Print this Article


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් නිකුත් කරනලද විශේෂ පණිවුඩ

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් නිකුත් කරනලද විශේෂ පණිවුඩ:

ලක්දිවට ශාසනාලෝකය උදා වූ පොසොන් පුන් පොහොය දිනය

බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකළේ සම්බුද්ධ පරිනිර්වාණ-යෙන් වසර දෙසිය තිස්හයක් ගත වූ පොසොන් මස පුරපසළොස්වක පොහෝ දිනයේ දීය. එදින මිහිඳු මහරහතන්වහන්සේ දේවානම්පියතිස්ස මහරජු ප්‍රමුඛ පිරිසට, චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් දහම් දෙසූහ. එම සූත්‍රදේශනාවෙන් ප්‍රකට වන්නේ හැම කරුණක්ම තර්කානුකූලව විචාරශීලීව පිළිගත යුතු බවය. එම පදනමෙහි පිහිටා කටයුතු කිරීමෙන් සත්‍ය සොයා ගැනීමටත්, ලෝකස්වභාවය මැනවින් අවබෝධ කර ගැනීමටත් ඉවහල් වන යථාභූතඤාණදර්ශනය පහල කරගත හැකිය. බුදුදහමෙහි ආභාෂය තුළින් අපට උරුම වූයේ නිදහස් චින්තනය හා හුදු ආගමික ජීවිතය පමණක් නොවේ. එමගින් ලංකාද්වීපවාසීන්ගේ සංස්කෘතික ජීවිතය වඩාත් පෝෂණය විය.අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය මුල්කොට ගත් නව ජීවන දර්ශනයක්ද, නව ජීවන මාර්ගයක්ද බුද්ධාගම නිසා අපට උරුම විය. ජීවිතයේ සරල බව හා චාම් බවත් සාමකාමී හා අල්පේච්ඡ බවත් ඇති විය. මෙරට වාස්තු විද්‍යාවත්, වාරි කර්මාන්තත් මුර්ති කලාවත්, සිතුවම් කලාවත් එමගින් පෝෂණය ලැබීය. දසරාජ ධර්මයෙන් රට කරවීමට රාජ්‍ය පාලකයන් තුළ පෙළඹවීමක් ඇතිකෙරිණ. සිංහල බෞද්ධයන්ට සමඟිය, ඉවසීම ,මෛත්‍රීය, කරුණාව වැනි උතුම් ගුණධර්ම පුුරුදු පුහුණු කළේද මිහිඳු මාහිමි රැගෙන ආ බුදුදහමෙනි. මෙසේ සිංහල බෞද්ධයන්ගේ ලෝකෝත්තර මෙන්ම ලෞකික දියුණුවට මුල්වූ බුදුදහම වඩ වඩාත් ජීවිතයට සම්බන්ධ කරගැනීමට සුදුසු දිනයක් වශයෙන් පොසොන් පොහෝ දිනය සලකාගත හැකිය.

ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට අතිශයින් සුවිශේෂී වූ පොසොන් පොහෝ දිනය කෘතවේදීව සමරමින් අඩසියවසකටත් වැඩි කාලයක සිට ලේක්හවුස් ආයතනය මගින් සිදුකෙරෙන පොසොන් පූජා වැඩසටහන් අගය කළ හැකිය. විශේෂයෙන් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පනස් හතරවන වරටත් ඉටු කිරීමට නියමිතව තිබීම සතුටට කරුණකි. ඊට සමගාමීව බුදුසරණ පුවත්පත මගින් දීපව්‍යාප්ත රචනා තරගයක් සහ උතුරුමැද පළාතේ පාසල් හා දහම්පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් කථික තරගයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබීමද, මෙවර බුදුසරණ පුවත්පත පිටු 52 කින් යුතුව නිකුත් කිරීමට කටයුතු යෙදීමද පැසසිය යුත්තකි. ලේක්හවුස් ආයතනය මගින් මෙබඳු දැහැමි පුණ්‍ය කටයුතු ඉටුකිරීමෙහිලා මුල්වීම අන්අයටද ආදර්ශයක් ගෙන දෙනු නොඅනුමානය. බුදුසරණ පුවත්පත මගින් ලබාදෙන දහම් දැනුමට අමතරව මෙබඳු පුණ්‍ය කටයුතු ඉටුකිරීමට ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය හා ධෛර්යය ලැබේවායි ආශිංසනය කරම්හ.


මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය අනුස්මරණය කිරීම බලවත් වගකීම හා යුතුකම ද වේ

අනුබුදු මිහිදු මාහිමියන් වහන්සේ අප ශ්‍රී ලංකාද්වීපයට බුදුදහම හඳුන්වා දුන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය. ශ්‍රී ලාංකික බෞද්ධයින් හට අතිශයින් වැදගත් දිනයකි. උන්වහන්සේ දේවානම්පියතිස්ස රජ දවස මිස්සක පව්වට වැඩමකොට අප රටට බුදුදහම හඳුන්වා දීම නිසා ජාතික, ආගමික, අධ්‍යාපනික මෙන්ම සංස්කෘතිකමය වශයෙන් හෙළ ජාතිය නව දිසාවකට යොමු වූහ. අනුරාධපුර මහා විහාරය මුල්කර ගනිමින් ඇරඹි මෙම ශාසනික ප්‍රබෝධය ලංකාවේ ගම්දනව් සිසාරා වෙහෙර විහාර ඉදිකරමින් කුලදරුවන් පැවිදි කරමින් ව්‍යාප්ත වන්නට විය. මේ නිසාම කෘෂිකර්මාන්තය මුල්කරගත් ජන ජීවිතය තුළ ආර්ථික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන්ද ඇති වූ අභිවර්ධනය නිසා තිරසාර සංවර්ධනයක පදනම වැටුණි. ‘ගමයි පන්සලයි වැවයි දාගැබයි’ යන තේමාව යටතේ රට තුළ ඇති වූ මෙම පරිවර්තනය නිසා පන්සල කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් මෙන්ම උසස් බෞද්ධ සංස්කෘතියක්ද බිහිවිය. මේ නිසාම බොදු හදවත් තුළින් බුදුදහම වෙන් කළ නොහැකි තරමට අද දක්වාම සුරක්ෂිතව පැවතීමේ පදනම එදා ඇතිකළ බව නොරහසකි. අහස සිපගන්නා මහා දැගැබ් ද තෙරක් නොපෙනෙන මහ ජලාශ ද අන් කිසි රටකට දෙවෙනි නොවන උසස් වාරිමාර්ග ක්‍රම ආදිය බිහිවූයේ බුදුදහම තුළින් ලද හික්මීම නිසාවෙනි.

ලොව ඇති අන් කවර ජාතියකට හෝ දෙවැනි නොවන උසස් ජාතියක්, සංස්කෘතියක් නිර්මාණය කිරීමෙහි ලා උපස්ථම්භක වු මිහිඳු මාහිමියන්ගේ මෙම ලංකාගමනය අනුස්මරණය කිරීම ශ්‍රී ලාංකික අප කාගෙත් බලවත් වගකීම හා යුතුකමද වෙයි. 54 වන වතාවටත් ලේක්හවුස් ආයතනය මිහින්තලා ආලෝක පූජා පැවැත්වීමත් ඊට සමගාමීව සිදුකරන අනෙකුත් සමාජ සත්කාර කටයුතු ද බෙහෙවින් අගය කළ යුතුව ඇත.

අප රට තුල පැවති අතීත ශ්‍රී විභූතිය යළි ගොඩනඟාගැනීමට මෙවන් මෙහොතක අපි සැවොම අදිටන් කරගත යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමු. ලක්වාසි සැමට තිසරණ සරණින් යහපතක්ම වේවායි මෙම පොහෝ දින ශුභාශිංසනය කරම්හ.


ධර්මයම ධනය වශයෙන් ගෙන එයින් තොර සැපතක් නැත යන්න සිහියට ගනිමු

අපගේ ශාස්තෘ භාග්‍යවත් තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයට අයත් දුල්ලභ පාතුභාව සූත්‍රයේ දී මහණෙනි, ලෝකයෙහි තිදෙනෙකුගේ පහළවීම දුර්ලභ වන්නේ යයි දෙසු සේක. ඒ කවර තිදෙනෙකුගේද යත්. අර්හත් සම්මාසම්බුද්ධ තථාගතයන් වහන්සේගේ ලෝකයේ පහල වීම දුල්ලභය. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධකරන ලද ධර්මවිනය දේශනා කරන පුද්ගලයකු පහළ වීම දුල්ලභය. මහණෙනි, කළගුණ දන්නා වූ ( කළ ගුණ මතකයෙහි තබාගෙන) කළගුණ සළකන්නා වූ පුද්ගල තෙමේ ලෝකයෙහි දුල්ලභය යනුවෙනි. (අං:නි.1- පිටුව 474 -3.3.2.2 සූත්‍රය)

මෙහිලා ඉකුත් වෙසක් පොහෝ දා අපි සියල්ලෝ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් උපහාර කළෝ ලොව පහළවන පළමු දුර්ලභ පුද්ගලයා වූ සම්මා සම්බුද්ධයන් වහන්සේ සිහිකොට ගෙනය.අද පොසොන් පොහෝදා අප සිහිපත් කොට උපහාර දක්වන්නේ දුල්ලභ දෙවන පුද්ගලයාට බව මැනවින් සිහි කටයුතුය. බුදුරජාණන් වහන්සේ දෙසුධර්ම විනය තම ජීවිතය තුළින් සාක්ෂාත් කොට ගෙන අර්හත්වයට හෝ කිසියම් සම්බෝධි පරායන මාර්ග ඵලයකට පත්වූ පුද්ගලයන්ගේ දුර්ලභත්වය මෙයින් අදහස් කෙරේ.

