Print this Article


මහනුවර ඇසළ පෙරහර කප් සිටුවීම 3 වන දා

මහනුවර ඇසළ පෙරහර කප් සිටුවීම 3 වන දා

මහනුවර ශ්‍රීදළා මාළිගාව ප්‍රධාන ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන සිවි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය වර්ෂ 2016 අගෝස්තු මස තුන් වෙනිදා බුධ දින පෙරවරු හය පසු වී විනාඩි විසි හතරට උතුර දිශාභිමුඛව සිරිත් පරිදි පේ කොට තබන ලද සණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන සිව් දේවාලයන්හි ප්‍රධානකොට ඇති සියලු විහාර දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසළ කප් සිටුවනු ඇත.

ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2560 ශකවර්ෂ 1938 එනම් රාජ්‍ය වර්ෂ 2016 මහනුවර ඇසළ පෙරහර සම්බන්ධව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත්කර ඇති දැන්වීමෙහි මෙසේද සඳහන් වේ.

ඇසළ පෙරහර මංගල්‍යයේ පළමුවෙනි කුඹල් පෙරහර අගෝස්තු මස අටවෙනිදා ආරම්භ කෙරෙන අතර රන්දෝලි පෙරහර අගෝස්තු මස දහතුන්වෙනිදා ආරම්භ කෙරේ. එම පෙරහර 17 වනදා දක්වා පැවැත්වේ. දිය කැපුම් මංගල්‍ය පෙරහර අගෝස්තුමස දහ අටවෙනි දින රාත්‍රී 01.16 ට නැගෙනහිර දිශාභිමුඛව ශ්‍රී දළදා මාළිගාවෙන් සිව් දේවාල කැටුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයට ගොස් සිරිත් පරිදි පෙරහර කරඬුව එහි තැන්පත්කොට දේවාල පෙරහර ආපසු දේවාලකරා ගමන්කර දේව පූජාවන් පවත්වා ගැටඹේ දිය තොටුපොළට විත් දියකැපුම් මංගල්‍යය සිදු කෙරේ.

සිරිත් පරිදි දවල් පෙරහර අගෝස්තු 18 වෙනිදා පවත්වා මහනුවර පෙරහර මංගල්‍ය අවසන් කෙරේ. කුඹල් පෙරහර සහ රන්දෝලි පෙරහර සහ දවල් පෙරහර ගමන් කරන මාර්ග සහ පෙරහර ආරම්භ කරන ශුභ නැකැත් වේලාවන් දියවඩන නිලමේතුමා පෙරහර පිළිබඳව නිකුත්කර ඇති දැන්වීමෙන් ප්‍රකාශයට පත් කර ඇත.