Print this Article


ඇසළ සඳේ වස් එළඹීම

ඇසළ ස‍ෙඳ් වස් එළඹීම

"වස් කාලය වස් වැසූ භික්ෂූන්ට විශේෂයි. තමාගේ ශක්ති ප්‍රමාණයෙන් බණ භාවනාදියෙහි යෙදිය යුතුමය. මහණ දහම් පිරීමෙහි උත්සාහවත්වීම වැදගත්ය. සිල්වත්, ගුණවත්, යම් භික්ෂුවක් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කරමින් වාසය කරන්නේ නම් ඒ ගමේ ජනතාවද තුන් තැනකින් බොහෝ පින් රැස් කරගන්නා බව අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වේ. එම තුන් ස්ථානය නම් කය, වචනය, සිත යනුයි."

මෙම ලිපියෙහි පළමු කොටස ඇසළ අව අටවක පෝදා ( ජූලි 26 වන දා) පත්‍රයේ පළවිය.

වස් විසූ භික්ෂුවට සත්තාහ කරණයෙන් බැහැර යා හැකි අවස්ථා රැසක් මහාවග්ග පාලියේ වස් සුපනායිකක්ධන්දකයෙහි දක්වා ඇත.

ඒවානම්,

විහාරයක් සඟ සතු කර පූජා

කිරීමේ අවස්ථාව, ධර්ම ශ්‍රවණය

සඳහා,ගොදුරු ගමේ ගෘහයන්හි දන්දෙන අවස්ථාව, භික්ෂුවකගේ

පණිවිඩයකට, භික්ෂුණියකගේ

පණිවිඩයකට, සික්ෂා මානවකගේ පණිවිඩයකට, සාමණේර නමකගේ පණිවිඩයකට, සාමණේරියකගේ පණිවිඩයකට , උපාසකයෙකුගේ පණිවිඩයකට, උපාසිකාවකගේ පණිවිඩයකට, පණිවිඩයක් ඇතත් නැතත් භික්ෂුව, භික්ෂුණිය, සාමණේර, සාමණේරී, සිකව මානවක යන අයගේ ගිලන්වීම, කළකිරීම වැනි ගැටලු අවස්ථාවකදී වස් විසූ තැනින් සත්තාහ කරණයෙන් බැහැර යා හැකිය. වරදක් නැත. එසේම ඉහත සඳහන් අයගේ මවගේ, පියාගේ, සහෝදරයාගේ, සහෝදරියගේ, නෑදෑයාගේ යම් අවශ්‍යතාවයක් සඳහා සත්තාහ කරණයෙන් පිටව යාම වරදක් නොවේ.

වස් සමාදන්වීමේ වාක්‍යය

වස් එළඹෙන භික්ෂූන් වහන්සේ ඇවැත් දෙසා පිරිසුදුව පෝය කර්ම සිදුකොට විහාරය පිරිසුදු කොට වළඳන හා ප්‍රයෝජනයට ගන්න පැන් පිළියෙළ කොට තබා තෙරුවන් වැඳ නිමා කටයුතුය. ඉන් අනතුරුව සඟමහලු පිළිවෙලින් උක්කුටිකයෙන් හිඳ තෙවරක් නමස්කාර පාඨය කියා

‘ඉමස්මිං විහාරෙ ඉමං තේමාසං වස්සං උපෙමි

ඉධ වස්සං උපෙමි යන වාක්‍ය එක වරක් හෝ තෙවරක් කියා වස් වැසිය යුතුය. මෙසේ වචනයෙන් නොකියා සිතින් සිතුවද ප්‍රමාණවත්ය. එසේ සිතා වස් සමාදන් වූ භික්ෂුවට වස් පවාරණය කිරීමේ අයිතිය ඇත.