මෙයින් අපි අද උපහාර දක්වන දෙවන දුල්ලභ පුද්ගලයා පිළිබඳ කෙටි විමසීමක් කරමු. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු 237 කට පමණ පසු ලක්දිවට අනුබුදුවරයෙකු බඳු මහා මහේන්ද්‍ර (මිහිඳු මහ) මහරහතන් වහන්සේ වැඩම කර ඇත. වසර 236 කට පෙර පිරිනිවන් පා වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ගෙන් දතයුතු සියල්ල දැනගත් ධර්මාශෝක මහරජතුමා තථාගතයන් වහන්සේගේ ධර්ම විනය දෙක ලක්දිව ද අවුරුදු පන්දහසක් කල් පවත්නා බව දැන තම පුත් අප දිවයිනට එවූ බව මහාවංශ කථාවේ කියැවේ. (එතැන් සිට බොහෝ විස්තර බෞද්ධ අපි බොහෝ සෙයින් දැනසිටිමු.)

මෙසේ ලක්දිවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ අඹ පැනය හා ඤාති පැනය විමසා දේවානම්පියතිස්ස (දෙවියන් පි‍්‍රය කළ තිස්ස) මහරජුගේ නුවණ දැන, රජු ප්‍රධාන හතලිස් දහසක පිරිසකට පළමු දිනයේදීම සේල චෛත්‍යය භූමියේදී අදින් අවුරුදු 2323 පෙර අද වැනි පොසොන් පොහෝ දාක මිහින්තලාවේ සිට ‘චුල්ලහත්ථිපදෝපම සූත්‍රය වදාළ සේක. දේශනාව කෙලවර රජ තෙමේ ඒ හතළිස් දහසක් පිරිස සමගින් තෙරුවන් සහිත සරණ ශීලයෙහි පිහිටියේය.අනතුරුව එදින රාත්‍රිය මිහින්තලා භුමියේම වැඩසිටි උන්වහන්සේලා දෙවන දවස අනුරාධපුර මහමෙව්නාවට වැඩම කොට සත්දවසකින්ම දේවදූත, විමානවත්ථු, පේත වත්ථු, ධම්මචක්කප්පවත්තන ආදී සූත්‍ර 13 ක් පවත්වා අටදහස් පන්සියයක් දෙනා මාර්ගඵලාවබෝධය කරවූ සේක. බුදුරජාණන් වහන්සේද මෙයට පෙර තෙවරක්ම ලක්දිවට වැඩම කරවූ මුත්, ධර්මවිනය දෙක මෙරටෙහි නොපිහිටියේ ද යන පැනයට මිහිඳු මහමහරතන් වහන්සේගෙන් ලැබූ අනුශාසනාව ලෙස සළකනුයේ ලක්දිව උපන් වැසියකු ගේ පැවිද්ද ඇති කරවීමෙන් එය පිහිටන බවය. මේ අනුව තිස්ස රජුගේ බෑනා වූ මහා අරිට්ඨ මහාමාත්‍යතුමා පැවිදිකරවා ලක්දිව බුදුසසුන පිහිටුවාලූ සේක.

අප අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙසේ ලක්දිවට වැඩම කොට ලක්දිව බුදුසසුන පිහිටුවා දේශනා කොට වදාළ සූත්‍ර දේශනා ඇසු එදවස විසූ බොහෝ ජනයා සතර අපා විස්තර දැන ඒවාට බියෙන් පවින් වැළැකුණේය. මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකෘතියෙන් ගිය දිව්‍යලෝක විස්තර අසා පින්කම් කළෝය.ආසිවිසෝපම දම්සක් පැවැතුම් වැනි සූත්‍ර අසා නිර්වාණාබෝධය සඳහා කුසල් වැඩුවෝය.

එහෙත් අද ද අපි මේ සියලු සූත්‍ර දෙසන්නෝ වෙමු.අසන්නෝද වෙමු. එහෙත් දෙසන්නන් තුළ ආදර්ශය අඩුවීමෙන් දෝ හෝ දැරීමෙන් හා හැසිරීමෙන් තොර අසන්නන් වීමෙන් දෝ හෝ රටවැසියා ගුණ ධර්මයන්ගෙන් තොරවීම බෞද්ධ සමාජයට ගැටලුවක් වී ඇත. මේ දෝෂාරෝපණයෙන් ඔබත් මාත් මිදෙන පරිදි ජීවිතයේ ඉතිරි කාලය” ධර්මයම ධනය වශයෙන් ගෙන එයින් තොර සැපතක් නැත” යන්න හැමවිටම සිහියට ගෙන වාසයකිරීමට අදිටන් කරගන්නෝ වෙමුයි මගේ පොසෙන් පණිවිඩයයි. ආයතනයක් වශයෙන් 54 වන වරටත් සිදු කෙරෙන ලේක්හවුස් ආලෝක පූජාව පින්බර පින්කමක් ලෙස අපි අගයකරමු.


