Print this Article


සසුනට එක්වී වසර එක හමාරකට පසු පිය, පුතු, මව, දියණිය එකට හමුවෙති

සසුනට එක්වී වසර එක හමාරකට පසු පිය, පුතු, මව, දියණිය එකට හමුවෙති

අනන්ත කාලයක් පුරා ඇවිදින සසර ගමනේ ඉතා සුළුකලකට නවාතැන් ගැනීමට මිනිස් ලොවට තාවකාලිකව පැමිණියාක් මෙනි. නිවන් දක්නා තුරා ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සසර පුරා ‘මමය, ‘මාගේ’ය යන හැඟීම නිසා භව ගමන පුරා ඇලී ගැලී සිටිති. සසර දුක තරණයට අදිටනින් ක්‍රියා කරන අපමණ පිරිස් උත්සාහ කරන බවද අමතක නොකළ යුතුය.

ගිහි ගෙය හැර දමා කසාවත පොරවා රුදුරු සසරේ දුක නිවන්නට කරන උත්සාහය කෙතරම් නම් අගනේද?

තම කුසින් බිහිකළ දරුවෙකු හෝ ලේ ඥාතියෙකු ශාසනයට භාර කිරීම ඇතුළු කිරීම හතර වරිගයම නිවන් දකිනවා මෙන්ම සනුහරයම ශාසනයේ උරුමක්කරුවන් වන බව බෞද්ධ අපගේ පිළිගැනීම වේ. පිළිමතලාව අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති එකම පවුලේ පියා , මව, පුතා සහ දුව ඇතුළු තවත් ළඟම ඥාතීන් සිව් දෙනෙකු ද පැවිදි දිවියට එළඹ, නෙළුම්දෙණිය ගෝතම විහාරස්ථානයේ පැවැති උපසම්පදා උත්සවයකට සහභාගි වීම සඳහා වැඩම කොට ඇති බවට තොරතුරු සැලවිණි. වසර ගණනාවකට පසුව හමුවු එම සඟරුවනද සිල්මාතාවෝද ශාසනයට එක්ව ඉටුකරන මහඟු සේවාව ගෞරවනීය වන්නේය.

එම පවුලේ පියා සහ පුතු 2003 වසරේ අගෝස්තු මස 08 වැනි දින නෙළුම්දෙණිය ගෝතම විහාරාධිපතිව වැඩ විසූ ගලතර පඤ්ඤානන්ද හිමියන් ගුරුකොට අති උතුම් පැවිදි දිවියට එළඹ ඇත්තේ වලල්ගොඩ චන්දරතන හා අස්වැද්දුමේ කමලශීල නමිනි. ඉන් තෙවසරකට පසු එම පවුලේ දියණිය අස්වැද්දුමේ සුදේශිකා නමින් දසසිල් ලැබුවාය. අස්වැද්දුමේ සුවිනීතා නමින් මව දසසිල් ලබා ඇත්තේ 2007 නොවැම්බර් මස 11 වැනි දායි.

වලල්ගොඩ චන්දරතන හිමියන් මේ වන විට වැඩ වාසය කරන්නේ කළුතර උග්ගල්බඩ ඉසිපතනාරාම ආරණ්‍ය සේනාසනයේය. පුතු කමලශීල හිමියෝ නෙළුම්දෙණිය ගෝතම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ය. දියණිය සුදේශිකා සිල්මාතාව රත්නපුර සමගිපුර ඉසිපතනාරාම භාවනා මධ්‍යස්ථානයේ අධිපති ලෙස කටයුතු කරයි. මව සුවිනීතා සිල්මෑණියෝ පරණපට්ටිය ඉසිපතනාරාම විහාරස්ථානයේ වැඩ හිඳිති.

වලල්ගොඩ චන්දරතන හිමියන්ගේ සහෝදරියන් දෙදෙනෙකුද වැඩිමහලු සහෝදරියගේ සැමියාද වැඩිමහලු සහෝදරයාගේ දියණියද සසුන්ගතව සිටින අතර කසාවත දරමින් නිවන් මග යන මේ පවුලේ සාමාජිකයන්ගේ එකට හමුවීම ගිහියන්ට විශේෂත්වයක් වුවද සියලු බැඳීම් අතහැර පැවිදි මග යන ඔවුන්ට නම් විශේෂත්වයක් නොවූහ.