UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම ඇසළ පෙරහර ඇරඹෙයි

කතරගම ඇසළ පෙරහර ඇරඹෙයි

ලංකාවේ ඇති පුදබිම් අතුරින් ගමක නමින් දෙවි කෙනෙකු හඳුන්වන්නේ කතරගමයි. ඒ ස්කන්ධ කුමාර දෙවියන් “කතරගම දෙවියන් නමින්” හැඳින්වීමයි.

කතරගම සර්ව ආගමික පුදබිමකි. බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි යන සෑම ආගමකටම අයත් බැතිමතුන් සහෝදරත්වයෙන් යුතුව සාමූහිකව එකට එකතු වී පුද පූජාවන් පවත්වති. පැල්පතේ ජීවත් වන අඩු ආදායම්ලාභි අය මෙන්ම සුවිසල් මන්දිරවල වාසය කරන ධනවත් අයද එකට එකතු වී සහෝදරත්වයෙන් පුද පූජා පැවැත්වීම කතරගම පුදබිමේ ඇති හාස්කමකි. කතරගම පුදබිමේ ජීවත් වන අයටද යස ඉසුරු ලැබේ. ඒ කතරගම දෙවියන් නිසාය. කතරගම ඇසළ පෙරහර සමයේ තැනකින් සාධු නාදයත්, තවත් තැනකින් හරෝහරා නාදයත්, තවත් තැනකින් අල්ලා යාරසුල්ලා හඬත් එකවිට ඇසිය හැකි පුදබිමක් ඇත්නම් ඒ කතරගම පුදබිමයි. කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පිරිත් දේශනාවක් පැවැත්වේ. කතරගම මහා දේවාලය ඇතුළු දේවාලවල පූජාවන් පැවැත්වේ. ඉස්ලාම් දේවස්ථානයේ ආගමික කටයුතු පැවැත්වේ. මේ සෑම ස්ථානයකටම ආගම් භේදයෙන් තොරව සියලුම බැතිමතුන් සහභාගිවෙති.

කප් සිටුවීම

කතරගම ඇසළ මහා පෙරහර පැවැත්වීමට දින 45 ට පෙරය. කප් සිටුවීම නම් පෞරාණික චාරිත්‍රය කතරගම මහා දේවාලයේ කපු මහත්වරුන් විසින් දේවාලයේ මිණිබැඳි මණ්ඩපයේ දී මැයි මස 22 දින සිදුකරන ලදී.

ඇසළ පෙරහර

කප් සිටුවා දින 45 ක් ඉකුත්වීමෙන් පසුව ජූලි මස 05 දින කතරගම ඇසළ මහා පෙරහර ඇරඹිණි. එදින පැවැත්වෙන පළමුවෙනි පෙරහර කතරගම මහා දේවාලයෙන් ආරම්භ වී මහා වීදියේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණ එම දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුදසිරිත් ඉටුකර පෙරහර යළිත් එම වීදියේම ගමන් කර මහා දේවාලයට ගෙවදීම සිදුකෙරේ. ජූලි මස 06 දින ඇසළ පෙරහරේ 02 වන දිනයයි. මෙදින සිට අවසාන පෙරහර දක්වා පෙරහර කතරගම මහා දේවාලයෙන් ආරම්භ වී පිටවීදියේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර පුදසිරිත් ඉටුකර පෙරහර මහා දේවාලයට ගෙවදීම සිදු කෙරේ.

පෞරාණික චාරිත්‍ර ඉටුකිරීම

ඇසළ පෙරහරේ 06 වන පෙරහර පැවැත්වෙන ජූලි මස 10 දින පෞරාණික චාරිත්‍ර රැසක් ඉටු කරන ඉතාමත් වැදගත් දිනයකි.

එදින කතරගම මහා දේවාලය ඉදිරිපිට ඇති අතුපන්දලමට අලුතින් අතු දමා සකස් කිරීම.

කඩොල් ඇතාගේ දළදෙක කතරගම දේවාලයේ දේවාල තිරය දෙපස මණ්ඩපයේ තැන්පත් කිරීම.

බස්නායක නිලමේතුමාගේ නිල නිවාසයේ බස්නායක වලව්වේ මහා සංඝරත්නය වෙනුවෙන් පිරිකර සමඟ දානය පිරිනැමීම.

පෞරාණික චාරිත්‍රානුකූලව බස්නායක නිලමේ පෙරහරේ ගමන් කිරීම සිදු කෙරේ.

ගිනි පෑගීම

ඇසළ පෙරහරේ උත්කර්ෂවත් අවස්ථාවක් වන ගිනි පෑගීම ජූලි මස 16 දින රාත්‍රී සිදුකෙරේ. මෙදින ඇසළ පෙරහරේ 12 වන පෙරහරයි. පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසුව කතරගම මහා දේවාලය ඉදිරිපිට මහා වීදියේ ගිනි මැලය දල්වා පසුදා අලුයම ගිනි පෑගීම සිදු කෙරේ.

දෙවේලේ පෙරහර

ජූලි මස 17 හා 18 යන දිනයන් ඇසළ පෙරහරේ 13 හා 14 වැනි පෙරහර පැවැත්වේ. මේ දිනවල කතරගම මහා දේවාලයෙන් පෙරහර ආරම්භ වී පිට වීදියේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කර පෙරහර මහා වීදියේ ගමන් කර මහා දේවාලයට ගෙවදීම සිදුකෙරේ.

