Print this Article


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70වෙනි උපසම්පදා මහා විනය කර්මය

පානදුර නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී ජූලි 8 වනදා සිට 16 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරෙන

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වෙනි උපසම්පදා මහා විනය කර්මය


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වැනි උපසම්පදා මහා විනය කර්මය

2016 ජූලි 08 දින සිට 16 දක්වා පානදුර නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වැනි උපසම්පදා මහා විනය කර්මයයි. මෙම අවස්ථාවේ අප ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රථම උපසම්පදාව සිදු වූ අයුරු ද කෙටියෙන් හෝ විමසා බැලීම රාමඤ්ඤ මහා නිකායික නවක මධ්‍යම ථෙර සියලු භික්ෂූන් වහන්සේලාට තම අනන්‍යතාව හා තම භික්ෂු ජීවිතය ප්‍රත්‍යාවේක්ෂණය කර පත් ඇවතට ද ප්‍රතිකර්ම කර ශික්ෂාකාමී භික්ෂුවක් වීමට පෙළඹවීමක් ද වනු ඇත.

උපසම්පදාපේක්ෂක සාමණේර නමකට උතුම් උපසම්පදාව පිහිටීමට සැරියුත්, මුගලන් පරපුරෙන් අවිච්ඡින්නව පැවත එන සුපේශල ශික්ෂාකාමී මහා සංඝයා වහන්සේ ලැබීම, බුද්ධ නියමයට අනුව විනයානුකූල සීමාවකදී උපසම්පදාව සිදු කිරීම ආදී කරුණු රැසක්ම සම්පූර්ණ විය යුතු වේ. ඒවායෙහි අඩු පාඩුකම් වුවොත් උපසම්පදාව නොපිහිටන අතර උපසම්පදාලාභියා ද නියම භික්ෂූන් වහන්සේ නමක් නොවෙති. හේ භික්ෂු ප්‍රතිරූපකයෙකි. මේ නිසා ධර්ම විනය දැන පැවිදි වන අය නිර්මල උපසම්පදාව ගැන ගවේෂණයක යෙදී පිරිසුදු උපසම්පදාව ලබා ගැනීමට ක්‍රියා කරති. අප නිකාය ආරම්භ වූ යුගයේ ද මෙරට පැවති උපසම්පදාව පිළිබඳ තෘප්තිමත් නොවී සියම් රටට බුරුම රටට වැඩම කර නිර්මල උපසම්පදාව ලබා ආපසු මෙරට පැමිණ සෙසු සංඝයාගෙන් වෙන්ව වන සෙනසුන්වල වෙසෙමින් පිළිවෙත් පිරූ භික්ෂූන් වහන්සේලා රැසක් පිළිබඳව තොරතුරු හමුවේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘවරයාණන් වහන්සේ වන අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රසභ මාහිමිපාණන් වහන්සේද එදා මෙහි පැවැති උපසම්පදාව පිළිබඳව තෘප්තිමත් නොවී අකලංක උපසම්පදාව සොයා රතනාපුණ්ණ රාජධානියට වැඩම කර 1861.06.12 දින මෙන්ඩන් රජතුමාගේ දායකත්වයෙන් එරට සංඝ පීතෘ වූ ඤෙය්‍ය ධම්මාභි මුනිවර ඤාණ කිත්තිසිරි පරම ධම්ම සේනාපති මහා ධම්ම රාජගුරු සංඝරාජයන් ප්‍රමුඛ මහා සංඝයා වෙතින් විසුංගාම සීමාවේදී උපසම්පදාව ලබා නැවත හංසවතී නුවර කල්‍යාණී සීමාවේදී දල්හී කර්ම විනය කර්මය ද කරවාගෙන සිරිලක වැඩම කර යළි සිරිලක නිර්මල භික්ෂු පරපුරක් බිහි කිරීමට අදිටන් කරගෙන ඒ සඳහා උපසම්පදා විනය කර්මයක් සිදු කිරීමට පියවර ගත්හ. එම උපසම්පදා විනය කර්මයේ මහෝපාධ්‍යායන් වහන්සේ ලෙස සියම් රටට වැඩම කොට එහි ධම්මයුක්තික නිකායේ වජිරඤාණ සංඝරාජයන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වෙතින් උපසම්පදාව ලබා මෙරටට වැඩම කර මාතලේ කූඹියන්ගොඩ අරණ්‍ය සෙනසුනක වැඩ සිටි පූජනීය වරාපිටියේ සුමිත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ තෝරා ගත්හ. මෙම උපසම්පදා විනය කර්මයට බුරුමයේ රාමඤ්ඤ රට කල්‍යාණි සීමාවේදී උපසම්පදාව ලබා මෙරට වැඩම කර මහණ දම් පිරූ පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද සහභාගි කර ගනිමින් 1863 ජූලි 13 සඳු දින ගාල්ලේ ගිං ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදු කෙරුණු උපසම්පදා විනය කර්මය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රථම උපසම්පදා විනය කර්මයයි. මෙම උපසම්පදාවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආරම්භය ද සිදු විය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ එදා සිට අද දක්වාම භික්ෂු ශාසනයේ අඛණ්ඩ පැවැත්මට අවශ්‍යතම මෙම උපසම්පදා මහා විනය කර්මය අතිපාරිශුද්ධව පැවැත්වීමේ විනය සම්ප්‍රදායන් අනුගමනය කෙරේ. අප නිකායේ කවර තනතුරක් දරන අයෙකු වුව ද පත් ඇවතට පිළියම් වශයෙන් කෙරෙන වත් මානත් හා අම්භාන විනය කර්මයන් සිදු නොකර ගත්තේ නම් උපසම්පදා විනය කර්මයට සහභාගි නොකර ගැනීම අප නිකායේ සම්ප්‍රදාය වේ. මේ ආකාරයෙන් ඔබ වහන්සේ ලබාගත් උපසම්පදා ශීලය ආරක්ෂා කරගෙන සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ නමක් ලෙස කටයුතු කරන ලෙස සිහිපත් කරමි.