වස් කාලය වස් වැසූ භික්ෂූන්ට විශේෂයි. තමාගේ ශක්ති ප්‍රමාණයෙන් බණ භාවනාදියෙහි යෙදිය යුතුමය. මහණ දහම් පිරීමෙහි උත්සාහවත්වීම වැදගත්ය. මේ කාල පරිච්ඡේදය අප්පිච්ඡ කතා, සන්තුට්ඨි කතා, පවිවිත්ත කථා යනාදි දසකතා පවත්වමින් උද්ධුමාතක විනීලක, විපුබ්බක ආදී දස අශුභ සංඥා වඩමින්, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, යනාදි දස අනුස්සති සිහි කරමින් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී සප්ත විසුද්ධි වැඩීමට උනන්දුවිය යුතු ය. මේ කාලය ඇතුළත ඔවුනොවුන්ට විරුද්ධවාද කතා, අනුන්ට නින්දා ගෙන දෙන කතා, ඔවුනොවුන්ගේ ඇද පළඳු, උස් පහත් කම් පිළිබඳ කතා, අනුන්ට ලැබෙන ලාභ, කීර්ති, ප්‍රසංසා වළකන කතා, බොරු, පරුෂ, හිස්, කේළාම් වැනි වචන භාවිතයෙන් වැළකිය යුතු ය.

දිනපතා සිල් නැවත මතක් කර ගනිමින් බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය නිතර නිතර ප්‍රගුණ කළමනාය.

මේ අතරතුර ආරාමික වත්, වච්චකුටිවත්, ගිලන්වත් දැහැටි පිළිබඳ වත්, පිණ්ඩපාතය පිළිබඳ වත් නොපිරිහෙලා ඉටු කරලීමට වගබලාගතයුතුය. දායකකාරකාදීන් සමඟ ධර්ම කතාවක්ම කිරීම කාලෝචිතය.

වස් විසීම ගිහි පැවිදි දෙපාර්ශ්වයටම අර්ථවත් බව

සැවැත්නුවර විසූ මහාපාල නම් තරුණයා සසර කළකිරී පැවිදිව බුදුපියාණන්ගෙන් කමටහන්ගෙන සැටනමක් භික්ෂූන් සමඟ පිටිසර ගමකට පිවිසුණි. එම ගම් වැසියෝ උන්වහන්සේලා දැක අසුන් පනවා සුව දුක් විචාළහ. වැඩම වන්නේ කොහිදැයි ප්‍රශ්න කළහ. පහසු තැනකට වඩිනබව දැන්වූ විට බුද්ධිමත් ඒ ජනතාව වස් වැසීමට ස්ථානයක් සොයන බව දැන වස් වැසීමට ආරාධනා කළහ. උන්වහන්සේලා ඒ ආරාධනාව පිළිගත්හ. දායකයෝ ඉතා මැනවින් උපස්ථාන කළහ. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ඉගෙන පැමිණි නිසාත් දායක අයගේ නොමඳ සහයෝගය නිසාත් වඩ වඩාත් උද්යෝගිමත් වූහ. භාවනා වැඩූහ. එම අප්‍රමාදය හේතුකොටගෙන උන්වහන්සේලා සියලු දෙනා වහන්සේම වස් කාලය තුළම ලෝකෝත්තර තත්ත්වයට පත්වූහ. එගම්වැසි දායකයයෝ ද උන්වහන්සේලාට වැඳ පුදා උපස්ථාන කොට දන් දී බණ අසා ලොව්තුරු සැප අත්කරගත්හ. ඉහත සඳහන් කතාවෙන් පැහැදිලි වන්නේ වස් විසීමත් ඒ සඳහා සෙනසුන් සපයා උපස්ථාන කිරීමත් නිසා භික්ෂු, දායක යන උභය පක්ෂයම නිවන් පසක් කළ බවයි.

සිල්වත්, ගුණවත්, යම් භික්ෂුවක් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කරමින් වාසය කරන්නේ නම් ඒ ගමේ ජනතාවද තුන් තැනකින් බොහෝ පින් රැස් කරගන්නා බව අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වේ. එම තුන් ස්ථානය නම් කය, වචනය, සිත යනුයි. වස් වැසීමට ස්ථානයක් සොයමින් වැඩමකළ පසේ බුදුවරු පස්නමකට සේනා ස්ථාන සපයාදීමෙන් මහත් කුසල් සම්භාරයක් රැස්කරගත් කම්කරු පිරිසක් ගැන ධර්මයෙහි සඳහන් වේ. ධර්මාවබෝධය පිණිසත් ශ්‍රද්ධාව වර්ධනය වීම පිණිසත් ඒ කතා පුවතද මෙහි කෙටියෙන් නමුත් සඳහන් කිරීම උචිතයයි සිතමි.