පළමු පෙරහර ගමන් කිරීමෙන් පසුව මධ්‍යම රාත්‍රියේ තවත් පෙරහරක් කතරගම මහා දේවාලයෙන් ආරම්භ වී පළමු පෙරහර ගමන් කළ වීදිවලම ගමන් කර මහා දේවාලයට ගෙවදීම සිදුකෙරේ. මෙය ‘දෙවේලේ පෙරහර’ යනුවෙන් හැඳින්වේ.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකර මහා පෙරහර

ඇසළ මහා පෙරහරේ 15 වෙනි පෙරහර අවසාන මහා පෙරහරයි. ජූලි මස 19 දින රාත්‍රී පැවැත්වේ. මෙදින කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන දේව පෙරහර අෂ්ඨඵල බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කර කුඩා වාසල් දොරටුවෙන් වෙහෙර වීදියට පිවිසේ. එම වීදියේ ගමන් කර පෙරහර කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයට පැමිණේ. කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ දී කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන් විසින් සධාතුක කරඬුව කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩී. පියතිස්ස කුමාරගේ මහතාට භාරදීම සිදුකෙරේ. බස්නායක නිළමේතුමා සධාතුක කරඬුව කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ බුදු පෙරහරේ මංගල හස්ති රාජයා මත සවිකරන ලද ‘රන්සිරි ගෙයෙහි’ තැන්පත් කිරීම සිදුකෙරේ. සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව බස්නායක නිලමේතුමා අදිකාරම් ලේකම් හා කපු මහත්වරුන් කිරිවෙහෙර චෛත්‍යයට මල්, පහන්, දැහැත්, ගිලන්පස පූජා කිරීමෙන් පසුව ආගමික කටයුතු පැවැත්වීමට හා සෙත් පිරිත් දේශනා කිරීම කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සිදුකරනු ලැබේ. ආගමික කටයුතුවලින් පසුව ඇසළ පෙරහර කටයුතු සාර්ථක කරගැනිම සඳහා උදව් උපකාර කළ දායකත්වය දැරූ අයට පුණ්‍යානුමෝදනාව පැවැත්වීම. කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන් විසින් සිදුකරනු ලැබේ.

අනතුරුව පෙරහර කටයුතු සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් සැමට ස්තුති කිරීම බස්නායක නිලමේ ඩී. පියතිස්ස කුමාරගේ මහතා විසින් සිදු කරනු ලැබේ. ඇසළ පෙරහර සඳහා පැමිණි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට පහසුකම් සැපයූ සැමට ස්තූති කිරීම කතරගම ඇසළ උත්සව කඳවුරු භාර නිලධාරිනී මොණරාගල දිසා ලේකම් ඩී.එස්. පද්මකුලසූරිය මහත්මිය විසින් සිදු කරනු ලැබේ. මෙම කටයුතුවලින් පසුව පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සධාතුක කරඬුව රැගත් ‘බුදු පෙරහර’ පෙරටු කරගෙන පෙරහර ගමන් ආරම්භ කරයි.

පෙරහර වෙහෙර වීදියේ ගමන් කර දේවාල මලුව හරහා මහා වාසල් දොරටුවෙන් පිට වීදියට පිවිසේ. එම වීදියේ ගමන් කර පෙරහර වල්ලි අම්මා දේවාලයට පැමිණ පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කර පෙරහර මහා වීදියේ ගමන් කර මහා දේවාලයට ගෙවදීම සිදු කෙරේ.

දිය කැපීම

ජූලි මස 20 දින දිය කැපීමේ පෙරහර පැවැත්වේ. මෙදින උදේ සුබ නැකැත් අනුව කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන දිය කපන පෙරහර අෂ්ඨඵල බෝධීන් වහන්සේට ප්‍රදර්ශනය කර කුඩා වාසල් දොරටුවෙන් පිට වීදියට පිවිසේ.

එම වීදියේ ගමන් කර දිය කපන පෙරහර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ සිට මැණික් ගඟට පිවිසුමේදී මැණික් ගඟ ඉහළට ගමන් කර දිය කපන තොටට පැමිණේ. දිය කපන තොටේ ඉදිකරන ලද ‘වස්ත්‍ර මණ්ඩපය’ තුළ දී දිය කපා එම ශුද්ධ ජලය රිදී කලයකට ගෙන පෙරහරින් මැණික් ගඟ පහළට ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ දී දිය කපා ගෙනෙන ලද, ශුද්ධ වූ ජලය බැතිමතුන්ට බෙදාදීම සිදුකෙරේ. එදින සවස දිය කපන පෙරහර වල්ලි අම්මා දේවාලයේ සිට මහා වීදියේ ගමන් කර මහා දේවාලයට ගෙවදීමෙන් ඇසළ පෙරහර කටයුතු අවසන් වෙයි.

 

 

  ඇසළ පුර අටවක පෝය

  ඇසළ පුර අටවක පෝය ජූලිමස 11 වනදා සඳුදා අපරභාග 05.12 ට ලබයි.
12 වනදා අඟහරුවාදා අපරභාග 07.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 11 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]