයට නායකත්වය දෙති.

එනිනුදු විහාරාධිපති නා හිමියන් විදෙස්ගතව කරන ධර්මදූත මෙහෙවරෙහි කාර්ය බහුල්‍ය නිසා වර්තමානයේදි මේ සියලු කටයුතුවලට නායකත්වය දෙන්නේ අපේ ආචාර්යෝත්තම විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් වහන්සේය. ස්වකීය ආචාර්යයන් වහන්සේගේ පුරුද්ද පරිද්දෙන් මෙම ඇසළ පුණ්‍යෙීත්සවයේ අල්පෙනෙත්තක්ද දෙයහි පටන් ඇත් රජු දක්වා සියලු දේ සම්පාදනයට මෙන්ම මුල පටන් අගටත් අග පටන් මුලටත් පෙරහර පෙළගැස්ම සකසන්නටත් හුදු ස්මරණයෙන්ම ක්‍රියාත්මක වන්නට උන්වහන්සේට ඇත්තේ අපූර්ව හැකියාවකි. වෙනෙකකුට ඒ අහලටවත් ළං වන්නට බැරි තරම් ඒ හැකියාව විශ්මය උපදවයි. ඒ සියලු අත්දැකීම් උන්වහන්සේ ලද්දේ වසර ගණනාවක් පෙරහර තනිවම කර පුරුද්දෙනි.

එබදු හැකියාවක් ඇතත් වර්තමානය වන විට මෙහි වගකීම ඇසළ පෙරහර කොමිටියට පවරා උන්වහන්සේ ඒ සියල්ල මෙහෙයවති. ඇසළ පෙරහර කොමිටියේ සංවිධායකත්වයෙන් විහාරස්ථ දායක සභාව, තරුණ බෞද්ධ සංවිධානය, තරුණ බෞද්ධ සංසදය, ශ්‍රී බෝධිරාජ කුළගන සමිතිය හා දහම් පාසල, ආදි සංවිධානයන්හි සහයෝගයෙන් වර්තමානයේ මේ සියලු කාර්යයන් පෙළගැස්වෙයි. මේ සියල්ල මෙහෙයවීමේදී අපේ සහෝදර ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමියන්ගෙන් නාහිමියන්ට ලැබෙන සහාය අමිලය.

එක්දාස් නමසිය පනහේ පටන් අද දක්වාම වසර හැට හයක් පුරාවට ඒ මහා ඇසළ පෙරහර මංගල්‍යය පෙර සිරිත් නොකඩවා පවත්වාගෙන එනු ලබයි. මෙවර පැවැත්වෙන ඇසළ පූජෝත්සවය පෙළ ගැස්වී ඇත්තේ මෙපරිද්දෙනි.

අගෝස්තු මස 11,12,13 යන තෙදින මෙම ඇසළ මංගල්‍යයේ නිර්මාතෘවර බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමියන් අනුස්මරණය කරනු පිණිස තෙදිනක් පුරා ගුණසමරු ධර්ම දේශනා පින්කම් පැවැත්වීමෙන් ඇසළ උළෙලේ කටයුතු ආරම්භ වූ අතර අනතුරුව 14 වනදා රාත්‍රියෙහි පුරා සතියක් මුලුල්ලේ පැවැත්වෙන සති පිරිත් දේශනාව සඳහා පිරිත් පිරීම සිදුකරන අතර අද එම පිරිත් දේශනාවේ හතරවන දිනයයි. සතිය ගෙවී යන අගෝස්තු 20 වනදා දේවදූත පෙරහර පවත්වා ඉතා විසිතුරුව දොරකඩ අස්න සහ අනුශාසනා අස්න දේශනාව සිදුකොට පිරිත් පින්කම නිමා කරනුයේ සදේවක ලෝකයාට පින් පැමිණවීමෙනි. එදිනම සවස පෙරහරට අවැසි වළං, හට්ටි, මුට්ටි සම්පාදනය කරනු පිණිස අතීතයේ පටන් පැවැති කුඹල් පෙරහර පැවැත්වීමද සිදු කෙරේ.

අනතුරුව පෙරහර ඇරැඹෙන්නේ මල්පෙරහර හතරක් 21,22,23,24 යන දින හතර පුරාවට පැවැත්වීමෙනි. සාම්ප්‍රදායිකව තෙරුවන් වන්දනාව සඳහා මල් රැගත් පෙරහර විහාරස්ථ දායක මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම මල් පෙරහර පැවැත්වේ. ත්‍රිවිධ චෛත්‍ය සහ ප්‍රධාන විෂ්ණු දේවාලය තෙවරක් ප්‍රදක්ෂිනා කරමින් ගමන් ගන්නා පෙරහරින් අනතුරුව බුදුන් පුදා අවසන් වෙයි.