2016 ජූලි 08 දින ආරම්භ වන 70 වැනි උපසම්පදා මහා විනය කර්මයේ දී 400 කට අධික සාමණේරයන් වහන්සේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබෙති. සතියක පමණ කාලයක් ගතවෙන මෙම විනය කර්මයට දහස් ගණනක් භික්ෂූන් වහන්සේ සහභාගි වෙති. උන්වහන්සේලාට සිව්පසය සැපයීම, සීමාමාලක ඉදිකිරීම ආදී කටයුතු සිදු කිරීම අති භාරදූර කාර්යයකි. බිම්බිසාර, කාලාශෝක, ධර්මාශෝක රජවරුන් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා ධර්ම සංගායනාවල දායකත්වය දැරුවා සේ මෙම උතුම් පුණ්‍ය කර්මයට අනුග්‍රහය දක්වන ගරු ජනාධිපතිතුමන්ට මැති ඇමැතිවරුන්ට දානපති ප්‍රභූන්ට දායක දායිකාවන්ට හා සියලු කටයුතු මෙහෙයවන ප්‍රාදේශික සංඝ සභාවල අපේ භික්ෂූන් වහන්සේලාට මාගේ පුණ්‍යානුමෝදනා පූර්වක ප්‍රසාදය පිරි නමමි.


සම්බුදු සසුනට ආලෝකයක් ම වේවා

සංසාර විමුක්තිය හෙවත් නිර්වාණය අරමුණු කරගෙන ක්‍රියා කරන්නා අනිවාර්යයෙන්ම ආර්ය මාර්ගයේ ගමන් කළ යුතුමය. ආර්ය මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අරි අටඟි මඟ නමින් හෙළ වහරින් හඳුන්වනුයේත් අංග අටකින් යුත් මෙකී ආර්ය මාර්ගයයි. ත්‍රිශික්ෂා යනුවෙන් මෙකී ආර්ය මාර්ගය තෙකොටසට බෙදා හඳුන්වාදුන් බුදුරජාණන් වහන්සේ සීල, සමාධි, පඤ්ඤා යැයි කොටස් තුනකට සංක්ෂේප කොට දැක්වූහ. මේ හැම තැනකම නිවන් අරමුණු කර ගත්තකු විසින් මුලින්ම අනුගමනය කළ යුතු ප්‍රතිපදාව ලෙස දක්වා ඇත්තේ සීලමය ප්‍රතිපදාවයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ආර්ය මාර්ග තුන සීලමය ප්‍රතිපදාවට අයත් වේ.

සීලය සමාදාන ශීල, විරති සීල යැයි දෙවැදෑරුම් ය. එක් එක් ප්‍රතිපදාවක් සමාදන් වී අනුගමනය කිරීම සීල සමාදානයයි. සීලයෙහි උපරිම ලක්ෂණය අධිශීලයයි. අනෙක් ශික්ෂා පද දෙක ද අධිචිත්ත, අධිපඤ්ඤා යන වචනවලින් හඳුන්වා ඇත්තේ ඒවායේ උපරිම ලක්ෂණ පෙන්වා දීම පිණිසය. මෙයින් අධිසීලය යනු උපසම්පදා සීලයයි. එය සියලු කායික, වාචසික, මානසික වැරදිවලින් අතමිදීමයි. අධිසීලය, උපසම්පදා සීලය යනුවෙන් හඳුන්වන්නේත් එයයි.

