Print this Article


සුපසන් ජීවිතයකට 47 -   පවුල තුළ තමන් ගුණයහපත් මිත්‍රයෙක් ද?

පවුල තුළ තමන් ගුණයහපත් මිත්‍රයෙක් ද?

අප පොසොන් පෝය දිනයෙහි සිඟාලෝවාද සූත්‍ර දේශනාව පිළිබඳව විවරණයකට යොමුව අපාය මුඛ කරුණු හයක් පිළිබඳව හා ඇසුරු නොකළ යුතු මිත්‍රයන් සතර දෙනෙක් හා ඇසුරු කළ යුතු මිත්‍රයන් සතර දෙනෙක් පිළිබඳව කතා කළා. අද අප ඇසුරු කළ යුතු මිත්‍රයන් සතර දෙනා හඳුනාගනිමු.

උපකාරක මිත්‍රයා - එනම් නිරන්තරයෙන් ම මිතුරාට සුහදව උපකාරවන මිත්‍රයායි. මිත්‍රයා කරදරයකට පත් වූ විටක ඒ මිත්‍රයා මනාව රැක ගනී. සමහර විටක මත් වතුරට යොමුවන මිත්‍රයෙක් නම් එයින් වළක්වා ගනියි. ඔහුගේ හෝ ඇයගේ ධනය රැක දෙයි. බියට පත් වූ විටක, ගැටළුවක් ඇති වූ විටක බියෙන් නිදහස් වෙන්නටත් ගැටලුවෙන් නිදහස් වෙන්නත් උපකාරී වෙයි. යම් කාර්යයක් ඇති වූ විටක එයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දෙගුණයෙන් තෙගුණයෙන් උපකාර කරයි. යම් විටක අවශ්‍ය නම් ධනය පවා ලබාදෙයි. සැබවින් ම හදවතින් ම කරුණා මෛත්‍රීය දක්වන මෙවැනි මිත්‍රයෙක් හඳුන්වන්නේ උපකාරක මිතුරා හැටියටයි. තමනුත් එවැනි මිත්‍රයෙක් බවට පත්වුණොත් එම ජීවිතවලට බොහෝ කෙනෙකුගේ ප්‍රිය ස්වභාවය කැමැත්ත ඇතිවෙනවා නොඅනුමානයි.

දෙවැනි ඇසුරු කළ යුතු මිත්‍රයා නම් සමාන සුඛ දුක්ඛ මිත්‍රයා හැටියට ධර්මයේ පෙන්වා දෙනවා. එනම් තමාගේ සිතේ කිසිඳු රහසක් පවත්වා නොගෙන මිතුරාට එය පවසයි. මිතුරාගේ යම් රහසක් වේ නම් ඒවා මැනවින් රකියි. විපතක් පැමිණි විට අත් නොහරියි. මිතුරා වෙනුවෙන් ජීවිතය පවා පරිත්‍යාග කොට උදව්කරන්නට සැරසේ. සමානව දුකේ දී මෙන්ම සැපේ දී පිහිට වන මිත්‍රයාය.

මී ළඟට දක්වන්නේ අත්ථක්ඛායි මිත්‍රයායි. අත්ථක්ඛායි මිත්‍රයා නම් තම යහළුවා පවින් වළක්වනවා. පිනට යොමු කරනවා. පෙර නොඇසූ යහපත් දෙයකට, ධර්මයකට කැඳවාගෙන යනවා. එය යන්නට සලස්වනවා. සුගතියට මඟ කියා දෙනවා. මෙන්න මේ කරුණුවලින් යුතු මිත්‍රයා අත්ථක්ඛායි මිත්‍රයා හැටියට දක්වනවා.

හතරවන මිත්‍රයා නම් අනුකම්පක නමින් දක්වනවා. එනම් මිතුරාගේ යම් පිරිහීමක් සිදුවුවහොත් එහි දී නොසතුටු වෙනවා මිතුරාගේ අභිවෘද්ධියේ දී වඩාත් සතුටු වෙනවා. යම් කෙනෙක් මිතුරාගේ අගුණ කියනවා නම් එය වළක්වනවා. මිතුරාගේ ගුණ කියනවා නම් එසේ ගුණ කියන අය ප්‍රශංසාවට ලක් කරනවා. එවැනි මිත්‍රයන් හඳුන්වන්නේ අනුකම්පක මිත්‍රයන් හැටියටයි.

