Print this Article


මිය යන අන්දම ඉගෙන ගන්න එවිට ජීවත්වන අන්දම ඉගෙන ගත හැකියි

වසර සිය ගණනකට පෙර මධ්‍ය කාලීන යුගයේ ලියන ලද මරණයේ ශිල්පය නම් ග්‍රන්ථයේ ලියා ඇති ජනතා ප්‍රකාශය අපට සිතන්නට යමක් ඉතිරි කර ඇත. එනම්, “මියයන අන්දම ඉගෙනගන්න. එවිට ඔබට ජීවත්වන අන්දම ඉගෙන ගත හැකිය. මිය යන අන්දම ඉගෙන නොගත් කිසිවකු ජීවත්වන අන්දම ඉගෙන ගන්නේ නැත” යන්නයි.

මරණය පිළිබඳ අපගේ අවබෝධය සහ ජීවිතය සඳහා එහි ඇති සබඳතාව අප වටහාගත යුතුය. මරණයට මුහුණ දෙන්නේ කෙසේදැයි අපට ඉගෙන ගත හැකිනම් අපට ජීවිතය පිළිබඳ වඩාත්ම වැදගත් පාඩමක් ඉගෙන ගත හැකිය. අපට පරිපූර්ණ ජීවිතයක් ගත කිරීමට දැනුම අවශ්‍යයයි.

මිනිසා උපත ලැබීමේ සිට ක්‍රමයෙන් ළඟාවනුයේ මරණය කරාය. උපතත් මරණයත් යනු එකම ක්‍රියාවලියක අන්ත දෙකකි. මේ අන්තයන් ආරම්භ කර ඊළඟ අන්තය කරා අපි ගමන් කරමු. අප මෙලොව උපත ලබන්නේ මෙලොව හැර යන්නේත් කවදාද යන්න පිළිබඳව අප කාහටත් වැටහීමක් නැත. ආවොත් යාමට සිදුවේ. එය සනාතන දහමයි.

මේ සරල හා ගැඹුරු සත්‍යය අප නිතර අමතක කරමු. බුද්ධිමත් මිනිසුන් ලෙස අප මේ ගැන කල්පනා කළ යුතුය. මිනිසුන් ලෙස ජීවිතය ගෙවන විට අප ඉගෙන ගත යුතු පාඩම වනුයේ අප හැම දෙනාටම අපගේ ජීවිතය සිතා මතා සැලසුම් කරගත හැකි බවයි. මිනිසුන් ලෙස වඩා ඉහළ හැසිරීමක් දක්වන්නේ කෙසේදැයි අප සිතා බැලිය යුතු බවයි.

නමුත් බොහෝදෙනා මරණය ගැන සිතන්නට පටන්ගන්නේ මරණය සිදුවන්න ඔන්න මෙන්න කියා තිබියදී ය. සියලු පහසුකම් ඇතුව ජීවත්වීමේ ක්‍රියාවලිය පිළිබඳව සිතන්නට තරම් කිසිදු ගැටලුවක් නැති අය පවා, මරණය ගැන සිතනුයේ අවසාන මොහොතේදීය.

බෞද්ධයන් වන අපට මරණය පිළිබඳව මීට වඩා නිරවුල් අදහසක් තිබිය යුතුය. මරණාසන්න මොහොත වන තෙක් නොසිට මරණය හා ජිවිතය පිළිබඳව අප ලබා සිටිය යුතු ප්‍රඥාව කල් ඇතුව ලබා සිටීම බෙහෙවින් වැදගත්ය.

ආගමික ඉගැන්වීම්වල මරණය පිළිබඳව හා මරණින් මතු ජීවිතය පිළිබඳව විවිධ ඉගැන්වීම් ඇත. බෞද්ධ සාහිත්‍යයේ විමාන වත්ථු හා පේත වත්ථු ග්‍රන්ථවල මරණින් මතු ජිවිතය පිළිබඳව ඉගෙනීමට කැමැති අයට හොඳ දැනුම් සාගරයක් ලබාදෙයි.

වර්තමානයේ කැබ්ලාර් එලිසබෙත්, රොස් රේමන්ඩ් මූඩි වැනි වෛද්‍යවරුන් මරණාසන්න රෝගීන්ගේ සයනය අසල සිටිමින් ජීවිතයේ අවසන් මොහොතේ දී ඔවුන් කළ කී දෑ පිළිබඳව අධ්‍යයනය කර ඒ පිළිබඳව පර්යේෂණ කර ඇත.

මිය යමින් සිටින පුද්ගලයන් හෙවත් මරණය අභියස සිටින පුද්ගලයන්ගේ චිත්තවේග හා ප්‍රායෝගික අවශ්‍යතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ඔවුන් පෙන්වා දී ඇත.