විනය පිටකයට අනුව ඕනෑම කෙනෙකුට උපාධ්‍යායන් වහන්සේ නමක හා ආචාර්ය ස්වාමීන් වහන්සේ නමක මුණගැසේ නම් සමාදාන සීලය හෙවත් සාමණේර සීලය ලබාගත හැකිය. වත්මන් විනය පිටක සාධකයන්ට අනුව කිසිදු ගිහියෙකුට එකවරම උපසම්පදා සීලය ලැබිය නොහැකිය. බුදුවරයෙකු හමුවෙහි ලබාගත හැකි ඒහි භික්ඛු මහණ උපසම්පදාව හැර වෙනත් කිසි තැනක එවැන්නක් ලැබිය නොහැකිය. එබැවින් මහාවග්ගය ඇතුළු විනය පිටකයෙහි නිර්දේශ කරන උපසම්පදා සීලය ලැබිය හැක්කේ සාමණේර සීලය ආරක්ෂා කළ කෙනෙකුටම ය. එමෙන්ම එබඳු විනය කර්මයක් සිදු කළ හැක්කේ සීමා මණ්ඩපයකදීමය. ප්‍රත්‍යන්තයක හැර වෙනත් පෙදෙසක නම් උපසම්පදා සීලයක් ලබාදීමට විසිනමක්වත් සංඝයා සහභාගි විය යුතුය. බුද්ධ ප්‍රඥප්තීන් ලෙස දක්වා ඇති විනය පිටකාගත පාරාජිකා, පාචිත්තිය, සංඝාදිසේස, පාටිදේසනීය, නිස්සග්ගිය, පාචිත්තිය, සේඛියා, අධිකරණ සමථ ආදී දෙසීය විසි හතක් පමණ ශික්ෂාපද සම්පූර්ණ කිරීමට සුදුසු දැරීමට හැකි ශ්‍රමණයෙකු සංඝයා විසින් ඔසවා තැබීම උපසම්පදා සීලය හෙවත් අධිසීලය නමින් හැඳින්වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අතිපූජ්‍ය අඹගහවත්තේ මහානා හිමිපාණන් වහන්සේගේ පටන් පසුගිය අවුරුදු 152 ක් තුළ උත්සාහ කරන ලද්දේ මෙම පිරිසුදු පැවිදි උපසම්පදාව ආරක්ෂා කර ගැනීමේ මහඟු කටයුත්තටයි. මෙවර පානදුර කළුගඟේ සිදු කරනු ලබන උපසම්පදා විනය කර්මය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වැනි උපසම්පදා විනය කර්මයයි. එය විශේෂයෙන්ම විනයානුකූලව ඉදිකරනු ලබන උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට බලාපොරොත්තු වේ. පානදුර සංඝ සභාව ඇතුළුව ආසන්න සංඝ සභාවන්හි සහයෝගය ලබාගෙන 2016 ජූලි 08 වැනි දින ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙම මහා විනය කර්මය සමස්ත සම්බුද්ධ ශාසනයේ ජීවය හා සමානය. මීට වසරකටත් කලින් මෙහි ප්‍රධාන සංවිධායක ලෙස ක්‍රියා කරන වාද්දූව ශ්‍රී ලංකාරාමාධීපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකාය සංවර්ධන සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වාද්දුවේ ධම්මවංශ මහාස්ථවිරයන් වහන්සේ අදාළ සංඝ සභාවේ නිර්දේශයක් ලෙස විශේෂාධිකාරී මණ්ඩලයට හා කාරක මහා සංඝ සභාවට මෙම උපසම්පදා වාරය පානදුර සංඝ සභාවට ඉල්ලීම් කරමින් පාලක මහා සංඝ සභාවේ අනුමැතිය ද ඇතිව එම කටයුතු දැන් මැනවින් ඉටුවෙමින් පවතී.