මෙහි දී මේ ඇසුරු කළ යුතු මිත්‍රයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අපට පැහැදිලි කොටගත හැකියි. “භරියාච පරමා සඛා” යනුවෙන් ධර්මයේ විස්තර කොට තිබෙනවා. ඇසුරු කිරීමේ දී හොඳම යහළුවා හෝ යෙහෙළිය බවට පත්විය යුත්තේ, පවුල් ජීවිතයක නම් තම බිරිඳ බව එහි දක්වා තිබෙනවා. ඒ අනුව ස්වාමි පුත්‍රයා හා ස්වාමි දියණියක් මෙසේ විස්තර කළ ආකාරයෙන් හොඳම යහළුවා හා යෙහෙළිය බවට පත්වන්නට පුළුවනි නම් එවැනි පවුල් ජීවිතයක් ඉතාම සුපසන් වූ ජීවිතයක් හැටියට දැක්විය හැකියි.

භාර්යාවන් පිළිබඳව දක්වන ධර්ම කතාවේදීත් ‘සකී භරියා’ හැටියට යෙහෙළියක් වගේ බිරිඳක් පවුල් ජීවිතයක පවතින්නේ නම් අන්න එවැනිම පවුල් ජීවිතයක් සුපසන්වන බව ධර්ම කතාවේ පෙන්වාදී තිබෙනවා. ඒ නිසා ආශ්‍රය කළ යුතු මිතුරන් පිළිබඳව ධර්ම කතාව ආරම්භ කළ යුත්තේ නිවසෙනුයි. දෙමාපියන් දරුවන් අතර ඉහත විස්තර කළ ආකාරයෙන් ගුණයහපත් වූ ආශ්‍රයක් පැවතිය යුතුමයි. ස්වාමියා බිරිඳ අතරත් සහෝදර සහෝදරියන් අතරත් එවැනිම යහපත් වූ ආශ්‍රයක් පවත්වා ගන්නට හැකියාවක් පවතින්නේ නම් යහපත් වූ ම ජීවිත කතාවක් බවට ඔබගේ ජීවිතය ද පත්කොට ගත හැකියි.

මින් අනතුරුව අප සාකච්ඡා කරන්නේ ප්‍රධාන මාතෘකා පෙළවන සදිසා නමස්කාරය පිළිබඳවයි. භාග්‍යවතුන් වහන්සේ මේ සදිසා නමස්කාරය මෙසේ පෙන්වා දෙනවා. මවුපියන් පූර්ව දිශාවයි. ආචාර්යවරයෝ දකුණු දිශාවයි. අඹු දරුවෝ බටහිර දිශාවයි. ඒ වගේ ම යහළු හිතමිතුරෝ උතුරු දිශාවයි. දැසි දස් කම්කරුවෝ යට දිශාවයි. මහණ බමුණෝ උඩ දිශාව හැටියටයි.

වර්තමාන පරිසරයට පවා ඉතාම අවශ්‍ය කරන කරුණු හයක් ලෙස මේ සදිසා නමස්කාරය පෙන්වා දිය හැකියි. ගෘහස්ථ ජීවිතයක් ගත කරන ඔබට ලෝකෝත්තර දියුණුව මුල් කරගෙන සීලය, සමාධිය, ප්‍රඥාාව ඔස්සේ කටයුතු කළත් ඔබගේ පවුල් පරිසරය තුළ යම් වූ ද නිවීමක් සැනසීමක් නොමැත්තේ නම් ඔබට ඔබගේ ධර්ම මාර්ගයට විටින් විට හෝ බාධා පැමිණෙනවා නොඅනුමානයි. වර්තමාන පරිසරය තුළ ධර්මානුකූල ජීවිත පවත්වන බොහෝ දෙනාට ඇති බලවත්ම ප්‍රශ්නයක් වී ඇත්තේ තම ධර්ම මාර්ගයට ස්වාමියාගෙන් හෝ බිරිඳගෙන් හෝ මව්පියන්ගෙන් හෝ දරුවන්ගෙන් හෝ එයට සමාන උපකාරයක් නොලැබී යාමයි. බොහෝ තැනක ධර්ම මාර්ගයට එකතු වී ඇති මව්පියන්ට තම දරුවන්ගෙන් ඒ සඳහා උපකාර නොලැබෙන බව අසන්නට ලැබෙයි. එයට හේතුව නම් කුඩා කල පටන් ම දරුවන් ධර්ම මාර්ගයට යොමු නොකර ගැනීමයි. වර්තමාන පරිසරයෙහි බාහිර අධ්‍යාපනයට, ක්‍රීඩාවන්ට, කලාවන්ට හා ජනප්‍රියවීමට දරන උත්සාහයට මව්පියන් ද එකතු වී සිටිනවා. මෙහි දී මව්පියන් තමන්ට නොලැබුණු බොහෝ දේ දරුවන් වෙතින් මානසික වශයෙන් ඉටුකරගැනීමට උත්සාහ කරනවා. එහි දී ආධ්‍යාත්මික සංවර්ධනය කරන්නට සියලු දෙනාම නොවුණත් බොහෝ තරුණ මව්පියන් උත්සාහ කරන බව පෙනෙනවා. මෙහි දී ආධ්‍යාත්මික සංවර්ධනයෙන් තොරව ලෞකික අධ්‍යනයක් හා විෂයයන් පිළිබඳව දක්ෂතාවයක් ඇතිකර ගන්නා දරුවෝ ගස් ගල් මෙන් හැදී වැඩී කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රීයෙන් තොරව දහමට නතු නොවුණු සිත් ඇතිව කටයුතු කරන බව පෙනේ.