වස් සමයක පසේ බුදුවරු පස් නමක් නන්ද මුලක ලෙනින් ඉසිපතනාරාමයට වැඩ පිණ්ඩපාතය නිමවා සවස් භාගයෙහි එනුවර සිටුතුමාගේ නිවසට වැඩියහ. ඒ අවස්ථාවේ සිටුතුමා නිවසින් බැහැරව සිටි නිසා සිටු දේවිය භික්ෂූන් වහන්සේලාගේ වැඩමවීම පිළිබඳව තොරතුරු විමසීය. වස් වැසීමට සෙනසුනක් පිළියෙල කරවා ගැනීමට පැමිණි බව පැවසූහ. එහිදී ඇය අපට වෙනත් වැඩ ඇති හෙයින් ආපසු වඩින ලෙස ආරාධනා කළා ය. උන්වහන්සේ විගසින් වඩිනු දුටු ඒ ප්‍රදේශයේ සිටි කම්කරු නායිකාව ඉදිරියට පැමිණ විගසින් වැඩම කරවන හේතුව විමසීය. ඒ අවස්ථාවේ සිදුවූ සිද්ධිය පසේ බුදුවරයන් වහන්සේලා ඇයට විස්තර කළහ. මේ කුටිය පොහොසත් අය විසින්ම කළ යුතු දැයි ඇය නැවතත් උන්වහන්සේලාගෙන් ප්‍රශ්න කළාය. උපාසිකාවනි, එයට නියමයක් නැතැයි පිළිතුරු දුන්හ. එසේනම් හිමියනි, අපි එම පුණ්‍ය කර්මය කිරීමට බාර ගන්නෙමු. හෙට දානයට අපගේ නිවසට වැඩම වන්නැයි ආරාධනා කළා ය. ඉන් අනතුරුව ඇය ළිඳ ළඟට වතුර ගෙන ඒම සඳහා පැමිණෙන සියලු කාන්තාවන්ට ආමන්ත්‍රණය කළාය. මෑණිවරුනි, ඔබලා මෙසේ සැමදා දාසකම් කරමින් ජීවත් වන්නේ ද? නැතිනම් එයින් මිදීමට කැමැත්තෝදැයි විමසීය. දාස කමින් මිදීමට කැමති බව ඒ සියලු දෙනාට එක හඬින් කියා සිටියහ. එසේ නම් වස් විසීමට සෙනසුනක් සොයන පසේ බුදුවරු පස්නමකට ආරාමයක් කරදීමට මම පොරොන්දු වුවෙමි.

උන්වහන්සේලා හෙටදින දවල් දානය සඳහා අපගේ නිවසට වඩිති. ඔබලත් නිවෙස්වලට ගොස් තම තමන්ගේ ස්වාමි පුත්‍රයන් දැනුවත් කර ඒ සඳහා දායක වන ලෙස දන්වා සිටියාය. පසුදා පහන්විය. කම්කරුවෝද ඔවුන්ගේ බිරින්දෑවරුද කම්කරු නායිකාවගේ නිවසට රැස්වූහ. දන් පිළිගැන්වූහ. නායිකාවගේ දැන්වීමෙන් සියල්ලෝම එකතුව කුටි සෑදීමට උනන්දු වූහ. සියය, සියය කණ්ඩායම්වලට බෙදී කුටි පහක් ඉදි කළහ. වස් වැසීමට පසේ බුදුවරුනට ආරාධනා කළහ. සෑම නිවසකින්ම දිනපතා දන් පිළිගැන්වීමට පොරොන්දුවූහ. එක නිවසකින් හෝ දිනක දන් දීමට අපොහොසත් වූ ඒ දිනය සම්පූර්ණ කිරීමට කම්කරු නායිකාව ඉදිරිපත් විය.වස් තෙමසම ඉතා කාරුණිකව උන්වහන්සේලාට දායක පින්වත්හු උපස්ථාන කළහ.

