Print this Article


තරුණ වියේදීම ආර්ථිකය කළමනාකරණය කරගත යුතුයි

තරුණ වියේදීම ආර්ථිකය කළමනාකරණය කරගත යුතුයි

ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ධර්මය සැම විටම ඔබට මඟ පෙන්වනු ලබන්නේ ඔබගේ මේ ලෝක ජීව්තය වඩාත් තෘප්තිමත් හා වඩාත් යහපත් ජීවිතයක් බවට පත් කිරීමටයි. එමෙන්ම බුදු දහම ලබාදෙන උපදේශය මත පිහිටා කටයුතු කරන පුද්ගලයකු වන ඔබගේ ඊළඟ භවය වඩාත් යහපත් වාසනාවන්ත භවයක් බවට පත්කර ගැනීමේ අවස්ථාව අනිවාර්යෙන්ම උදාවෙයි.

ඔබගේ ජීවිතයට ඉතාම වටිනා කාරණා දෙකක් පිළිබඳව ඔබගේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන්නෙමු. ඔබ සූදුවෙහි ලොල් නොවීමට සහ නෘත්‍ය ගීත දර්ශනයෙහි ලෝලියකු නොවිය යුතුය. යන කාරණාව පිළිබඳව අප දැනුවත් විය යුතුය. අප රට තුළ ඉතාම වේගයෙන් ,ඔට්ටු තැබීමේ ව්‍යාපාර හෙවත් කැෂිනෝ වැනි මුදල් ඔට්ටුවට තබා කරනු ලබන්නාවූ සූදු ව්‍යාපාර ප්‍රචලිත වෙමින් තිබෙයි. තරුණ ප්‍රජාව ලෙස ඔබ තේරුම් ගත යුත්තේ කැෂිනෝ වැනි දේවලට අප රට තුළ ඉතාම සුළු කණ්ඩායමක් නියැලුණද රේස් බයි රේස් වැනි පිටරටවල දුවන අශ්වයන් සදහා ඔට්ටු ඇල්ලීම වැනි ක්‍රියාවල රට පුරාම විශාල පිරිසක් නියැලෙමින් සිටිම අපට දැක ගත හැකි කාරණාවක් . අප සුදූවකට නොයා යුත්තේ ඇයි? සූදුවෙන් ලබා තිබෙන ජයග්‍රහණයන් පිළිබඳව යමි පුද්ගලයකුට ප්‍රකාශ කළ හැකියි. සූදූ කර දිනපු පිරිස් සිටිනා බවට ඇතැමෙකු ප්‍රකාශ කළ හැකියි. සූදු කර දිනපු පිරිස් ඇති. එම අයගේ අදහසට අප විරුද්ධ වනවා නොවේ. සූදුව තුළින් ලබපු ජයග්‍රහණයන් ඇතුළත සාර්ථක වූ පුද්ගලයන් සොයා ගැනීම දුෂ්කර කාර්යයක්. ගංගාවක් වුවද ගලා බසිද්දී එය විශාල වන්නේ ක්‍රමානුකූලව ටිකෙන් ටිකයි. ස්වභාව දහමේ අපූර්ව නිර්මාණයක් වූ ගංගාව අපට උගන්වන්නාවූ පාඩම වනුයේ, ගංගා සෙමින් සෙමින් ටිකෙන් ටික බලවත් විය යුතු බවයි. ඔබගේ වත්ත තුළ පුංච් පැළයක් සිටුවා ඔබ බලා සිටියහොත්, කාලයාගේ අවෑමෙන් එම ගස මහා වෘක්ෂයක් වී ඇති ආකාරය අවුරුදු 60ක් 70ක් වූ ඔබට බලාගත හැකිවෙයි. එය සෙමින් සෙමින් ක්‍රමයෙන් පියවරෙන් පියවර සිදුවන ක්‍රියාවක් නිසා එම වෘක්ෂය මහා විශාල වුවත් එය දරාගත හැකිවන්නේ එම නිසයි. පුංච් දොළ පහරකින් ඇළ පහරකින් දිය කඩිත්තකින් ආරම්භ වන ගංගාව මුහුද ආසන්න වන විට මහා සැඩ පහරක් සහිත විශාල ගංගාවක් වුවත්, ගඟට එය දරාගත හැකි වූුයේ එය පියවරෙන් පියවර විශාල වූණ නිසාමය. සූදුවකින් ලබන ජයග්‍රහණයක් ඉතාම හදිස්සියකදී ඔබ අතට පත්වෙන දෙයක්. ජීවිතයේ විශාල භෞතික මුදලක් ලබාගත හොත් ඔහුගේ විනාශය ඒ තුළින් ආරම්භ වෙයි. ඔහුට එය කළමනාකරණය කරගැනීමට නොහැකියාව තුළ සිට විවිධ ප්‍රශ්න පැන නැගීමට පටන් ගනී.ඒ නිසා හදිස්සියේ ලබන්නාවූ ජයග්‍රහණයන් පිළිබඳව ඔබගේ මනස විශ්වාස කරවන්නට එපා. එම ජයග්‍රහණය භුක්ති විඳීමට ඔබගේ මනස තුළ ලෝලත්වයක් ඇතිකර නොගත යුතුයි. අලුත් ප්‍රශ්නයක් උත්පාදනය වීමට අනිවාර්යෙන්ම පටන් ගනී. ඒ වගේම සූදුව තුළ දිනුවොත් වෛරක්කාරයන් විශාල පිරිසක් ඇතිවන බවත්, පැරදුණහොත් දුක උරුම වන බව බුදුපියාණන් වහන්සේ වදාරා ඇත.

