Print this Article


දන්සැලෙන් පින්කමක්

(මහරගම ටී.ඩී. සිරිසේන)

වන්දනාමාන සඳහා රුවන්වැලි සෑරදුන් වෙත පැමිණෙන සැදැහැවතුන්ට එම සෑරදුන් ඉදිරිපිට භාවනානුයෝගීව පසුවන භික්ෂූන් වහන්සේ නමක් බොහෝවිට හමුවේ. ඉංගිරියේ විජිත හිමියන් වසර ගණනාවක් තිස්සේ කිසිවෙකුටත් බාධාවක් නොවන අයුරින් එම කාර්යයෙහි යෙදෙති. උන්වහන්සේ දිනකට වළඳන දානවේල සපයාගන්නේ පිණ්ඩපාතයෙනි.

වසර පහක් තිස්සේ නොකඩවා සෑම පුන්පෝදිනකටම පෙර දිනයේ රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහබෝ රදුන් අතර පෙත්මගේදී තවත් සැදැහැවත් පිරිසකගේ සහාය ඇතිව පවත්වන දන්සැල ඉකුත් මැයි 20 දින නවතා එම භාණ්ඩ සියල්ල, නාය යාමෙන් විපතට පත් අරණායක ජනතාවට පිරිනැමීම සඳහා තමන් වහන්සේගේම සුරතින් කෑගල්ල දෙපත්ගම රතනයෝගාශ්‍රමය වෙත භාරදීමට කටයුතු කළ විජිත හිමියෝ කළ ඒ සත්කාර්යය කාටත් ආදර්ශයක් විය.

පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුද සමඟ තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණෙන සැදැහැවතුන් පූජා කරන සියල්ල උන්වහන්සේ පසුගිය වසර පහකට අධික කාලයක් තිස්සේ මේ අයුරින් දන් දෙන අතර මෙවර අරණායක ප්‍රදේශයට ගෙනගියේ ‘63’ වැනි දන්සැල සඳහා බෙදාදීමට තිබූ දෑය. පූජා නගරයේ සංඝමිත්තා මාවතේ ගොඩගේවත්ත පිහිටි’ සීලකුටිය’ නම් කුඩා කුටියේ ගතකරන උන්වහන්සේ සැදැහැවතුන් කිහිප දෙනෙකු හා එක්ව කරන මේ කාර්යයන් සඳහා කිසිවෙකුගෙන් හෝ ආධාර ඉල්ලීමක් නොකරන බැව් අප සමඟ පැවැසූහ.