චීවර මස කම්කරු නායිකාව සැම නිවසකින්ම එක වස්ත්‍රය බැගින් ගෙන ඒමට නියම කළහ. ඒවා එකතු වූ කල්හි පන්සීයකි. ඒවා රදු බැවින්ද, ගොරෝසු බැවින්ද යුක්ත නිසා ඒ සියල්ල එකතු කොට නැවත සකස් කර සිනිඳු සිවුරු පහක් නිමවා පූජා කළහ. ඒවා පිළිගත් පසේ බුදුවරු ඒ අයට පින් දී, තමන් කැමති ස්ථානවලට වැඩම කළහ.

මේ කළ පින්කමේ අනුහසින් මේ සියලු දෙනා දිව්‍ය සැප, මිනිස් සැප විඳ ගෞතම බුද්ධ ශාසනයෙහි මිනිසත්බව ලැබ බුදුන්ගෙන් බණ අසා රහත්ව නිවන් අවබෝධ කළහ. මේ කතා පුවතින් ප්‍රකට වන්නේ වස් වැසීමට සෙනසුන් පූජා කිරීම හා වස්ත්‍ර පූජා කිරීම දුෂ්කර ජීවිකා වෘත්තීන්ගෙන් නිදහස්ව දිව්‍ය සැප මිනිස් සැප ලැබ නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට උපකාර වන බවයි.

වස් වැසීමට සෙනසුන් සපයා සිව්පසයෙන් උපස්ථාන කර වස් වසවා ගත් භික්ෂූන්ගෙන්ම කමටහන් ගෙන වස් කාලය ඇතුළත දීම භික්ෂූන් වහන්සේලාට පෙර දායිකාව මාර්ගඵල අවබෝධ කරගත් කතා පුවතක්ද ධර්ම කරුණු අතර වේ. එයද කෙටියෙන් නමුත් මෙහි සඳහන් කිරීම වටී. ඇය නමින් “මාතිකමාතා” විය. කොසොල් රට වාසය කළාය. ඇය කොසොල් රට මාති ගම මාතික උපාසකගේ මෑණියෝ වූහ. ඇය භික්ෂූන් වහන්සේලා සැට නමක් වස් සමයක ඇගේ ප්‍රදේශයෙහි වස් වසවා ගත්හ. ඇයද සිල් සමාදන් වූවාය. වස් වැසීමට සෙනසුනද පිළියෙළ කර දුන්නාය. දිනක් ඇය භික්ෂූන් වහන්සේලා වඩන භාවනාව විමසීය. එවිට උන්වහන්සේලා දෙතිස් කුණුප මුල්කොට භාවනා වඩන බව පැවසූහ. එය අපට වැඩිය නොහැකිදැයි උපාසිකාව ප්‍රශ්න කළාය. දුක්නැති කරගනු පිණිස කාට වුවද එය වැඩිය හැකි බව භික්ෂූහු පෙන්වා දුන්හ. ඒ අනුව ඇයද ද්වතිංසාකාර භාවනාව ඉගෙන බවුන් වඩා භික්ෂූන්ට පෙර අනාගාමි ඵලයට පැමිණියාය. අභිඥාද ලැබීය. පසුව තමන්ගේ භික්ෂූන් වහන්සේලා මේ ගුණයට පත්ව ඇත්ද නැද්ද පැමිණෙන්නේ කවදාදැයි සොයා බැලීය. මෙතෙක් උන්වහන්සේලා මගඵලවලට පත්ව නැත. හේතු විමසා බැලීය. උන්වහන්සේලාට ලැබෙන දානයෙහි අඩුපාඩු දැක ඒ සියල්ල වහා ඇය විසඳීය. ඉන් අනතුරුව භික්ෂුහු සතුටට පත්ව මේ උපාසිකාව මැරෙන්න ළං වූ ගසකට පැන් වත්කර නැවත ජීවය දුන්නාසේ අප සුවපත් කළේ යැයි සිත වහ වහා භාවනාවට යොමුවූහ. එකඟසිත් ඇති වූ උන්වහන්සේලා විදසුන් වඩා රහත්ඵලයට පත්වූහ. වස් පවාරණයෙන් පසු භික්ෂූන් වහන්සේලා මේ පුවත බුදුරජාණන් වහන්සේට සැළකළහ. බුදුපියාණෝ ද එය සතුටින් අනුමෝදන් වූහ.