අනිත්‍ය බව යන්න ජීවිතයේ සැබෑ ස්වභාවයයි. එය අපට තේරුම්ගන්න උදව්වන්නේ මරණයයි. අපගේ චිත්තවේග හා අප දරාගෙන සිටින මතවාද සහ අන් පුද්ගලයන් පිළිබඳව අප දරන අදහස් සම්බන්ධව අප එකිනෙකාට තදබල ලෙස හා දැඩි ලෙස බැඳීම් ඇති කර ගෙන සිටිනුයේ අප අනිත්‍ය ස්වභාවය හදවතින් ම තේරුම් ගෙන නැති නිසාය. අනිත්‍යය යන්න ජීවිතයේ සැබෑ ස්වභාවයයි. අපට තේරුම් ගත හැකි වූ විටක අප ඇතුළු සෑම දෙනාම දුකින් පීඩා විඳින බව වටහාගත් කල්හි, කිසියම් වෙනසක් සිදුවන විටක, මරණය අවස්ථාවක දී ජීවිතය අතහැර යෑමට සිදුවීම ඉතා ස්වභාවික දෙයක් බවට පත්වේ.

සෑම දෙයක් ම අනිත්‍යය යන වැටහීම අප සිත් තුළ තදින් පවතින්නේ නම් හා සෑම අයකුම සත්‍යය යනු කුමක්දැයි නිවැරැදිව වටාහාගත් කල්හි, සිදුවන කවර වෙනසක දී විපතක් හෝ මරණයකදී හෝ වියෝවීමක දී හෝ එම නැති වීම පිළිබඳව අපට මහත් වූ දුකක් හෝ වේදනාවක් ඇති වන්නේ නැත. එවිට අප කඳුලු සලන්නේ නැත.

ඒ මරණය හා අනිත්‍යතාව ජීවිතයේ ම කොටසක් නිසා වෙනි. මේ හැම දෙයක්ම මේ අයුරින් සිදුවන්නේ හැම දෙයක්ම වෙනස් වන සුළු නිසාය. විපරිනාම වන නිසාය. අප ඒ බව තේරුම් ගැනීමට උනන්දු නොවුණොත් හෝ අපොහොසත් වුවහොත් හෝ අප ජීවිතය පිළිබඳව ලබා ඇති දැනුම අඩුය. හැම දෙයක් ම හැම මොහොතකම වෙනස්වන සුළුය. මගේ ජීවිතය මෙන් ම අනෙකාගේ ජිවිතයත් ඒ ධර්මතාවයට අයත්ය.

මේ බව තේරුම්ගෙන, අප ජීවත්ව සිටින අවධියේ මරණය .... ගැන ද වැටහීමකින් යුතුව ජීවත් වන්නේ නම් අර්ථවත් ජීවත්වීමක් වන්නේය.

අප අපම ගවේෂණය කරගනිමින්, අධ්‍යාත්මික ඉගැන්වීම්වලට වඩා සමීපවිය යුතුය. මිය යමින් සිටින පුද්ගලයකුට ද අප අධ්‍යාත්මික සැනසිල්ලක් ලබාදිය යුතුය. මිය යාමට ආසන්නව සිටින අසාධ්‍ය රෝගීන්ට අපට ලබාදිය හැකි ඉහළම ත්‍යාගය වන්නේ ඔවුනට යළි ජීවිතයට සහතිකයක් ලබාදීමයි. මූලික විශ්වාසය හා භක්තිය, බලාපොරොත්තුවේ හා ජීවිත අර්ථය පිළිබඳ හැඟීමක් ඔවුන් තුළ ඇති කිරීමයි.

මරණය පිළිබඳව හා මරණින් මතු සිදුවෙමින් පවතිනුයේ කවර ක්‍රියාවලියක් ද යන්න වඩාත් හොඳින් මුලින්ම සාකච්ඡා කර තිබුණේ “තිබ්බත මළපොත” යන ග්‍රන්ථයෙන් මිය යාමට ආසන්න මොහොතේත්, මිය යන මොහොතේ හා මිය ගිය පසු මොහොතේත් සිදුවෙමින් පවතින්නේ කුමක් ද? හා අපට එහි උදව් කළ හැක්කේ කෙසේද? යන්නත් එම පොතෙහි සවිස්තරව උගන්වා ඇත.

මේ ඉගැන්වීම්වලින් පාඩම් ඉගෙන ගෙන අප කළ යුත්තේ කුමක් ද?

