Print this Article


ශ්‍රී මහා බෝධි පුරාණය - 3 :  ආනන්ද බෝධින් වහන්සේගේ රෝපණය

ආනන්ද බෝධින් වහන්සේගේ රෝපණය

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේම බෝධීන් වහන්සේට නොයෙක් උපහාර පැවැත්වූ බව අප කථා කළේය. අද අප කථා කරන්නේ තථාගතයන් වහන්සේ ජීවමාන සමයේම රෝපණය කරන ලද ආනන්ද බෝධීන් වහන්සේ පිළිබඳව ය.

සැවැත්නුවර දෙව්රම් වෙහෙර

සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම වැඩ සිටින පූජනීය විහාරය දෙව්රම් වෙහෙරයි. මේ කල්පයේ පළමුව පහළ වූ කකුසඳ බුදුරජාණන් වහන්සේට වෙහෙර ඉදිකිරීම සඳහා ඉඩම මිලදීගෙන තිබෙන්නේ රන් උළු අතුරායි. කෝණාගමන බුද්ධ ශාසනයේ රන් ගඩොල් අතුරා ද, කාශ්‍යප බුද්ධ ශාසනයේ රන් උළු අතුරාද, අපගේ ගෞතම බුද්ධ ශාසනයේ රන් කහවනු අතුරාද ඉඩම මිල දී ගෙන ඇත. මෙය ධර්මතාවයකි. අනේපිඬු සිටුතුමා ජේත කුමරුගෙන් උයන මිලදීගෙන මහා විහාර සංකීර්ණය ඉදි කළේය. අපගේ බුදුරජාණන් වහන්සේ සූවිසි වසරක් වස්කාල ගත කළේ ජේතවනාරායේම ය. භාග්‍යවතුන් වහන්සේ වැඩිම වාර ගණනක් එක තැන වැඩ සිටියානම් ඒ ජේතවනාරාමය යි. එනිසා සැදැහැවතුන් නිතර නිතර ජේතවනාරාමයට එති. නමුත් සමහර කාලවලදී තථාගතයන් වහන්සේ චාරිකාවේ වැඩම කර තිබුණ හෙයින් දුර බැහැර සිට පැමිණෙන පිරිස ගන්ධ කුටිය ඉදිරියේ පිරිකර ආදිය තබා වන්දනා කර යති. ඔවුන් තථාගතයන් වහන්සේට වන්දනා කිරීමට නොහැකි වූවා යැයි කියමින් ශෝක කරති.

ආනන්ද බෝධින් වහන්සේ

දිනක් අනේපිඬු සිටුතුමා ආනන්ද තෙරුන්ට කියා සිටියේ “ස්වාමිනි ආනන්දයන් වහන්ස, තථාගතයන් වහන්සේ වැඩ නො සිටින විට පැමිණෙන පිරිසට වන්දනාමාන කිරීමට යම් ස්ථානයක් හෝ පූජනීය දෙයක් තිබුණොත් යහපත් බව හැඟේ” යැයි කියාය.

ති‍්‍රවිධ චෛත්‍යයේ ආරම්භය

අපගේ ආනන්ද ස්වාමින් වහන්සේ මේ ගැන සිතා බලා සවස් කාලයේ භාග්‍යවතුන් වහන්සේ අසලට ගොස් වන්දනා කර අසා සිටින්නේ “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වෙනුවට වන්දනා කළයුතු යම් දෙයක් ලෝකයේ තිබෙනවාද?” කියායි. එහිදී ත්‍රිවිධ චෛත්‍යයන් පිළිබඳ වදාළ සේක. ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ යැයි සලකා වැඳුම් පිදුම් කළහැකි වස්තු, චෛත්‍යය තුනක් තිබේ. ඒ තථාගතයන් වහන්සේගේ පිරිනිවනින් පසු ඉතිරි වන ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කොට කරන ස්තූප (ශාරීරික ධාතු චෛත්‍යය) දෙවැන්න භාග්‍යවතුන් වහන්සේ පරිභෝග කරන යමක් තැන්පත්ව ස්තූප ඉදිකිරීම ( පරිභෝගික චෛත්‍යය ) තුන්වැන්න භාග්‍යවතුන් වහන්සේ වෙනුවට සංකේතයක් නිර්මාණය කොට (ප්‍රතිමා ආදිය) වන්දනා කිරීම. (උද්දේසික චෛත්‍යය )

නමුත් භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ ශාරීරික ධාතුන් වහන්සේ, උද්දේසික වස්තු ආදිය චෛත්‍යය ලෙස කරවන්නේ නැත. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය ලබන මොහොතේ සේවනය කරන ලද බෝධීන් වහන්සේ තථාගතයන් වහන්සේ ජීවමාන සමයේත්, පිරිනිවන් පෑ පසුවත් එකලෙස වැඳුම් පිදුම් කිරීමට සුදුසු” බවය.

