Print this Article


ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්ලය

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්ලය

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි චිරාගත සම්ප්‍රදායානුකූල නන් විධ පූජෝපහාරයන් පැරණි රජ දරුවන්ගෙන් ආරම්භ වී අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන ඒම ජාතියේ අභිවර්ධනයට හේතුවී ඇත. එකී නන් විධ පූජා විධි අතර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව සිදුකෙරෙන චිරාගත සම්ප්‍රදායික මංගල සම්මත ප්‍රධාන මංගලෝත්සව සතරකි.

1. වර්ෂයේ දුරුතු මාසයට යෙදෙන අලුත් සහල් මංගල්ලය

2. බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්ලය.

3. ඇසළ හෝ නිකිණි මාසයට යෙදෙන ඇසළ පෙරහර මංගල්ලය

4. ඉල් මාසයට යෙදෙන අලුත් සහල් මංගල්ලය යනු ඒ සතරයි.

දුරුතු පොහෝ දිනයට යෙදෙන අලුත් සහල් මංගල්ලය

ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ වාර්ෂිකව ඉටු කෙරෙන සතර මංගල්ලය අතුරෙන් ව්‍යවහාර වර්ෂ ක්‍රමයෙන් පළමු මාසය වූ ජනවාරි මාසයට යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහොය දිනයට නියමිතව ඇති අලුත් සහල් මංගල්‍යය වාර්ෂිකව පැවැත්වෙන උතුම් දළදා පූජා මංගල්ලයකි. අලුත් සහල් මංගල්ලය සඳහා අලුසාල් මංගල්ලය, අලුසල් මංගල්ලය, අලු සහල් මංගල්ලය වැනි වචන ද ව්‍යවහාරයෙහි පවතී.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා ශ්‍රී දළදා වහන්සේ කේන්ද්‍ර කොට ගොඩනැගී ඇති මෙම චාරිත්‍ර විධිය මෙරට කෘෂි ජන ජීවිතය හා බැඳුණු චාරිත්‍ර, පුද සිරිත් සංකලනය වී ගොඩනැගී ඇති බව පෙනේ. ශ්‍රී මහාබෝධීන්වහන්සේ ලක්දිවට වැඩම වූ තැනේ දී දේවානම් පියතිස්ස මහරජාණන් ස්වකීය රාජ්‍යය තුන්වරක්ම ශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙත ද, රාජ්‍ය වර්ෂ 310 වැන්නේ දී ශ්‍රී දළදා වහන්සේ වැඩමවීමෙන් අනතුරුව කිත්සිරිමෙවන් මහ රජු විසින් තුන් වරක්ම මුතු මැණික් ආදී මහාර්ඝ වස්තුවෙන් සපිරුණු මේ ලක් රජය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි ද පූජා කළ බව වංශ කතාවන්ගෙන් හෙළි වේ. එතැන් සිට මෙම මහ පොළොවේ සැබෑ අයිතිකරු බුදුරජාණන් වහන්සේ බවට විශ්වාසයක් බෞද්ධ සමාජය තුළ තහවුරු විය. ඒ නිසාම රටේ සෞභාග්‍යය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කොට සිය වාර්ෂික අස්වැන්නෙන් අග්‍රභාගය බුද්ධ පූජාවට හා දේව පූජාවට වෙන් කොට පිදීමේ සිරිත ඇරඹිණ. ගොවීහු ස්වකීය ගොවිතැන් කටයුතු ආරම්භයේදීම අස්වැන්නේ ප්‍රථමභාගය අලුත් සහල් මංගල්‍යයට පිදීමට භාර වෙති. ඒ අනුව දළදා වහන්සේ විෂයෙහි පැවැත්වෙන මෙම උතුම් චාරිත්‍රය ආරම්භ විය.

ලක්දිව විසූ ඒ ඒ රජදරුවන් ශ්‍රී දළදාවහන්සේ විෂයෙහි අලුත් සහල් මංගල්ලය පවත්වා පූජෝපහාර දැක්වීම සඳහා ඉඩකඩම් පමණක් නොව නිලකරුවන් ද පත් කොට පවරා දුන්හ. එසේ අතීතයේ දී දළදා මාලිගාවට වෙන්කොට පවරා දෙන ලද කුඹුරු ඉඩම්වල අස්වැන්න ගබඩා කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් හා ගම් මට්ටමින් අටු කොටු ද තැන් තැන්වල පිහිටුවා තැබූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදාවහන්සේ විෂයෙහි පූජා කළ කෙත් යාය හා ඉපැරණි අටුව, ගුරුදෙණියෙහි ස්ථාපනය පැවතිණ. එම කුඹුරු යායට වී අමුණු දහ අටක් පමණ වැපිරෙන භූමිභාගයක් අයත් විය. ගුරුදෙණිය කෙත් යාය සහ මහඅටුව මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කරන ලද සංවර්ධන ව්‍යාපෘති යටතේ ජලයෙන් යටවී ගිය අතර, ඒ වෙනුවට ඒ පෞරාණික අටුව පල්ලෙකැලේ භූමිභාගයෙහි දැනට සංරක්ෂණය කොට පිහිටුවා ඇත. ගුරුදෙණිය කුඹුරු යාය වෙනුවට රජයෙන් පවරා දුන් මහවැලි සී කලාපයෙහි පිහිටි යක්කුරේ කෙත් යායෙන් ලැබෙන වසරේ අස්වැන්නේ මුල් කොටස පල්ලෙකැලේ අටුවෙහි තැන්පත් කොට තිබීම සිරිතය. අලුත් සහල් මංගල්ලයට සුබ නැකතින් වී සහල් බෙදා දීම සිදු කෙරෙනුයේ පල්ලෙකැලේ භූමිභාගයේ මෙම පෞරාණික අටුව සංරක්ෂණය කොට ඇති පල්ලෙකැලේදීය.