එකී සංවිධානයට අනුවත්, ආවේණික සම්ප්‍රදායන්ට අනුවත්, වත්මන් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයෙහි අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජයත්, රටවැසි සමස්ත බෞද්ධ ජනතාවත්, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ ප්‍රමුඛ කාරක පාලක විශේෂාධිකාරී මණ්ඩල සාමාජිකයන් වහන්සේලා ඇතුළු සමස්ත නිකායික මහා සංඝරත්නයත්, අතිපාරිශුද්ධ උපසම්පදා විනය කර්මයක් සිදුකරගැනීමට පෙළ ගැසී ඇති මේ අවස්ථාවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහාලේඛකාධිකාරීන් වහන්සේ ලෙස ඉමහත් ගෞරවයෙන් යුතුව මෙම ශාසනික විනය කර්මය බාධා පළිබෝධ උපද්‍රවයන්ගෙන් තොරව පවත්වා ගැනීමට මඟ පෑදේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.


වැදගත් වන්නාවූ පූජනීය පියවරක් වන්නේ ය

බොදුනුවන් වන අපට, භික්ෂූන් වහන්සේ උතුම් වන අයුරින්ම සෑම භික්ෂූන් වහන්සේ නමකටම උපසම්පදාවීම ද එලෙසින්ම වැදගත් වන්නාවූ පූජනීය පියවරක් වන්නේ ය.

භික්ෂුත්වය විෂයෙහි පවත්නා පළමු අවස්ථාව ගිහිභාවයෙන් නික්ම පැවිදි බව ලබාගැනීම වන අතර එහි දෙවැනි පරිසමාප්ත අවස්ථාව වන්නේ, භික්ෂූන් වහන්සේ නමක ලෙස උපසම්පදාවට පත්වීමය.

භික්ෂූත්වය ලබාගත යුත්තේ ද උපසපන් බව ලබාගත යුත්තේ ද, බුදුන් වහන්සේ වෙතින් හෝ භික්ෂු සංඝයා වහන්සේ වෙතින්ම පමණකි. එහෙයින්ම උපසපන්භාවයේ, ගෞරවනීයත්වය පූජනීයත්වය කෙබඳුදැයි අපට සිතාගත හැකිය.

ශ්‍රේෂ්ඨත්වය වෙත පැමිණීම යන්න උපසම්පදා නම් රූපය තුළ පවත්නා අරුත වේ. එසේ හෙයින්ම මෙම ශ්‍රේෂ්ඨ පදවිය භික්ෂු ශාසනය තුළ සම්භාවනීය වේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හැත්තෑවන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ගරු සාමණේර හිමිවරුන් හාරසිය නමක් පමණ අධිශීල සංඛ්‍යාත අති උතුම් උපසම්පදා භූමියට පත් කෙරෙන මහා පුණ්‍යෙීත්සවයකි. සම්බුද්ධ ශාසනයේ වන්දනීය, උපසපන් පදවියට පිවිසෙන එම ස්වාමීන් වහන්සේලා කෙරෙන්, සඟ සසුනේ චිරස්ථිතිය සැලසේවායි, නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමි.


භික්ෂූත්වයෙහි පිහිටීම අර්ථවත් කරයි

භික්ෂූත්වය ඇරඹෙනුයේ පුද්ගලයෙකු පැවිදි සිවුරු දරා තෙරුවන් සරණ යාමෙන් වුවද, එය සම්පූර්ණත්වයට පත්වනුයේ උපසම්පදා සීලයෙහි පිහිටීමෙනි. උපසම්පදාව බුද්ධ ශාසනයේ වැදගත්ම විනය කර්මය වන්නේ එහෙයිනි. එය භික්ෂූත්වයෙහි පිහිටීම අර්ථවත් කරයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් භික්ෂු සංඝයා විසින් පරපුරෙන් පරපුරට ආරක්ෂා කොටගෙන එන්නා වූ පිරිසුදු උපසම්පත්තිය අනාගතයටත් උරුම කරදෙමින් 70 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය පවත්වන්නට යෙදීම සතුටට කරුණකි. එය ශාසන උන්නතියටත්, පොදු සමාජ යහපතටත්, ධර්මයේ ආලෝකයෙන් භික්ෂු ජීවිතය මෙන්ම ගිහි ජීවිත ආලෝකමත් වන්නටත් හේතු වනු ඇතැයි අපේක්ෂා කරමි.

උපසපන් භික්ෂුවට ශාසනය සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත සමාජය කෙරෙහි පැවරෙන්නේ සුවිශාල වගකීමකි. සදාචාරසම්පන්න දේශයක් බිහිකිරීම උදෙසා සිල්වත්, ගුණවත්, නැණවත් සංඝයා වහන්සේලාගේ කැපවුණු මෙහෙවර වත්මන් යුගයට අතිශය වැදගත්ය. එබඳු පරමාදර්ශී භික්ෂු පරපුරක් බිහිකරන්නට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවයට හැකි වේවායි මෙත් සිත් පෙරදැරිව සුභාශිංසන ගෙනෙමි.