යම් සුනඛයෙක් පිස්සු වැටීමේ දී පළමුවෙන් ම සපා කා හැකි වන්නේ ගෙදරම සිටින අය මෙන් ආධ්‍යාත්මික සංවර්ධනයකින් තොරව බාහිර විෂය දැනුමෙන් පමණක් සංවර්ධනය වූ දරුවන්ගෙන් පළමුවරටම පීඩාව සිදුවන්නේ පවුලේ සිටින මවුපියන්ටමයි. මෙන්න මේ නිසා මවුපියන් දරුවන්ගෙන් පටන් ඔවුනොවුන් කෙරෙහි යුතුකම් කරමින් ලෞකික වශයෙන් සීලයේ පිහිටා දියුණුවක් ලබනවා වගේ ම සියල්ල අනිත්‍ය වූ ලොවක් තුළ ලොකෝත්තර දියුණුවක් ඇතිකර ගැනීමටත් උත්සාහ ගත යුතුමයි.

මේ නිසා සදිසා නමස්කාරයේ දී මව්පියන් දරුවන් අතර කෙබඳු සම්බන්ධයක් පවත්වාගත යුතු දැයි අවුරුදු දහස් ගණනාවකට පෙර භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් පෙළ නිතර අප ඔබ සියලු දෙනා විසින් සිහිපත් කළ යුතුමයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුකොට දරුවන්ට මෙසේ අවවාද කරයි. කරුණු පහකින් දරුවන් විසින් පූර්ව දිශාව වූත් මව්පියන්ට උපස්ථාන කළ යුතුයි. පූර්ව දිශාව හෙවත් පෙරදිග, නැගෙනහිර කියන වචනවලින් පැහැදිලි වන්නේ හිරු උදාවෙන දිශාව හැටියටයි. දරුවන්ගේ ලෝකයට ජීවිතාලෝකය සැලසෙන්නේ දෙමාපියන් වෙතිනුයි. මේ නිසා දෙමාපියෝ පෙරදිග දිශාව හැටියට ම නම් කොට ඇත. දරුවන් විසින් මහළුව සිටින මව්පියන් පෝෂණය කළ යුතුයි. මව්පියන්ට යම් කටයුත්තක් පැමිණි කල්හි ඒ දේ සිදු කළ යුතුවෙයි. මව්පියන්ගෙන් ලද යම් ධනයක් දායාදයක් වේ නම් එය රැකගත යුතුයි. මව්පියන්ගෙන් ලද පැවැති පරපුර එනම් ගුණ යහපත්කම් මනා සේ ආරක්ෂා කළ යුතුයි. ඒ වගේ ම මව්පියන් මිය පරලොව ගිය පසු දානා දී පින් දහම් කොට මව්පියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදු කළ යුතුයි. දරුවන් මව්පියන් වෙනුවෙන් කළයුතු මේ යුතුකම් පහ අප විසින් ධර්ම විවරණයකට ලක්කොට ගත යුතුයි.

තථාගත බුදුරජාණන් වහන්සේගේ ගිහිකල එනම් සිද්ධාර්ථ කුමරුන්ගේ එකම දරුවා වූයේ රාහුල කුමාරයායි. සංසාරගමනේ පටන් සම්මා සම්බෝධිය පිණිස උපකාර කළ බොහෝ දෙනා අතර යසෝධරා වගේ ම රාහුල කුමරාත් සෙවනැල්ලක් සේ කටයුතු කළ බව පැහැදිලියි. වෙස්සන්තර ජාතකයේ දී ජාලිය නම් වූ පුත්‍රයා වූණේ ද මේ රාහුල කුමරාමයි. බුදුරජාණන් වහන්සේ සංසාර ගමනේ පටන් තමන්ට ආධ්‍යාත්මික වශයෙන් සම්මා සම්බෝධිය පුරණ ගමනේ දී උපකාර කළ මේ රාහුල වෙනුවෙන් ආධ්‍යාත්මික වශයෙන් උපකාර කළහ. අරහත් බෝධිය ලැබීම දක්වා ම ආධ්‍යාත්මික වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් රාහුල තෙරුන්ට රැකවරණය ලබාදුන් බව පැහැදිලියි.