Print this Article


පසුවස් එළැඹෙන පින්බර නිකිණි පුර පසළොස්වක

පසුවස් එළැඹෙන පින්බර නිකිණි පුර පසළොස්වක

ශාසනික ප්‍රතිපදාවන්ට අනුව භික්ෂූන් වහන්සේට වස් එළඹීම සඳහා දින දෙකක් නියමව පවතී. එම දින දෙක පෙරවස සහ පසුවස යනුවෙන් හඳුන්වනු ලැබේ. පසුගිය ඇසළ පුර පසළොස්වක පොහෝදා පොහොය කොට ඇසළ අව පෑලවියදා පෙරවස් එළඹුණහ. එසේ පෙරවස් නො එළඹුණු භික්ෂූන් වහන්සේ නිකිණි පුර පසළොස්වක පොහොයදා පොහොය කොට නිකිණි අව පෑළවිය දා පසුවස් එළඹෙනු ලැබේ.

වසරේ එළඹෙන සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම බුදු සිරිත ප්‍රධාන ශාසනික හා ආගමික වටිනාකමින් යුත් ඓතිහාසික දිනයන් වීම සුවිශේෂී කරුණකි.

ශක්‍ර දෙවියන් පවා මනුෂ්‍යයන් පින් දහම් කරන අයුරු දැක ගන්නට පොහොය දිනයන්හි මිනිස් ලොවට පැමිණෙන අයුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. පොහොය දිනය දා ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන්ට එක් දිනයෙක එක් වේලාවක විහාරස්ථානයට පැමිණ තෙරුවන් වැඳ පුදා ගැනීමේ පහසුව සැලසී ඇත. කාලසටහනකට අනුව කටයුතු කිරීමට ලොව පළමුවරට ඉගැන්වීම කළ උත්තමයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේය.

සම්බුදු සසුනේ ආරක්ෂාවට මෙන්ම ගුණ දහම් වර්ධනයටත් භික්ෂූන් වහන්සේ සහ ගිහි සමාජය අතර අන්‍යෝන්‍ය සුහදතාවයක් පැවැතිය යුතුවේ. වෙසෙසින් වස්සාන සමය ගිහි පැවිදි උභය සමාජයේම ආධ්‍යාත්මික සුවය වර්ධනය වන කාලයකි. අපේ රටේ බොහෝ වෙහෙර විහාරස්ථානවල සැදැහැති දායක කාරකාදීන් උපසපන් භික්ෂූන් වහන්සේ වෙත දැහැත් සහිත වැසි සළු පිළිගන්වා වස් ආරාධනාව ගෞරවයෙන් සිදු කර වස් තෙමස පුරා උන්වහන්සේලා වෙත සිව්පසයෙන් උපස්ථාන කරන අයුරු අපේ රටේ සෑම විහාරස්ථානයම සුලභව දක්නට ලැබෙන පින්කම් මාලාවකි. සැදැහැති දායකකාරකාදීන්ගේ දායකත්වයෙන් මූලිකත්වයෙන් වස් තෙමස පුරා අලංකාර පින්කම් සංවිධානය කරනු ලැබේ. ඒ අතර ඇතැම් විට දිනපතා මල් පහන් ගිලන්පස බුද්ධ වන්දනා සහ බෝධි වන්දනා පින්කම් මෙන්ම සතර පොහෝ දිනයන්හි විශේෂ ධර්ම දේශනා, භාවනා ආදි පින්කම් සහ දිනපතා සෙත්පිරිත් දේශනාද පවත්වනු ලැබේ. එසේ සූදානම් වනුයේ වස්සානය අවසානයේදී චීවර මාසයේදී වටිනා පින්කමක් සිදු කිරීමේ අපේක්ෂාවද අරමුණු කරගෙනය.

අතීතයේ දී ගිහියකු අභිනවයෙන් නිවසක් තනා ගැනීමෙන් පසු වෙසෙසින් එම නව නිවසෙහි භික්ෂූන් වහන්සේ වස් වසවා ගෙන සිව්පසයෙන් උන්වහන්සේලා වෙත උපස්ථාන කිරීමේ සිරිතක් පැවැතිණි. ඒ නව නිවස පළමුව තෙරුවන් උදෙසා පරිභෝග කරවා ගැනීමේ අරමුණින් කළ මහ පින්කමක් විය. අද පවා එම උදාර පෞරාණික චාරිත්‍රය ඉටු කරන අවස්ථා ගම්බද මෙන්ම නගරබදද කලාතුරකින් හෝ දක්නට ලැබෙන බව සඳහන් කළ යුතුවේ.