අගෝස්තු 25 වනදා වඩා වැදගත් පෙරහරකි. පසුගිය වසරේ පෙරහර මංගල්‍යයේ දියකැපීමෙන් පසු ගෙවැදි ඇතුල් මාලිගයේ වඩා හිඳුවන ලද සර්වඥ ධාතු කරඬුව මුල් වරට ඉන් පිටතට වඩමවනුයේ මෙදිනයි. අලි ඇතුන් සහිතව ගමන් ගත්තද ධාතු කරඬුව සැදැහැවතුන්ගේ හිස මතින් වැඩම කරමින් විහාරයේ නැගෙනහිර දොරටුවෙන් පිටත්ව දකුණු දොරටුවෙන් ගෙවදින මෙම පෙරහර පුරාවට දා කරඬුව වඩමවන්නේ පාවඩ පිටින් බැවින් මෙදින පෙරහර පාවඩ පෙරහර නමින් නම් කෙරී ඇත.

පසුදා හෙවත් අගෝස්තු 26 දිනයෙහි රාත්‍රියෙහි සියලු නර්තනාංගයන්ගෙන් සමන්විතව සතර දේවාලය ආභරණ සහිතව රන් සිවිලි පෙරහර ගම වටා වීදි සංචාරය කරයි. දෙහිවල මහරගම ප්‍රධාන මාර්ගයෙන් ගොස් සෝමරතන මාවතට පිවිස නැවත විහාර මාවතින් ගෙවදින මෙම පෙරහර එක් අතෙකින් පසුදා පැවැත්වෙන මහ පෙරහරට පෙරහුරුවකි.

අගෝස්තු 27 වන සෙනසුරාදා දිනය බෙල්ලන්විල ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් දිනයයි. සකලාංග සම්පූර්ණ පෙරහරක් වන රන්දෝලි මහ පෙරහර මෙදින රාත්‍රියේ වීදි සංචාරය කරනුයේ අති විශාල ජනතාවකට දැකබලා ආශිර්වාද ලබාගැනීමට ඉඩ හසර සළසමිනි. සධාතුක කරඬුව රැගත් නැදුන්ගමුවේ ඇත් රජුන් පෙරටුව මාලිගාවේ පෙරහර මෙන්ම, විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, යන සතර දේවාලයන්හි පෙරහර ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායය ත්‍රිත්වයෙහිම නර්තනාංගයන්ගෙන් සමන්විතව මෙම පෙරහර වීදි සංචාරය කරයි. පෙරදා ගමන් මග වෙනස් කරමින් තරමක් දීර්ඝ ගමන් මාර්ගයක ගමන් කරන මෙම මහ පෙරහර අලුයමට හෝරා කිහිපයක් ඉතුරුව තිබියදී ගෙවදියි.

පසුදිනය වෙන්වන්නේ සිරිත් පරිදි පෙරහරක අවසාන අංගය වන දියකැපීමේ මංගල්‍යයටයි. බොරලැස්ගමුව තොටුපලේදී දිය කපාගෙන සැන්දෑවේ පැමිණෙන පෙරහර පැමිණීමෙන් පසු සැදැහැවතුන්ගේ හිස මතින් සධාතුක කරඬුව වඩා හිඳුවා නැගෙනහිර දොරටුවෙන් පිටත්ව දකුණූ දොරටුවෙන් ගෙවදින්නේ පාවඩ මතිනි. හිරු බැසයන්නට පෙරාතුව පෙරහර ගෙවැදී ලබන වසරෙ පෙරහර කරන තුරු ඇතුල් මාලිගයේ සධාතුක කරඬුව වඩා හිඳුවන්නේ පංචතූර්ය මධ්‍යයේය.

එදින සැදෑව වෙන්වන්නේ පෙරහර කරන්නට උරදුන් සියල්ලන්ගේම වස්දොස් දුරුකරවන ගරායක් ශාන්ති කර්මය සහ දේව දානය වෙනුවෙනි.මේ දේව දානය අනුභව කිරීම සියලු දොස් දුරුවන බව ගැමි විශ්වාසයයි.අදටත් ගැබිණි මව්වරුන් ඒ සඳහා පෙළගැසී එන්නේ ඒ විශ්වාසය පෙරටුකොටගෙනය.