වී සහල් බෙදා දිය යුතු ලැයිස්තු තුනක් ලේකම් මිටියට අඩංගුය. පළමු ලේඛනය ආරම්භ වනුයේ ශ්‍රී දළදා මාළිගාව නමිනි. පළමු ලැයිස්තුවට විහාර දේවාල 91 ක් ද, දෙවන ලැයිස්තුවට 10 ක් ද, තෙවන ලැයිස්තුවට මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම, අනුනායක හිමිපාණන් වහන්සේලා තුන් නම හා එම විහාර දෙක ද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රමුඛ රාජකාරී කරුවන්ට ද දේවාලවලට ද වී සහල් බෙදාදීම සිදුවේ. ශ්‍රී දළදා මාළිගාව සතර දේවාලය. මල්වතු අස්ගිරි උභය මහා විහාරය හා ගංගාරාමය යන සිද්ධස්ථානවලට අනෙකුත් විහාර දේවාලවලට වඩා වැඩි ප්‍රමාණයක් වී සහල් වෙන්වන අතර, නොපැමිණි විහාර දේවාලවල වී සහල් සියල්ල ද ශ්‍රී දළදා මාළිගාවට හිමිවේ.

අලුත් සහල් මංගල්ලයට නියමිත මූලික කටයුතු ඇරඹෙන්නේ ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ දියවඩන නිලමේතුමන්ගේ උපදෙස් අනුව සුබ නැකැත් මුහුර්තීන් යොදා නැකැත් මොහොට්ටාල විසින් නැකැත් පත්‍රයක් සම්පාදනය කිරීමෙන් අනතුරුවය. මෙම නැකැත් පත්‍රයෙහි මූලික වශයෙන් ශ්‍රී දන්තධාතු මන්දිරයේ සිට, ශ්‍රී දළදා මාලිගාව පෙරටු කොට සතර දේවාලයන්හි පෙරහර පල්ලේකැලේ අටුව කරා ගමන් කිරීම, දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් වී සහල් බෙදාදීම, පසු දා ගංගාරාම විහාරස්ථානයේ සිට පෙරහරින් ශ්‍රී දන්ත ධාතු මන්දිරය කරා විත් සුබ මුහුර්තියෙන් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ ගොක් කොළින් සරසා සැකසූ සුවිශේෂී ස්ථානයක වී සහල් ගබඩා කිරීම හා අවසාන වශයෙන් වර්ෂයේ දුරුතු මස පසළොස්වක පොහොය දිනට යෙදෙන සුබ නැකැත් මුහුර්තියෙන් ඒ අලුත් සහල් සේරු අසූවකින් ආහාර සම්පාදනය කරවා, ව්‍යාංජන තිස් දෙකක් හා කැවිලි පිළියෙල කරවා සුබ නැකැත් වේලාවට දෛනික මුළුතැන් බුද්ධ පූජාව සමඟ හාල් සේරු අසූවක දානය සූදානම් කර කිරිබඩ පාත්‍රය පිරෙන සේ දානය පිළියෙල කර දළදාවහන්සේ විෂයෙහි පූජා කිරීම සිදු වේ. බෙදාදුන් වී සහල් ඒ ඒ විහාරස්ථාන හා දේවාලයන්ට රැගෙන යන්නේ එකට නොව වෙන වෙනමය. තම තමන්ට ලැබුණු වී සහල් හේමකද මත තබාගෙන රැගෙන යාම සාමාන්‍ය සිරිතය.