ගමන් මග වෙනස් කෙරුණු දිනයයි

අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පොහෝ දින ශ්‍රී ලාංකික සිංහල ජාතියේ ගමන් මග වෙනස් කෙරුණු. නව මාවතකට යොමු කෙරුණු ශ්‍රේෂ්ඨ දිනය ලෙස සැලකිය හැකිය. අවිද්‍යාන්ධකාර මගින් මිදී ප්‍රඥාලෝකය විහිදුණු නව මාවතකට පිවිසුණු සිංහල ජාතිය මේ රට ධාන්‍යාගාරයක් ධර්මද්වීපයක් බවට පත් කරමින් විශ්ව කීර්තියට පත් විය. අන්ධානුකරණයෙන් ඇදහු මිථ්‍යා ඇදහිලි අතහැර අනුබුදු මිහිඳු මාහිමින් වහන්සේ හඳුන්වා දුන් බුදුදහම වැළඳගත් හෙළයන්ගේ අනන්‍යතාවයේ සංකේතය ලෙස ද බුදුදහම සැලකිය හැකි තරමට ඔවුහු පන්සිල් පිළිවෙත ජීවිතයට එකතු කරගත්හ. මිහිඳු මාහිමියන් ඇති කල සඟ පරපුරේ අනුශාසනා අනුව කටයුතු කිරීමට පෙළඹී හෙළයෝ අතිශයින් දැහැමි වූහ. මාපියන්ට සැලකීම , වැඩිහිටියන්ට ගුරුවරුන්ට සැලකීම අසරණයින්ට පිහිටවීම සතුන්ට හිංසා නොකිරීම තම පරම යුතුකමක් ලෙස සැලකීමට ඔවුහු පෙළඹුණහ. සතර බ්‍රහ්ම විහරණ චින්තනයෙන් හික්මුණු හෙළයෝ සමාජයට සතර සංග්‍රහ වස්තු වලින් සංග්‍රහ කළහ. සමගියෙන් සමාදානයෙන් ජීවත් වීමට පෙළඹුණු හෙලයෝ ආත්මාර්ථය මෙන්ම පරාර්ථය සඳහාද කැපවූහ. මිහිඳු මාහිමියන් වහන්සේ මෙරටට ශ්‍රේෂ්ඨ දහමක් පමණක් නොව විවිධ ශිල්පීය අධ්‍යාපනයක් ද හඳුන්වා දුන්හ. ශ්‍රී මහා බෝධිය සමඟ දහ අට කුලයක අය ද මෙරට ශ්‍රේෂ්ඨ දහමක් පමණක් නොව විවිධ ශිල්පීය අධ්‍යාපනයක් ද හඳුන්වා දුන්හ. ශ්‍රී මහා බෝධිය සමඟ දහ අට කුලයක අයද මෙරට පැමිණි පුවතින් කියවෙන්නේ විවිධ ශිල්පීන් ද මෙරටට පැමිණි බවයි. මේ අය වෙතින් ලද දැනුම උපයෝගී කර ගනිමින් මහා ස්තූප, යෝධ ගොඩනැගිලි, විශාල බුද්ධ ප්‍රතිමා විශ්මිත කැටයම් නිර්මාණය කිරීමටද හෙළයෝ සමත් වූහ. බුදුදහම සමඟ ශ්‍රේෂ්ඨ සංස්කෘතියක්ද අපට දායාද කළ අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ අනුස්මරණය කිරීම හා උන්වහන්සේ නිසා අප ලද දායාදයක් පිළිබඳව බාල පරපුර දැනුවත් කිරීම වැඩිහිටි අයගේ යුතුකමකි.

ලේක්හවුස් ආයතනය අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේගේ ඓතිහාසික ලංකා ගමනය අනුස්මරණය කරමින් විශේෂ වැඩසටහන් රැසක්ම වාර්ෂිකව ක්‍රියාත්මක කරයි. දීප ව්‍යාප්ත රචනා තරගයක් හා කථික තරගයක් පවත්වා සහතික හා ත්‍යාග ප්‍රදානය කිරීම හා මිහින්තලා ආලෝක පුජාවද එයට අයත් වේ. බාල පරපුර වෙනුවෙන් හා සමස්ත ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන මෙම සත් කාර්ය සැමගේම පැසසුමට හේතු වේ. බෞද්ධයාගේ එකම පත්‍රය වන ‘බුදුසරණ’ පත්‍රය අඛණ්ඩව දශක ගණනාවක් එළිදැක්වීම ලේක්හවුස් ආයතනයේ තවත් ශ්‍රේෂ්ඨ කාර්යයකි. මෙබඳු සේවා තව තවත් සිදු කිරීම සඳහා ඔබට හා කාර්ය මණ්ඩලයට තෙරුවන් ආසිරි ප්‍රාර්ථනා කරමි.


ලාංකීය සංස්කෘතියේ මව්කුස ලෙසින් සම්භාවනාවට පත්වෙමින් පිදුම් ලබනු ඇත

දඩකෙළියෙහි ගිය දේවානම්පියතිස්ස රජතුමා මිහින්තලා වන අරණින් නික්ම ආපසු පැමිණෙන්නේ නූතන සංස්කෘතික මිනිසාද කැටුවය. එලෙස පැමිණි සංස්කෘතික මිනිසා සමඟ අනුගත වූ ලාංකීය ජන සමාජය පළමුව දුනු සහ ඊතල අත් හළේය. මිනිසාට සේම සතා සීපාවාට ද ගහකොළට ද ආදරය කරනු ලබන හෘද සංවේදී මානවයෙකු බවට පත් වූයේ ය. ඔහු සිත තුළ සියුම් රසභාවයන් අවදි වූයේ ය.

