Print this Article


මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමියන් විසින් ඉදිකරවන ලද මිද්දෙණිය වාට්ටු සංකීර්ණය විවෘත කිරීම 25 වනදා

මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමියන් විසින් ඉදිකරවන ලද

මිද්දෙණිය වාට්ටු සංකීර්ණය විවෘත කිරීම 25 වනදා

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් මිද්දෙණිය ග්‍රාමීය රෝහල් පරිශ්‍රයේ ඉදිකරවන ලද අභිනව වාට්ටු සංකීර්ණය මෙම 25 වන දින පස්වරු 6.00 ට ජනතා අයිතියට පත් කෙරේ. එදිනම රාත්‍රී 8.30 සිට අභිනව වාට්ටු සංකීර්ණය තුළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පැවැත්වේ.

රට දැය වෙනුවෙන් තම වටිනා ජීවිත පරිත්‍යාග කළ වීරෝදාර රණවිරුවන් සිහි කිරීමේ අරමුණින් ඉදි කළ එම වාට්ටු සංකීර්ණය ඇඳන් 20 බැගින් වූ කාන්තා හා පිරිමි වාට්ටු දෙකකින්ද, භික්ෂූන් වහන්සේලා සහ සිල්මාතාවන් සඳහා වෙන වෙනම ඇඳන් 2 බැගින් වූ කාමර දෙකකින් ද, රෝගීන් , වෛද්‍ය, හෙද හා අනෙකුත් කාර්ය මණ්ඩලයන් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් ද සමන්විත වේ.

වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව එහි සිදු කෙරෙන පළමු සද්කාර්යය ලෙස, 26 වන ඉරු දින පෙරවරු 8.30 සිට පස්වරු 2.30 දක්වා මිද්දෙණිය හා අවට ප්‍රදේශවාසීන් වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේද සහභාගීත්වයෙන් වෛද්‍ය සායනයක් පැවැත්වේ. එහි දී ස්නායු රෝග, හදවත් රෝග, අක්ෂි රෝග , දියවැඩියා රෝග, ළමා රෝග සහ දන්ත රෝග පිළිබඳව විශේෂ අවධානය යොමු කරන අතර නොමිලයේ පැවැත්වෙන එම වෛද්‍ය සායනය සඳහා පැමිණ සහභාගි වන ලෙස මිද්දෙණිය හා අවට ප්‍රදේශවාසීන්ට ඇරයුම් කෙරේ. මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනම මගින් එදින සහභාගි වන රෝගීන් සඳහා නොමිලයේ ඖෂධ සහ ඇස් කණ්ණාඩි ලබා දීමට ද කටයුතු කෙරේ. ලේ දන්දීමේ පින්කමක්ද එදින පැවැත්වේ.

විවෘත කිරීමේ උත්සවයට සමගාමීව, 26 වන දින පස්වරු 6.00 ට රණවිරුවන්ටත් තමන් වහන්සේට නන් අයුරින් සහාය දැක්වූ දෙස් විදෙස් හැමටත් පුණ්‍යානුමෝදනා කිරීමේ සහ ආශිර්වාද කිරීමේ බෝධි පූජා පින්කමක් මිද්දෙණිය පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.

26 දින පැවැත්වෙන උක්ත වෛද්‍ය සායනය සඳහා පැමිණ තම දායකත්වය ලබා දෙන ලෙසට මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ ශිෂ්‍යත්ව ලාභී වෛද්‍යවරුන් වෙතින් කාරුණික ඉල්ලීමක් ද එම පදනම මගින් සිදු කෙරේ.