බෝධීන් වහන්සේට සත්කාර කිරීම

අපගේ ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටින්නේ “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ගයාවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බීජයක් ගෙනවිත් දෙව්රම් වෙහෙරේ දොරටුව සමීපයේ රෝපණය කරන්නදැ’යි කියා. එහිදී භාග්‍යවතුන් වහන්සේ අපූරු විස්තරයක් වදාළා.” ආනන්දයෙනි එය මැනවි. එසේ බෝධීන් වහන්සේ දෙව්රමේ රෝපණය වූ කල්හි මම නිරන්තරයෙන් ජේතවනාරාමයේ වාසය කරන්නා සේ වන්නේය” එසේනම් මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින්ම බෝධීන් වහන්සේට තමන් වහන්සේට සමාන කරති. එනිසා අපත් බුදුරජාණන් වහන්සේට ගරුසරු සත්කාර කරන්නා සේ බෝධීන් වහන්සේටත් සත්කාර කළ යුතු නොවේද? එයයි ශ්‍රද්ධාව. පහත පැරැණි දහම් පාඨය ‘සිංහල බෝධිවංශය’ ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.

චේතියං වන්දිත්වා බෝධියංගණං පත්තේනාපි බුද්ධස්ස - භගවතෝ සම්බුද්ධො විය පරමානිච්චාකාරං දස්සෙත්වා බෝධි වන්දිතබ්බං

‘සෑ රජුන් වැඳ බෝ මළුවට පැමිණ අපගේ භාග්‍යවතුන් වහන්සේ සේම සලකා පරම ගෞරව සත්කාර කර බෝධින් වහන්සේටද වැදුම් කළ යුතුය’ යන්නයි.

බෝධි මණ්ඩපය පිළියෙල කිරීම සහ බෝ බීජය වැඩමවීම

අපගේ ආනන්ද ස්වාමින් වහන්සේ කොසොල් මහරජතුමා, අනේපිඬුසිටුතුමා, විශාඛා උපාසිකාව ආදී ප්‍රභූ පිරිස සහභාගි කරගෙන සාකච්ඡා කොට ජේතවනාරාමයට ඇතුළු වන දොරටුව දිශාවෙන් මනරම් භූමියක් සුද්ධ පවිත්‍ර කර ඒ භූමිය මලින්, පුන් කලසින් මල් මාලාවෙන්, ධජ පතාකයෙන්, තොරණින්, සැරසූ අපූරුව බෝධිවංශයේ සවිස්තරව තිබේ. ඒ අතර ආනන්ද ස්වාමින් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියා සිටින්නේ “ පි‍්‍රය ආයුෂ්මතුනි, මට ගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බීජයක් රැගෙන ලබා දෙන්න” කියායි. අපගේ මහා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගෙන ආකාශයෙන් බෝධි භූමියට වැඩම කොට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ඉදුනු බීජයක් ගිලිහෙනවා දැක සිවුරින් පිළිගෙන නැවත වැඩමකොට ආනන්ද ස්වාමින් වහන්සේට ලබා දුණි. ආනන්ද මහතෙරුන් වහන්සේ බෝධීන් වහන්සේගේ බීජය රෝපණය කිරීමට සියලු කටයුතු යොදා ඉතා මනරම්ව සැරසු පාරිශ්‍රද්ධ භුමියට සියලු දෙනා එක් රැස් කළේය.

බෝධින් වහන්සේ රෝපණය දින සිදු වූ ප්‍රාතිහාර්යය

ආනන්ද, මහ තෙරුන් වහන්සේ සැරසු භූමිය මැද මනරම් ස්වර්ණ කටාරමක සුවඳ පස් පුරවා පිරිසුදු පැණින් තෙත් කර කොසොල් මහ රජුන්ට උතුම් බෝ බීජය රෝපණය කිරීමට ලබා දුණි. එහිදී කොසොල් රජු කල්පනා කරන්නේ “ මේ රාජ්‍යය යම් දිනක සතුරෙකු අතට පත් වුවොත් ඒ සතුරු රජා මා කළ හැම දෙයකම විනාශ කරති. එවිට බෝධීන් වහන්සේටත් උවදුරු කරති. නමුත් මේ අනේපිඬු සිටුතුමා කාටත් පි‍්‍රයමනාප කෙනායි ඔහුට බෝ බීජය රෝපණය කිරීමට ලබාදිය යුතුයැයි සිතුවේය. ඉන්පසු සිටුතුමා සුවඳ මැට්ටේ බෝ බීජය රෝපණය කළේය.

