Print this Article


බුදුදහමින් වෙළී ගිය පොසොන් පෝදා

බුදුදහමින් වෙළී ගිය පොසොන් පෝදා

ගුණදහමින්ද – බණදහමින්ද ජාතියක් ලෙස ප්‍රතිසංවර්ධනය වූයේ මිහිඳු මාහිමියන් මුල්කොට දෙවනපෑතිස් රාජයුගයේදී ඉෂ්ට සිද්ධ වූ දැවැන්ත ජාතික ආගමික විප්ලවය නිසාය. එවකට දඹදිව විසූ ධර්මාශෝක රජුගේ ධර්ම දූතයන් සේ මිහින්තලා පව්වට වැඩම කළ මිහිදු මාහිමියන් ප්‍රමුඛ සංඝරත්නය එවකට රට කරවූ රාජ්‍ය නායක තිස්ස රජු හරහා සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාව තුළ රෝපණය කරනු ලැබීය. මේ උතුම් සංසිද්ධිය මුල්කරගෙන පුනරුප්පත්තියකට පත්වූ සිංහල ජාතිය බෞද්ධ ශිෂ්ටාචාරයෙන් , සංස්කෘතියෙන් , සදාචාරයෙන්, චර්යාධර්මයෙන්, ප්‍රතිපෝෂණය වූහ. ඒ උතුම් ජාතික පරිවර්තනය සිදු වූ පොසොන් පෝදා ‘ජාතික දිනය’ ලෙස නිල වශයෙන් පිදුම් නොලැබූවත් මේ උතුම් ජාතික ආගමික මෙහෙවර ඇඟට හිතට ගත් මෙරට හතර දිග්භාගයේ ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාව පොසොන් පෝදා ජාතික දිනය ලෙස සලකා මෙම ආගමික පුනරුදයේ මාතෘභූමිය වූ අනුරාධපුරයටද ඒ ගමන් මිහින්තලයටද පැමිණෙති. අද බුදුන් උපන් බුදුවූ සහ කල්ගත කළ ඉන්දියාවේ වත් නැතිතරමට බුද්ධාලම්බන පී‍්‍රතියෙන් වෙළී ගිය බෞද්ධ ජනතාව අනුරපුර බෞද්ධ නිජබිමට පොසොන් පෝදාට ගලා එන්නේ මහින්ද මාහිමි විසින් ඇති කළ බෞද්ධ ප්‍රබෝධයේ මහිමයටය.

සිංහල ජනතාව තවදුරටත් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය කිරීම සඳහා එවකට දඹදිව පාලනය කළ ධර්මාශෝක රජු, තවත් ආගමික සංසිද්ධි කීපයක්ම ඉෂ්ටසිද්ධ කරනු ලැබීය. තමන්ගේ අතිජාත පුතා මහින්ද මාහිමි ලක්දිවට එවා සම්බුද්ධ ශාසනය ස්ථාපනය කිරීමට අමතරව සිය අතිජාත දියණිය සංඝමිත්තා මෙහෙණිය සමඟ බුදුරදුන් බුද්ධත්වය ලැබීමට රුකුලක් කරගත් ශ්‍රී සම්බෝධියේද දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවා මහමෙව්නා පින්බිමේ රෝපණය කරවීමට තිස්ස රජුගේ ශක්තිය හා උනන්දුව ලබාගත්හ. එමතු නොව මහින්ද මාහිමි මගින් මෙරට සංඝ ශාසනය ඇතිකළ පරිද්දෙන්ම සංඝමිත්තා මෙහෙණිය මගින් මෙහෙණි සස්න ඇතිකිරීමටද පියවර ගනු ලැබීය. මෙබඳු සම්බුද්ධ ශාසනයේ මහා විප්ලවයක් මගින් මුළු මහත් ශ්‍රී ලංකාවම බෞද්ධ රාජ්‍යයක් බවට පත්කළ අතර එම ජාතික, ආගමික විප්ලවයේ දේශීය පෙරගමන් කරුවූ “තිස්ස රජුට” “දේවානම්පි‍්‍රය” නම්වූ නම්බු නාමයක් පිරිනැමීමටද ධර්මාශෝක රජු කටයුතු කර ඇත. එවකට ලංකාවේ විසු මුළු මහත් සිංහල ජනතාව වෙනුවෙන් මේ සියලු ආගමික මෙහෙයන් ඉෂ්ට සිද්ධ කළේ අන්‍ය ජාතිකයෙකු වූද ඉන්දීය පුරවැසියෙකු වූද ධර්මාශෝක රජු විසිනි.

සිංහල ජාතිකයෙකු වූ ද, බෞද්ධයෙකු වූද මේ රටේ පුරවැසියෙකු වූ ද දේශීය රාජ්‍ය පාලකයන් තුළ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ද බෞද්ධයන් වෙනුවෙන්ද “පොසොන් දිනය” ජාතික දිනය බවට පත්කොට අනුරාධපුරය යළිත් මේ රටේ අගනුවර බවට පත්කරන්නට දේශානුරාගයක් –භක්තියක් ආගමික වාත්සල්‍යයක් ඇතිවිය යුතුව තිබිණ.නමුත් එබඳු ජාතික –ආගමික අනුරාගයක් දේශීය පාලකයන් තුළ මෙතෙක් ඇතිවී නැත.