දුරුතු පුර පසළොස්වක පෝයදිනට පෙර දින කාරියකරවන කෝරාළ විසින් විදානේවරුන් හා ආලත්ති අම්මාවරු ලවා අලුත් සහල් පිරිසුදු කොට තබා පෝයදින පෙරවරුවේ ලිප් බැඳ එය වටා කහ දියර ඉස අලුත්සහල් සේරු 80 කින් බුද්ධ පූජාව සූදානම් කරවනු ලැබේ. එම පූජාව සඳහා අවුල්පත් හා ව්‍යාංජන ද සූදානම් කර ගනිති. උඩමාලේ පිරිත් කොටුවෙන් ඇතුල් වූ විට පිවිසෙන හඳුන් කුඩම තුළ හාල් සේරු අසූවකින් පිසූ ආහාර පිරවිය හැකි විශාල කිරිබඩ පාත්‍රය තැන්පත් කොට තබා අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ද, තේවාවභාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් තේවාභාර ස්වාමීන්වහන්සේලා ද, දියවඩන නිලමේතුමා ඇතුළු නිලකරුවෝ ද මහත් ශ්‍රද්ධාවෙන් කිරිබඩ පාත්‍රය පිරෙන තෙක් දානය බෙදති. ව්‍යාංජන අවුල්පත් හා පලතුරු ආදිය පූජාසනය මත වෙනම තැන්පත් කිරීමෙන් අනතුරුව සියලු දාන වස්තු ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පූජා කරති. මෙම පූජාව කෙරෙනුයේ දිනපතා අමුතු මුළුතැන් බුද්ධ පූජාවට අමතරවය. සතර දේවාලය ඇතුළු අනෙකුත් විහාරස්ථාන හා දේවාලවල ද මෙකී වේලාවේදී අලුත් සහලින් පිසූ අහරින් බුද්ධ පූජා හා දේව පූජා සිදු කරති.

පෙර රජදරුවන් විසින් අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම මංගල සම්මත අලුත්සහල් මංගල්ලය කෘෂිකර්මය ජීවන වෘත්තිය කරගත් පැරණි ජන සමාජයේ සංස්කෘතිය සමඟ බැඳීවිත්, ලක්දිවට බුදුදහම වැඩම වීමත් සමඟ වඩාත් වර්ධනය වී කලට වැසි ලැබී, අස්වැන්න නිසි පරිදි ලැබී රටට, දැයට, දහමට සමෘද්ධිය සෞභාග්‍යය ලබාගනු වස් චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රමය පූජා විධි ක්‍රමයක් ලෙස අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන ඒම, කාගේත් පහන් සංවේගයට හේතු වෙනවා ඇත.

අලුත් අවුරුදු මංගල්ලය

ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතිකාදී සෑම අංශයකින්ම වැදගත්වන බක් මාසය හැඳින්වෙන්නේ භාග්‍යවත් මාසයක් ලෙසය. එය අටුකොටු පිරී සශ්‍රීකත්වය හා සෞභාග්‍යය වර්ධනය වන මාසයකි. මුළු ජාතියම එකම සුබ මොහොතින් වැඩ අරඹන, ආහාර අනුභව කරන, ගනුදෙනු කරන නෑදෑ හිතමිතුරුකම් වඩවන, අලුත් අවුරුදු දිනය උදාවනුයේ ද බක් මාසයේ දී ය. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සිදුවෙතැයි සැලකෙන අලුත් අවුරුදු දිනය ජීවන පැවැත්මෙහිලා සූර්යයා මුල්කොට සලකන සෑම ජාතියක් විසින්ම වැදගත් කොට සලකනු ලබයි.

තම රටේ සෑම ජාතික, සාමාජික, සංස්කෘතික උත්සවයක්ම පාහේ ආගමික උත්සවයක් ද වශයෙන් සළකා කටයුතු කිරීම බෞද්ධයන්ගේ සිරිතය. දුරාතීතයේ පටන් මානව සමාජය තුළ පවතින සිරිත් විරිත් විශ්වාසය හෙළා නොදුටු බුදුදහම තුළ බොහෝ ජාතික, සාමාජික, සංස්කෘතික හරයන් බෞද්ධ සිරිත් තුළින් ද ඉස්මතු කොට දැක්වේ. ඒ අනුව කෘෂිකාර්මික ජීවන ක්‍රමය හා බැඳී අනාදිමත් කාලයක් තිස්සේ වර්ධනය වෙමින්, සුරක්ෂිත වෙමින්, පැවත එන අලුත් අවුරුදු චාරිත්‍ර බොහොමයක් ශ්‍රී දළදා මාලිගාව තුළ දාඨා ධාතූන් වහන්සේ කේන්ද්‍ර කොට චිරාගත සම්ප්‍රදායික චාරිත්‍ර වශයෙන් අඛණ්ඩව රාජරාජ මහාමාත්‍යාදීන් විසින් පවත්වා ගෙනැවිත් ඇත. මෙසේ අලුත් අවුරුදු දිනය මුල්කොට පැවැත්වෙන අලුත් අවුරුදු මංගල්ලය ශ්‍රී දළදා මාලිගාවේවාර්ෂික සතර මංගල්ලයන්ගෙන් එක් මංගල සම්මත මංගල්ලයකි.

මෙම ලිපියෙහි ඉතිරි කොටස නිකිණි අව අටවක පෝදා (අගෝස්තු 25 වනදා) පත්‍රයේ පළ වේ.