පන්සිල් සරණ යමින්, ආදර්ශවත් මෙන්ම සදාචාරවත් දිවිපෙවෙතකට අනුවර්තනය වූ හෙතෙම මහා සංස්කෘතික ප්‍රවාහයක තීරකයා බවට පත්වූයේ ය.

එබඳු පරිපූර්ණ මිනිසෙකු බිහිකිරීමේ පින්කෙත බවට පත් වූ මිහින්තලා පරිශ්‍රය අනාදිමත් අනාගතය පුරා ද ලාංකීය සංස්කෘතියේ මව්කුස ලෙසින් සම්භාවනාවට පත්වෙමින් පිදුම් ලබනු ඇත.

ලේක්හවුස් ආයතනය වසර පනස් හතරක් තිස්සේ පොසොන් පොහෝදා ආලෝක පූජාවෙන් ස්වකීය බැතිබර නමස්කාරය පුද කරන්නේ මෙකී අසිරිමත් මිහින්තලා සෑ රදුන් ප්‍රමුඛ පුදබිමටය. ඒ උතුම් පින්කමට අනුශාසකත්වය සපයනු ලබන මිහින්තලේ රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේද ලේක්හවුස් ආයතනය ද සම අනුග්‍රාහක ලංකා විදුලිබල මණ්ඩලය ද එහිලා ඇප කැපවන්නා වූ සියලු දෙනා ද ඉටුකරන ජාතික සහ ආගමික වගකීම අප සැදැහැ සිතින් අගය කළ යුතුවෙමු.


ප්‍රඥාවලෝකයෙන් සැම සිත් පහන්වන්නට මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පන්නරයක් වේවා

මිහිඳු මාහිමි දෙසූ ධර්ම ශ්‍රවණයෙන් ඥානාවලෝකය ලබන දෙවනපෑතිස් රජු තෙරුවන් සරණ යන්නේ සමස්ත ලක්වැසි ජනතාවද බුදුදහම කෙරෙහි අවදි කරමිනි. ඉන් අනතුරුව බුදු දහම අප දේශයේ පාලන තන්ත්‍රයටද, සමාජ ජීවිතයටද, පුද්ගල විමුක්තියටද මඟ කියූ උත්තරීතර ධර්ම මාර්ගය විය. මෙනයින් ගත් කළ පොසොන් පොහොය සමස්ත දේශය අවිහිංසාවේ ධර්ම මාර්ගයට පිළිපන් ඉතා වැදගත් කඩඉමක් ලෙස සැලකිය හැකිය.

අවිඳු අඳුර දුරලා ප්‍රඥා පහන් දැල්වූ උතුම් වූ පොසොන් පෝ දින 54 වන වරටත් පවත්වන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව සහ ඊට සමගාමීව දියත් වන අනෙකුත් සමාජ සත්කාර්යයන් සමාජය වඩා යහපත් තැනක් කරන්නට දායක වනු ඇතැයි අපේක්ෂා කරමි.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ආරම්භ වනුයේ මගේ සමීපතම ඥාතීන් වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ආදිකර්තෘ. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් මත, එවකට ලේක්හවුස් සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ පුරෝගාමිත්වයෙන් බව මේ මොහොතේ ගෞරව පෙරදැරිව සිහිපත් කරමි.

වර්තමානයේ ඒ සඳහා අනුශාසකත්වය සපයන මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමින් වහන්සේටද , කැපවීමෙන් කටයුතු කරන ලේක්හවුස් කාර්ය මණ්ඩලයටද සමස්ත සැදැහැවතුන්ටද මාගේ ගෞරවණීය ස්තුතිය පුදකරමි.

බුදු දහමේ නිවහල් චින්තනය, අවිහිංසාව, මෛත්‍රිය, පෙරදැරි කරගත් ප්‍රඥාවලෝකයෙන් සැම සිත් පහන්වන්නට මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පන්නරයක් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනය කරමි.

තෙරුවන් සරණයි!


ආලෝකය ලබාදීම යනු දෙනුවන් ලබාදීමකි

නිර්මල බුදුදහම අප මව්බිමට උරුම කරදුන් ඓතිහාසික මෙන්ම අතිපූජනීය වූ ස්ථානය ලෙස සැලකෙන්නේ මිහින්තලා පුදබිමයි. අප මව්බිමට උතුම් බුදුදහම දායාද කරදීමේ ඓතිහාසික සංසිද්ධිය සමරමින් සෑම පොසොන් පුර පසළොස්වක දිනයකම මිහින්තලා පුදබිම විදුලියෙන් ඒකාලෝක කිරීමේ මහඟු පුණ්‍යකර්මයට සහභාගී වීමටත්, එවන් ශාසනික, ආගමික මෙන්ම ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් සුබ පැතුම් එක්කිරීමට අවස්ථාවක් ලැබීමත් මහත් භාග්‍යයක් කොට සලකමු. එසේම පෙර වසර වලදී මෙන්ම මෙවරද මෙම උතුම් පුණ්‍ය කර්මය සඳහා විදුලිබලය නොමිලයේ ලබාදෙමින් ලංකා විදුලිබල මණ්ඩලය මේ සඳහා දක්වන සම අනුග්‍රහය, කාගේත් පැසසුමට ලක්විය යුතු ය.