අප මිය ගිය විට අපට ලැබිය යුතු හා අප ළඟා විය යුතු ඉතා හොඳම ආධ්‍යාත්මික ආරක්ෂාවක් අප අද අදම ලබාගත යුතුය. ජීවත්වන කාලයේ දී ජීවිත රක්ෂණය මගින් අපගේ බිය තුරන් කරගන්නා පරිදිම, ජීවිත කාලයෙන් පසුවද අපගේ ජීවිතය සුරක්ෂිත කරන රක්ෂණයක් අප ලබාගත යුතුය. නිවන් දකිනා අවස්ථාව දක්වාම සංසාරික ගමන් මගකට අප සම්බන්ධ වන නිසා සංසාරික ජීවිතය ම සුරක්ෂිත කර ගැනීමට අප උනන්දු විය යුතුය. එය අපගේ මානව අයිතියෙකි. අප වර්තමානයේ මේ ජීවිත කාලය තුළ දී සුරක්ෂිත වන පරිදිම මරණින් මතු ද සුරක්ෂිත බව දැනගත් කල්හි මහත් සැනසීමකින් ජීවිතය ගෙවිය හැකිවනු ඇත.

මේ සඳහා පහසු හා හොඳම රක්ෂණය වන්නේ අධ්‍යාත්මික රක්ෂණයක් අප තුළ වර්ධනය කර ගැනීමයි. මෙම අධ්‍යාත්මික රක්ෂණය ලබාගත හැක්කේ අප ඒ සඳහා දැනුවත් වුවහොත් හෝ උනන්දු වුවහොත් පමණි. මේ සඳහා අවශ්‍යවනුයේ නිති පන්සිල් රැකීමත්, පොහොය අටසිල් රැකීමත්ය. එම සිල්වත් බව ආධ්‍යාත්මික රක්ෂණයකි. මෙලොව ජීවත්වන කාලය තුළ දී මෙන් ම මරණින් මතු ජීවිත කාලයේදීත් අප සුරක්ෂිත කිරීමට අවශ්‍ය පදනම එමගින් වැටෙනු ඇත.

අප රක්ෂණයක් මිලට ගැනීම පළමු අදියර හෙවත් පදනම පමණි. ඉන් අනතුරුව අප මාසිකව වාරික ගෙවමින් මේ රක්ෂණය යාවත් කාලීන කරගත යුතුය. ආගමික ජීවිතය වඩාත් ශක්තිමත් කර ගැනීමට දන්, සිල්, භාවනා, පින්දීම, පින්අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, බණ කීම, බණ ඇසීම, හා සම්‍යක්දෘෂ්ටි වීම යන දස පුණ්‍ය ක්‍රියාවල යෙදීමෙන් එම අධ්‍යාත්ම රක්ෂණය යාවත් කාලීන කරගත යුතුය. අප නිවරැදිව ජීවිත් වූවා වන්නේය. නිවැරැදිව මරණයට හා මරණින් මතු ජීවිතයට ද සූදානම් වූවා වන්නේ ය.

ඔබ ජීවිතය සුරක්ෂිත කරගැනීමට කරනු ලබන ආගමික වතාවත්වල වටිනාකම තේරුම් ගෙන වතාවත්වල යෙදීම හා ආගමික ජීවිතයක් ගෙවීම ඔබගේ ආසන්න අනාගතයට මෙන් ම දුරස්ත අනාගතයටත් කරනු ලබන නිවැරැදි ආයෝජනයක් වන්නේය.

ජීවිතයට ආරක්ෂණයක් ලබා ගැන්මේ අවශ්‍යතාව ඔබට හොඳින් තේරුම්ගත හැක්කේ ඔබ මරණය ගැන හොඳින් තේරුම් ගත් කල්හිය. පළමුව මරණය ගැන සිතන්න. එය අර්ථවත් මණයක් බවට පත්කරගන්න අද සිට ක්‍රියාත්මක වන්න. ඒ සඳහා ඔබ ඔබගෙන්ම පහත සඳහන් ප්‍රශ්න ගැන අසා ඔබම පිළිතුරු සපයාගන්න. ඔබ සාර්ථක ජීවිතයක් ගත කරන බව ඔබ දැනගන්නේ කෙසේද? අපගේ ජීවිතයෙන් මූලික පැතිකඩ තුනක් ඇත. ඒවා නම්,

මා මා සඳහා ගත කරන ජීවිතය
මා අන්‍යයන් සඳහා ගත කරන ජීවිතය හා
මා විශ්වය සඳහා ගත කරන අධ්‍යාත්ම ජීවිතය යනුවෙනි.

ඔබ මේ පැතිකඩ තුනම පරිපූර්ණව ජීවත් වන විට ඔබගේ ජීවිතය පරිපූර්ණ වනු ඇත.

ඔබ ඔබගේ ජීවිතය පරිපූර්ණ ජීවිතයක් බවට පත් කර ගැනීමට සමස්ත ජීවිතය ම සැලකිල්ලට ගෙන ජීවත්වීමට උනන්දුවන්න. අද මේ මෙහොතේ සිට ඔබේ ජීවිතයට නව වටිනාකමක් ලබාදෙන්න. සුන්දර මරණයකට සූදානම් වන්න. ඒ සඳහා සුන්දර ජිවිතයක් ගත කරන්න.

සුන්දර ජීවිතයක් - සුන්දර මරණයක් හා සුන්දර සංසාරික අනාගතයකට සූදානම්වන්න.