දේශීය පුරාවෘත්තයන්ට අනුගතවෙමින් මෙවැනි ජාතික, ආගමික විප්ලවයක් ඇතිකරන්නට ශ්‍රීමත් එස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා මුල පිරීය. අනුරාධපුරයේ ගෞරවණීය අටමස්ථානය පුණ්‍යභූමියක් ලෙස නීතිගත කොට සම්බුද්ධ ශාසනයට නිගරුවන දේ පුදබිමෙන් ඉවත් කරනු ලැබීය. එපමණක් නොව අතීතයේ පැවතියාක් මෙන් අනුරාධපුරය බෞද්ධ අගනුවර මෙන්ම රටේද අගනුවර බවට පත්කරන්නට ‘හොලිඩේ’ නම් වූ විදේශීය නගර නිර්මාණ ශිල්පියෙකු කැඳවා අනුරාධපුර නව නගරය ක්‍රමානුගත දැවැන්ත මහා නගරයක් ලෙස නිර්මාණය කරනු ලැබීය. දේශානුරාගයට අනුගතව ජාතිකාභිමානයෙන් සන්නද්ධ වී එතුමන් විසින් කරගෙන ගිය මෙම ජාතික ආගමික විප්ලවයට වැඩිදුරක් කරගෙන යන්නට ඉඩ නොලැබිණ. එතුමා හිටිහැටියේ ඝාතනය කරනු ලැබිණ.

හෙළ රාජ වංශයෙන් පසු ප්‍රථම වරට යළිත් වරක් රජරට පොළොන්නරුව රාජධානියේ පුරවැසියෙකු රාජ්‍ය නායක ලෙස බලයට පත්වී සිටින මේ යුගයේදී දේශයේ අතීත පුරාවෘත්තයට අනුගත වන්නේ නම් සහ ඉතිහාසයේ පිහිට වූ දේශීය උරුමය යළි සහතික කරන්නේ නම් අනුරාධපුරය රටේ අගනුවර බවට පත්කිරීමේ ගැටලු පවතී නම් යටත් පිරිසෙයින් අනුරාධපුරය බෞද්ධ අගනුවර ලෙස නීතිගත කරමින් ප්‍රකාශයට පත්කරන්නට මේ හොඳම කාලයයි. මේනිසා අනුරපුර බෞද්ධ අගනුවර බවට පත්කිරීමට මේ හොඳම කාලයයි.

සම්බුද්ධ ශාසනයේ සදාතනික සජීවි සංකේතය අතිපූජනීය ශ්‍රී මහා බෝධින් වහන්සේය. මිහිඳු මාහිමිපාණන් වැඩ විසූ මහා විහාරයේ හෙවත් බෝධිපන්සලේ අද වැඩ වෙසෙන අති ගෞරවණීය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් සම්බෝධිරාජයාණන් රැක බලා ගනිමින් සංරක්ෂණය කරගැනීම සඳහා බොහෝ කටයුතු ඉෂ්ට සිද්ධ කර තිබේ.

අතීතයේ එක් දුර්භික්ෂ සමයක එනම් දෙවෙනි රාජසිංහ රාජසමයේදී ශ්‍රී මහා බෝසමිඳු වැඩ වෙසෙන පෙදෙස එතරම් කලඑළියට පත්ව තිබුණේ නැත. එවකට ශ්‍රී මහා බෝ සමිඳුන් රැක බලා ගත්තේද සංඝරත්නයයි. එහි විසූ එක් භික්ෂුවක් දුර බැහැර ගම්බිම්වලට ගොස් ආහාරයට කුරහන් රොටී පිණ්ඩපාතයට ලබාගෙන සම්බෝධිය වෙත පැමිණ පූජා කරන ලද බව ඓතිහාසික තොරතුරුවලින් හෙළිවේ. මේ භික්ෂුව විසින් ශ්‍රී මහා බෝධින් වහන්සේ රැකබලාගත් නම්බුවට මහනුවර විසූ දෙවෙනි රාජසිංහ රජු විසින් ඒ හිමියන්ට අනුරාධපුරයේ ‘දිසාපති’ .තනතුර පිරිනමා ඇත. ‘දිසා හාමුදුරුවෝ’ යන නම ව්‍යවහාරයට එක්වී ඇත්තේ හාමුදුරුවන්ට දිසාපති පදවිය ලැබීම මුල්කරගෙනය. මෑතක් වනතුරුම ගිහි දිසාපති වරුන්ටද, “දිසා හාමුදුරුවෝ’ යන නම ජනතාව අතර ව්‍යවහාරයේ පැවතිණ. කෙසේ වුවද මිහිඳු මාහිමිපාණන්ගේ සිටම ශ්‍රී මහා බෝධින් වහන්සේ රැකබලාගෙන ඇත්තේ සංඝරත්නය විසින්මය. එක් අවස්ථාවක අන්‍යාගමිකයෙකු විසින්ද තවත් අවස්ථාවක රුදුරු ප්‍රභාකරන් විසින්ද ශ්‍රී මහා බෝධිය විනාශ කර දමන්නට කුරුමාණම් ඇල්ලුවත් ඔවුන්ගේ පවිටු චේතනා ඉටුවී නැත. ඊට හේතුව ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අදටත් පවතින අනුසස් බලයයි.