ඇතැම් විට විහාරස්ථානයේ නේවාසික භික්ෂූන් වහන්සේට අමතරව පළාතේ ධර්ම විනයධර සම්භාවනීය ස්වාමීන් වහන්සේ නමක් විහාරස්ථානයට වැඩම කරවා ගෙන වස් ආරාධනාව සිදු කර වස්සාන සමයේදි විශේෂ පින්කම් සිදු කර ගැනීමේ චාරිත්‍රය ද අද පවා දක්නට ලැබේ.

දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන්ද ශ්‍රී ලාංකික ජනතාව වාසය කරන විදේශයන්හිද ඒ ඒ විහාරාරාමයන්හිදී මෙරටෙන් භික්ෂුන් වහන්සේ වැඩම කරවා ගනිමින් වස් වසවා ගෙන එම පෞරාණික බුද්ධ නියමය ඉටු කරන අවස්ථා විදේශයන්හි පවා දක්නට ලැබෙන්නකි.

සතර පේරුවේ දායක පින්වතුන් ඒකරාශිවී ඇතැම් විට පසළොස්වක,අව අටවක, අමාවක සහ පුරඅටවක යන සතර පොහෝ දිනයන්හි විශේෂ මල් පෙරහර ආදිය පවා පවත්වමින් වස් කාලය පුණ්‍ය කාලයක් ලෙස කටයුතු කරන අයුරු දක්නට ලැබේ.

විහාරස්ථානයක නව විහාරාංග ඉදිකරවන සුවිශේෂ කාලයක් ලෙසද වස් කාලය සඳහන් කළ හැකිය. මේ අයුරෙන් බලන විට පින්දහම්හි නියැලී ගුණ දහම් වර්ධනය කර ගන්නා සුවිශේෂී කාලයක් ලෙස වස්සාන සමය අනුස්මරණය කරන කාලයකි.

ශාසනික ප්‍රතිපදාවන්ට අනුව භික්ෂූන් වහන්සේට වස් එළඹීම සඳහා දින දෙකක් නියමව පවතී. එම දින දෙක පෙරවස සහ පසුවස යනුවෙන් හඳුන්වනු ලැබේ.

පසුගිය ඇසළ පුර පසළොස්වක පොහෝදා පොහොය කොට ඇසළ අව පෑලවියදා පෙරවස් එළඹුණහ. එසේ පෙරවස් නො එළඹුණු භික්ෂූන් වහන්සේ නිකිණි පුර පසළොස්වක පොහොයදා පොහොය කොට නිකිණි අව පෑළවිය දා පසුවස් එළඹෙනු ලැබේ. වස් එළඹීමේදී ප්‍රධාන වශයෙන් සිදු කෙරෙනුයේ පෙරවස් එළඹීමය. පසුවස් එළඹිය යුත්තේ කවර අයුරකින් හෝ පෙරවස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේ විසිනි.

පෙරවස් වැස මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්ෂූන් වහන්සේට පමණක් කඨින චීවර පිළිගැනීමේ අයිතිය පවතී. මෙම වසරේ නිකිණි පුර පසළොස්වක පොහොය යෙදී ඇත්තේ පසුවස් එළඹෙන දිනය වශයෙනි.

ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් වන නිකිණි පුර පසළොස්වක පොහොයදා ආගමික වශයෙන් ගිහි පැවිදි සබඳතාවය වර්ධනය කරනු පිණිස ආගමික කටයුතුවල නිරතවීම උභය සමාජයේම යුතුකම වේ.

දඹදිව රජගහනුවර වේහාර පර්වතයෙහි සප්ත පර්ණි ගුහාද්වාරයේදි මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පළමු ධර්ම සංගායනාව නිකිණි අව පෑළවියදා අරඹා සත්මසක් මුළුල්ලෙහි පවත්වන ලද බව ශාසන වංශකථාවෙහි සඳහන් වේ.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් පළමු ධර්ම සංඝායනාව සඳහා හාරසිය අනූනවයක් මහ රහතන් වහන්සේ තෝරා ගත්හ. ඉතිරි අසුන වෙන් කරන ලද්දේ ආනන්ද හිමියන්ටය.නිකිණි පුන් පොහෝදා අලුයම ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වූහ.

සෙංකඩගල පුර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර, මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහරද මෙම නිකිණි පෝදා පැවැත්වේ.

නිකිණි පුරපසළොස්වක පොහොය දවසෙහි යෙදී ඇති අනුස්මරණීය සිද්ධින් සිහියට නගා ගනිමින් ආධ්‍යාත්මික සුවය සඳහා ගත සිත යොමු කළ යුතු උතුම් දිනයක් ලෙස කල්පනා කළ යුතුවේ. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන්හි පිහිට බලය, ශක්තිය අනන්තය. අප්‍රමාණය, බෞද්ධයාට එම පිහිට සසර ගමන පුරා අත්‍යාවශ්‍යය. තෙරුවනට නැඹුරුව කටයුතු කිරීම බෞද්ධයා සතු වගකීම වන බවද සිහිපත් කරනු කැමැත්තෙමි.