බුදුරජාණන් වහන්සේ වදාළ දහමට අනුව ආලෝකය ලබාදීම, දෙනුවන් ලබාදීමට සමාන පුණ්‍යකර්මයකි. එසේනම් පොසොන් පොහෝ දින මිහින්තලා පුදබිම ඒකාලෝක කරමින් සැදැහැවතුන්ගේ බෞද්ධාලම්භන පී‍්‍රතිය වැඩිකිරීම සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන මෙම ආලෝක පූජාව, ශාසනික මෙහෙවරක් වනවාසේම මහත්වූ පුණ්‍යකර්මයක් ලෙසද සැලකිය හැකිය.

එදා මිහිඳු මාහිමියන් විසින් ශ්‍රී ලංකාද්වීපය තුළ බුදුදහම ස්ථාපිත කිරීම සඳහා දේවානම්පියතිස්ස රජතුමාගේ සිත් පහදවා බුදු සසුන පිහිටවූ අවස්ථාවේ සිට මේ දක්වාවූ කාලය තුළ බුදුදහමේ සිසිලසින් සමස්ත ශ්‍රී ලංකාවම නිවී සැනසීගිය බව අපි දනිමු. මෙවන් වූ උතුම් ධර්මද්වීපයක් අපට උරුමකරදීමට මුලික වූ පූජනීය භූමියක් වන මිහින්තලාව, නිතැතින්ම ලෝවැසි ජනයාගේ ගෞරවාදර භක්තියට පාත්‍රවියයුතුම ස්ථානයකි. එවන් වූ අති පූජනීය ශාසනික සේවාවක් සිහිගන්වමින් 54 වන වරටත් පැවැත්වෙන මිහින්තලා ආලෝක පූජාව, මෙවරත් පොසොන් පොහෝදින අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට හැකිවනුයේ ලංකා විදුලිබල මණ්ඩලය සපයන අනුග්‍රාහකත්වය නිසාම බව කෘතවේදීව සිහිපත් කළ යුතු ය.

මිහින්තලේ රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවරත් සිදුකෙරෙන මෙම මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව තවත් ආමිස හා ප්‍රතිපත්තිමය පුණ්‍ය කටයුතු රාශියක් සිදුකිරීමට ලේක්හවුස් ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු සංවිධානය කර තිබීම සතුටට කරුණකි.

මෙවන් වූ පුණ්‍යකර්මයන් සිදුකිරීමටත්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කිරීමටත් මෙම රාජ්‍ය ආයතනයන්ට සහ අනෙකුත් සියලුම පාර්ශවයන්ට තව තවත් ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරන අතර සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් පිහිටුවා ඇති ආලෝක භාරය සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන මෙම ආලෝක පූජා පුණ්‍යකර්මය, ඉදිරියට ද චිරාත් කාලයක් පවතීවායි සැදැහැසිතින් ප්‍රාර්ථනය කරන්නෙමි.


ආලෝක පූජාව දෙනෙතින් බලා පහන් සිතිවිලි ඇතිකර ගැනීමට මිහින්තලා පුදබිමට පැමිණෙන්න

ලාංකේය සංස්කෘතිය සහ බුදුදහම අතර පවතින්නේ සමීප සබඳතාවයකි. මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස අපට උරුම වූ නිර්මල බුදුදහම සමඟ සිංහල සංස්කෘතිකාංග පෝෂණය විය. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට බුදුදහම වැඩමකරවූයේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකදී ය. මෙම ඓතිහාසික සංසිද්ධිය ස්මරණය කරමින් ලක්වැසි බෞද්ධයෝ පොසොන් උත්සවය සමරති.

එම අසිරිමත් දිනය සිහිපත් කරමින් අවිද්‍යාවේ අඳුර දුරු කර මිහින්තලා පුදබිම ඒකාලෝක කිරීමට මෙවරත් ලේක්හවුස් ආයතනය ඉදිරිපත් වී සිටියි. ඒ අනුව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ දී “මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව“ මෙවර 54 වන වතාවට පැවැත්වේ. මිහින්තලේ රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සතියක් පුරාවට පැවැත්වෙන මෙම ආලෝක පූජාවට ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දක්වනු ලබයි.