බෝ බීජය සුවඳ මැට්ටේ තිබූ සැණින් සියලු දෙනා බලා සිටියදීම පනස් රියන් උස බෝධීන් වහන්සේ නමක් පැන නැඟුණි. ඒ මොහොතේමයි මේ ආශ්චර්යය සිදුවූයේ. ඊට සරිලන ආකාරයට සතර පැත්තට අතු ශාඛා හතරක් විහිදුණි. උඩට ගිය ශාඛාවත් සමඟ පංච මහා ශාඛාවෙන් වනස්පතිමහා වෘක්ෂයක් ලෙස බෝධීන් වහන්සේ සෘර්ධියෙන්ම වැඩුණි. ෂඩ් වර්ණ පිනිපොද ඇද හැළුණි. සැදැහැවතුන්ගේ සාදු නාදයෙන් දෙව්රම නින්නාද වුණි. රජතුමා ඇතුළු ඒ සියලු දෙනා පැළඳ සිටි ආභරණ ආදියෙන් බෝධීන් වහන්සේ පිදූ අතර, නිල් මහනෙල් හා නොයෙකුත් පුන් කලසින් බෝධීන් වහන්සේ සැරසුවේය. සුවඳ පැන් ඉස පැන් කළ පූජා කළේය. එදා සෘර්ධියෙන් හටගත් බෝධීන් වහන්සේමයි අදටත් සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින්නේ, එය කොතරම් වාසනාවක්ද? එසේනම් දඹදිව ආනන්ද බෝධීන් වහන්සේ කොතරම් පුරාණ බෝධීන් වහන්සේ නමක්ද? ආනන්ද ස්වාමින් වහන්සේ රෝපණය කළ නිසාත්, දුටු පමණින් ආනන්දය ඇතිවන නිසාත්, ඒ උතුම් බෝධිය “ආනන්ද බෝධිය” නමින් ප්‍රචලිත වුණි. පසු කාලයේ කොසොල් රජතුමා ඇතුළු පිරිස සුන්දර මණ්ඩප, ප්‍රාකාර තනවා උතුම් බෝධීන් වහන්සේ සුරක්ෂිත කළේය.

භාග්‍යවතුන් වහන්සේ සමාපත්ති සුවයෙන් වැඩසිටි සේක

ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ගයාවේ වජිරාසන බෝ සෙවනේ සමවැදුන සියලු සමාධි සමාපත්තිවලින් මේ බෝ සෙවනෙත් වැඩ සිටිත්වා කියායි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආනන්දයනි, තථාගතයන් වහන්සේ නමක් සමවදින ඒ අසහාය සමාධි සමාපත්ති දරා ගන්නට පිළිවන් වන්නේ වජිරාසනයට පමණක් “ බවයි. එවිට ආනන්ද තෙරුන් වහන්සේ ඉල්ලා සිටින්නේ මේ භූමියට දරාගත හැකි පමණින් භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කරන සේක්වා” කියායි. ඉතින් බොහෝ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස, අදටත් වඳින වඳින අයට යහපත සලසන්නට අපේ භාග්‍යවතුන් වහන්සේ එදා රැය පහන් වනතුරු ආනන්ද බෝධි සෙවනේ නැඟෙනහිර දිශාවේ බෝධියට පිටදී සමාපත්ති සුවයෙන් වැඩ සිටි සේක.

එසේනම් දඹදිව ආනන්ද බෝධින් වහන්සේ කොතරම් පූජනීයද? සෘර්ධියෙන් හට ගත්තේය. ඒ වගේම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බීජයකි. භාග්‍යවතුන් වහන්සේ සේවනය කළ අතර, ඒ බෝධීන් වහන්සේ අදටත් වැඩ සිටිති. ආනන්ද බෝධින් වහන්සේ වන්දනා කරන්නන්ට කෙතරම් පින් රැස්වේද? ඒ බෝධින් වහන්සේගේ ආනුභාවයෙන් ඔබට සෙත් වේවා.


පසුගිය සතියෙන්:-  ශ්‍රී මහා බෝධි පුරාණය - 3 : පින වැඩෙන බෝධි වන්දනාව