උපසම්පත්තියෙන් ලැබෙන්නේ උත්තරීතර සීලයයි

උපසම්පදාව යනු ශාසනයේ වැදගත්ම විනය කර්මයයි. සම්බුද්ධ ශාසනය රැක ගැනීමටත්, ආරක්ෂා කර එය නොනැසී පවත්වාගෙන යාමත් උපසම්පදා විනයකර්මය මඟින් සිදු වේ.

භික්ෂූත්වයේ ආරම්භය කෙනෙකු පැවිදි වෙස් දරා තුණුරුවන් පිහිට යාමෙන් වුවත් එය සම්පූර්ණත්වයට පත් වන්නේ උපසම්පත්ති සීලයෙනි. උපසම්පදා යන වචනයේ අරුත වන්නේ ශ්‍රේෂ්ඨත්වය වෙත පැමිණීම යන්නයි. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති යන මෙකී සිව් දහම් අතරින් උපසම්පත්තියෙන් ලැබෙන්නේ උත්තරීතර වූ සීලයයි. සම්බුදු ශාසනය ආරක්ෂා කිරීමත් එහි උන්නතිය වෙනුවෙන් ශාසන මාමක රජදරුවන් අපරිමේය සේවයක් ඉටුකළහ. වර්තමානයේ දී සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා මහ සඟරුවනට උපකාරීවීම ජනතා නියෝජිතයින් වන අප සතු වගකීමකි.

2016 ඇසළ මස පානදුර නගරයේ සීමාමාලකයේ පවත්වනු ලබන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය වෙනුවෙන් මාගේ හද බැති ශුභාශිංසන එක් කරන අතර, ඉදිරියේ දී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් හා එහි උන්නතිය වෙනුවෙන් කැප වන බව ද දන්වා සිටීමට කැමැත්තෙමි.


සසුනේ පැවැත්මට අවශ්‍ය විනය කර්මයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ශ්‍රී ලංකාවේ ඇති එක් මහා නාහිමිපාණන් වහන්සේ නමක් යටතේ පාලනය වන භික්ෂු සංස්ථාවකි. විහාරස්ථාන දෙදහසක් පමණ පාලනය වන මෙම භික්ෂු සංස්ථාවේ ආදිකාර්තෘවරයාණෝ අඹගහවත්තේ ඉන්ද්‍රසභවරඤණසාමි මහ නාහිමියෝය. අල්පේච්ඡ ගුණයෙන් හා ශීල ගුණයෙන් පොහොසත් උන්වහන්සේගේ නායකත්වය යටතේ තත් නිකායේ ප්‍රථම උපසම්පදා පුණ්‍යකර්මය රාජ්‍ය වර්ෂ 1863 ජූලි 13 වැනි දින ගාලු පුරවරයේ මහ මෝදර ගිං ගඟේ උදකුක්ඛේප සීමාමාලකයේ දී සිදුවිය. එතැන් පටන් දෙවර්ෂයකට වරක් මෙම මහා විනයකර්මය ශ්‍රී ලංකා භූමිතලයෙහි කුමන හෝ ස්ථානයක් කේන්ද්‍ර කරගෙන ජලාශි‍්‍රතව උදකුක්ඛේප සීමා මාලකයක දී සිදුවෙයි.

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ උපසම්පන්න භික්ෂූන් වහන්සේ මතයි. උපසම්පදාවට පත්වීමෙන් පැවිදි ජීවිතයේ උසස් තත්ත්වයට පත්වන සාමණේර භික්ෂුව රට, ජාතිය, ආගම නඟා සිටුවීමටත් බෞද්ධ ජනතාවගේ ආගමික අභිලාෂයන් ඉටුකිරීමටත් ක්‍රියා කරයි. විනය ශාසනයේ ආයුෂයි. ඒ නිසා උපසම්පදාව ශාසනයේ පැවැත්ම සඳහා අතිශයින්ම අවශ්‍ය විනය කර්මයකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මෙම උපසම්පදා විනයකර්මය වර්ෂ දෙකකට වරක් සිදුවන අතර මෙවර සැත්තෑවෙනි වරට සිදු කෙරෙන මෙම උපසම්පදා පුණ්‍ය මහෝත්සවය පානදුර නගරය කේන්ද්‍රකර ගනිමින් සිදු කිරීම අපගේ භාග්‍යයකි. මෙම උතුම් විනයකර්මය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක විනය කර්මයක් හා පුණ්‍යෙීත්සවයක් වන බව මාගේ විශ්වාසයයි.