එනිසා තරුණ වියේදී සිටම ඔබගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍යයයි. ආර්ථිකය ශක්ති සම්පන්න නොවුන පුද්ගලයකුට ගිහි ගෙදර තුළ සිට තමාගේ ආධ්‍යාත්මය ශක්ති සම්පන්න කරගැනීම දුෂ්කර කාර්යයක්. ඔහු පැවිද්දකු බවට පත්වනවා නම්, ප්‍රශ්නය විසඳේවි. නමුත් ඔහු ගිහි ගෙදරට වී සිටිනවා නම්, ඔහුගේ භෞතික ජීවිතය ඔහුගේ ලෞකික ජීවිතය, තුළ කිසියම් සාර්ථකත්වයක් ඔබ ලඟාකර ගත යුතු වෙනවා. එම සාර්ථකත්වය සමඟ ඔහුට සත්‍ය දකින්න, සත්‍ය අවබෝධ කරගන්නට, නිසරු බව දකින්නට , හිස් බව දකින්නට පදනමක් ලැබෙයි. එම නිසා ඔබ සූදුවට කිසි ලෙසකින් හෝ ඇබ්බැහි නොවිය යුතුය.

ලංකාව තුළ සෑම නගරයකම පාහේ රේස් ඔට්ටු දමන මධ්‍යස්ථාන බිහිවෙලා තියෙනවා. එම සෑම ස්ථානයකදීම මිනිසුන් විශාල ප්‍රමාණයක් රේස් ඔටිටු දමමින් සිටිනවා. රේස් ඔට්ටු අල්ලපු මිනිසුන් සත්‍ය වශයෙන්ම දිණුවා නම්, රේස් බුකි හිමිකරුවන් පිටරටවල මාලිඟා තනන්නේ කොහොමද? පිටරට බැංකු වල විශාල තැන්පතු දමන්නේ කෙසේද? ඔබ සියයට අනූ නවයක් දෙනා පිරිස පැරදුන නිසා ඔවුන්ට පොහොසත් වීමට හැකි වුණා. ඔබ කල්පනා කළයුතු වන්නේ එක් පුද්ගලයකු හෝ එක් පවුලක් හෝ පවුල් කිහිපයක් ඉතාම සුඛෝපභෝගී තැනකට පත්වෙනවා මිස සූදුවට ලොල්වීම තුළ ඔබ වැනි සාතිශය බහුතරයක් පිරිස දුප්පත්වීම හැර වෙන කිසිවක් ලංකාව තුළ සිදුවී නැහැ.

අමෙරිකා එක්සත් ජනපදය තුළ නොවඩා යනුවෙන් එක ප්‍රාන්තයක් තිබෙන අතර එය පවුකාරයන්ගේ නගරය හෙවත් සින් සිටි යනුවෙන් හදුන්වනු ලබයි. එහි තිබෙන ලාස්වේගර්ස් නගරය තුළ සම්පූර්ණයෙන්ම සූදුව පමණක් තිබෙන අතර එම සූදුව සමඟ ගැට ගැසුණ සංස්කෘතියක්ද ඇත. සූදුවට ඇබ්බැහි වුවන් ස්ත්‍රී ධුර්තයන් බවට පත්ව තිබෙන අතර සුරාධුත්තෝ හෙවත් සුරාවෙනි ලෝලියකු බවටද ඔවුන් පත්ව ඇත. එම ලාස්වේගර්ස් නගරය තුළ තිබෙන ප්‍රධාන කැෂිනෝ ශාලාවල ඔරලෝසු සවිකර නැත. එය තුළට ඇතුළු වන කිසිවකු රාත්‍රිය කුමක්ද? කියා දන්නේ නැහැ. දහවල කුමක්ද? කියා දන්නේ නැහැ. ඔවුන් ගෙනයන ඩොලර් ලක්ෂ ගණන් මුදල් සූදුවට යොදවමින් කම්න් බොමින් ස්ත්‍රීන්ට වසඟ වෙමින් ජීවිතය ගෙවමින් කර එම ශාලාව තුළින් ඔවුන් එලියට පැමිණෙනුයේ ඉතාම හිස් මානසිකත්වය තුළ කඩා වැටුණ චෛතසිකයන් තුළයි. ඒ නිසා ඔබ මේ වගේ බෞද්ධ රටක් තුළ වුවත් එවැනි සංස්කෘතියක් ඇති වුවහොත්, අපගේ බෞද්ධ පිරිස තවත් දුප්පත් වීම , තව තවත් අසරණ තත්වයට පත්වීම , රට ඇතුළතම දුගියන් බවට පත්වී රටේ උරුමය අහිමි පිරිසක් බවට පත්වීම වළක්වා ලීමට බැහැ. එම නිසා අපගේ ජීවිත ගොඩනගා ගැනීමට නමි, සූදුවෙන් වෙන්වීම පළමු අංගයක් විය යුතුය.