දිගු කාලයක සිට ධර්ම ඥානය පොදුජන හදවත්වලට සමීප කරන ලේක්හවුස් ආයතනයේ ‘බුදුසරණ’ පුවත්පත විසින් ඉටුකරනු ලබන්නේ සුවිශේෂී කාර්යභාරයකි. පොසොන් පොහොය නිමිත්තෙන් ආලෝක පූජාවක් පැවැත්වීමේ මාහැඟි කාර්යයට මුල පිරීම වෙනුවෙන් ලේක්හවුස් ආයතනයටත්, බුදුසරණ කර්තෘ මණ්ඩලයටත් අපේ ප්‍රශංසාව හිමිවිය යුතු ය. ඔවුන් සද්භාවයෙන් සිදුකරනු ලබන ආලෝක පූජාව දෙනෙතින් බලා පහන් සිතිවිලි ඇති කරගැනීමට මිහින්තලා පුදබිමට පැමිණෙන්නැයි මම ඔබ සැමට ඇරැයුම් කරමි. මතුමතුත් මෙවන් පුණ්‍යකර්මවලට දායකත්වය ලබාදෙමින් දිගුකලක් ජන හදවත් තුළ රැඳී සිටීමට බුදුසරණ පුවත්පතට හැකිවේවායි මාගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරමි.


ආලෝක පූජාව පොසොන් මහෝත්සවයට අසිරිමත් අපූර්වත්වයක් ලබා දෙයි

දේවානම්පියතිස්ස රජ සමයේ පොසොන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා පුදබිමට වැඩම කිරීමෙන් අනතුරුව සම්බුද්ධ ශාසනය ලක්දෙරණ තුළත් ස්ථාපිතවීමෙන් පසු මෙරට තුළ මහා සංස්කෘතික මූලාරම්භය සිදුවිය. එවන් ඓතිහාසික සිද්ධීන් රැසකට මුල්වූ මිහින්තලය පුදබිමත් පොසොන් පොහොයත් අතර ඇත්තේ ඓතිහාසික බැඳීමකි.

මීට වසර 54 කට පෙර සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ. ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතානන්ගේ සංකල්පයකට අනුව එවකට මිහින්තලා රාජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ රතන ජෝති නා හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ඇරඹුණු ලේක්හවුස් ආලෝක පූජාව පොසොන් මහෝත්සවයට ලබාදෙන්නේ අසිරිමත් අපූර්වත්වයකි. එමෙන්ම වර්තමානයේ මිහින්තලා රාජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ මූලිකත්වයෙන් මිහින්තලා පුදබිම ඓතිහාසික පුදබිමක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ඇරඹී තිබේ. ඊට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලබාදීමට හැකිවීම මා ලද භාග්‍යයක් ලෙසද සලකමි.

මෙවර පොසොන් උත්සව සමයේ මිහින්තලය පුදබිම වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් සිත් ලේක්හවුස් ආලෝක පූජාවෙන් ධර්මාලෝක වේවායි මම ප්‍රාර්ථනා කරමි.

එමෙන්ම මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථක කරගැනීමට මිහින්තලා රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු මහා සංඝරත්නයටත්, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමටත්, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු උපකාර කරන සියලු දෙනාටත් ශක්තිය, ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


මෙරට ශාසනවංශ කතාවේ මූලාරම්භය සනිටුහන් කළ දිනයයි

මනුෂ්‍යයාගේ දෙලොව සෙත සාදන උතුම් ධර්ම මාර්ගය වූ බුදුදහම ලක්වැසියාගේ ජීවිත හා ප්‍රායෝගිකව සම්බන්ධ කළ ඓතිහාසික සංසිද්ධිය මහින්දාගමනයයි. මෙරට ශාසන වංශ කතාවේ මූලාරම්භය සනිටුහන් කළ දිනයයි. අනුබුදු හිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිස බෞද්ධ ඉගැන්වීම් පදනම් කොට ගත් සංස්කෘතිය හා සභ්‍යත්වය ලක් පොළොවෙහි රෝපණය කොට පන්සිල් රකින සමාජයක් බිහි කළේ ය. ක්‍රි.පූ. 03 වන සියවසේ දී මෙරට ස්ථාපිත වූ බුදුදහම මූලික කොටගෙන ජන සමාජය තුළ රාජ්‍ය පාලනය, ආර්ථිකය, අධ්‍යාපනය, කලා ශිල්ප, සාහිත්‍ය, භාෂාව හා සාරධර්මද වර්ධනය විය. ශිෂ්ට සම්පන්න ජාතියක් අභිමානවත් රටක් වර්තමානයට දායාද වූයේ එදා මිහින්තලා පව්වේ සිදු වූ අසිරිමත් සිදුවීම හේතුකොටගෙනය.

අවිදු අඳුර දුරු කොට බුදුදහමේ ආලෝකයෙන් ලක්වැසියාට නිවැරදි ජීවිත මඟ හෙළි කොට දුන් ඒ උතුම් දිනය සිහිපත් කරමින් ලේක්හවුස් ආයතනය විසින් මිහින්තලා පුද බිම ඒකාලෝක කොට තිබේ. පුරාවසර 54 ක් ආගමික වතාවතක් ලෙස නිස්සරණාධ්‍යාසයෙන් ඉටු කරන මෙම ආලෝක පූජාව හේතුකොට ගෙන බුදුදහමේ ආශිර්වාදයෙන් සමස්ත ජනතාවගේ ජීවිත ආලෝකමත් වේවායි ප්‍රාර්ථනා කරමි.


දේශයට ඓතිහාසික වටිනාකමක් හිමිකරදුන් දිනයකි

ක්‍රි.පූ. 3 වන සියවසේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිදුවූ මහින්දාගමනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ප්‍රබෝධය ඇති වූවා සේම ආගමික සංස්කෘතික හා සමාජයීය වශයෙන් නවෝදයක්ද ඇතිවිය. ඒ ඔස්සේ බිහිවූ සැදැහැති බෞද්ධ ජනතාව ඔවුන්ගේ කෘෂිකාර්මික දිවි පැවැත්ම සඳහා දේවාරක්ෂාව මෙන්ම ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවද අයැද සිටියහ. පන්සල කේන්ද්‍රකරගත් ගමත් ගම් වැසියාත් සම්බුද්ධ ධර්මය ඔස්සේ නව ගමන් මඟක් එළි පෙහෙළි කළහ. එවකට ඉන්දියාවේ පැවති දියුණු මෞර්ය සංස්කෘතිය ඔස්සේ ශ්‍රී ලංකාවද පෝෂණය ලදහ. අපේ පන්සල් වෙහෙර විහාර දාගැබ් නිර්මාණය මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයේ පවා සුවිශාල වෙනස්කම් රැසක් ඇතිවෙමින් ශ්‍රී ලංකාවාසී ජනතා පැවැත්ම තුළ නවතම බෞද්ධ සංස්කෘතියක් බිහිවීමට මහින්දාගමනය ඉවහල් විය. මහින්දාගමනයෙන් අනතුරුව සිදුවූ සඟමිත් තෙරණියන් විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම වීම තුළින් ද අපට සුවිශේෂ දායාද රැසක් උරුම විය. බෝධීන් වහන්සේ සමඟ මෙහි පැමිණි කුල දහ අටක පිරිසක් ගැන සඳහන්වන අතර ඔවුන් මහබෝ රැකවලුන් මෙන්ම නොයෙකුත් කර්මාන්ත වල ප්‍රවීණයන් වූහ. ඔවුන්ගෙන්ද අප අපගේ පැවැත්ම සඳහා බොහෝ දෑ උකහා ගත්හ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඈත අතීතයේ සිටම සබඳතා පැවතියද බෞද්ධාගමික සබඳතා ඔස්සේ ලැබුන දෑ බොහෝ ය. විශේෂයෙන්ම අපට අනන්‍ය වූ ලේඛන කලාවක් බිහිවීමට මුල් වූයේද පාලි ලේඛන කලාව අපට දායාද වූ පසුවය. අපේ ලේඛන කලාව ඔස්සේ මහාවිහාරය පදනම් කරගත් සුවිශාල ධර්ම ග්‍රන්ථ රාශියක් දැයට උරුම වූයේද මේ මහින්දාගමනය හේතුවෙනි. ඒ නිසාම අපට වසර 2500 ක අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් හිමිවිය. මේ ආදී වූ සංස්කෘතික ආගමික හා සමාජයීය වශයෙන් ප්‍රතිලාභ රැසක් දැයට උරුමකර දුන් මහන්දාගමනය සිදු වූ පොසොන් පෝ දිනය මේ දේශයට ඓතිහාසික වටිනාකමක් හිමි කර දුන් දිනයකි. අප මේ සමරන්නේ මහින්දාගමනයෙන් අනතුරුව එළඹුන 2523 වැනි පොසොන් බෞද්ධ මහෝත්සවයයි. මෙවරද අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට යෝජිත මෙම ජාතික බෞද්ධ මහෝත්සවය අර්ථවත් කිරීම සඳහා උතුරුමැද පළාත් සභාව අනුරාධපුර දිසාපති කාර්යාලය පළාත් පාලන ආයතන ආරක්ෂක අංශ මෙන්ම අනෙකුත් රාජ්‍යය හා ස්වේච්ඡා සංවිධාන රාශියක් පෙළ ගැසී සිටිති. පොසොන් උළෙලට මූල බීජය වැපිරූ අඹතලා ගිරිහිස ආලෝකවත් කරමින් වසර ගණනක් මුළුල්ලේ ලේක්හවුස් ආයතනය විසින් කරනු ලබන අනුබුද්ධ පූජාව සමස්ත දේශයේම ගෞරවාදයට පත්වන සත් ක්‍රියාවකි. මේ අවස්ථාව සමරමින් බුදුසරණ පුවත් පත හෙළ බොදු ජනතාව වෙනුවෙන් කරන මෙහෙවරටද අපගේ බැතිබර ස්තූතිය පුද කරන අතරම මෙවර පොසොන් ජාතික මහෝත්සවය දේශයේ සමෘද්ධියට නව මංපෙත් විවර කරන සකල ජනතාවට ශාන්තිදායක මහෝත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරන අතරම ජනපතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා වාසී සැමටම දකුණු දළදා වහන්සේගේ සහ විජය ශ්‍රී ජය ශ්‍රී මා බෝධීන් වහන්සේගේ පිහිට ප්‍රාර්ථනා කරමි.