Print this Article


මිනිස් සිත ආක්‍රමණය කරන්නේ කවරෙක්ද?

මිනිස් සිත ආක්‍රමණය කරන්නේ කවරෙක්ද?

මෙහි තවත් කොටසක් වෙසක් අමාවක (ජුනි 04 ) පත්‍රයේ පළ විය.

බිරිඳ ස්වාමියාගේ කලණ මිතුරියයි කියන ප්‍රකාශය සම්මුති ලෝකය තුළ හොඳ තත්වයක්. පරමාර්ථ වශයෙන් එසේ සත්‍යයක් නැහැ. කලණ මිතුරන් පවින් වළක්වනවා මිස පවිවලට උපකාර කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බිරින්දෑවරුන් ඔවුනට අවාසි වන පවිවලින් පමණක් වළක්වනු ලබනවා. පාණාති පාතා හෙවත් ප්‍රාණඝාත අකුසලයෙන් වළක්වනු නොලැබුවද, කාමේසු මිච්ඡාචාරා හෙවත් කාමයෙහි වරදවා හැසිරීමේ වරදින් මුදවා ගැනීමට කෙසේ හෝ උත්සාහ දරයි. මත්පැන් පානයෙන් වළක්වනු ලැබුවද, මුසාවාදා හෙවත් බොරුකීමෙන් වළක්වනු නොලබනුයේ ඇයගේ වැඩ කටයුතු කරගෙන යාමට ඔහු යොදා ගත නොහැකි නිසයි. සමිමුති ලෝකය තුළ ජීවත් වන මිනිසුන් එසේ පිළිගන්නා බවට පමණක් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. එය පටළවා වටහා නොගත යුතුයි.

පුත්තා වත්ථු මනුස්සානං යන ප්‍රකාශනයද සම්මුති ලෝකය තුළ මිනිසුන්ට තමන්ට නැග ගැනීමට නොහැකි තැන්වලට නැග ගැනීමටත් යා ගැනීමට නොහැකි ස්ථානවලට යාගැනීම සඳහාත් ඉණිමඟක් ලෙසට පඩිපෙළක් ලෙසට ළමයින් ප්‍රයෝජනවත් කරගනී. තමනට අවශ්‍ය වූ විට ඇප උපස්ථාන කරගැනීමට, අසනීප වූ විට බෙහෙත් හේත් ලබාගැනීම වැනි ක්‍රියාවලදී පුත්තා වත්ථු මනුස්සානං යන ප්‍රකාශය වන ලොකුම වස්තුව දරුවෝය යන්න ප්‍රයෝජනවත් වෙයි. අම්මා තාත්තා වෙනුවෙන් මෙවැනි කාරණා කළ යුතු බවට තමාට වගකීමක් තිබෙන බවට සමාජය තුළින්ම ප්‍රකාශ කරනු ලබයි. එය සම්මුති ලෝකය තුළ පිළිගනු ලබන සත්‍යයක් වුවද, පරමාර්ථමය වශයෙන් එසේ පිළිගත නොහැකියි. පුත්තා මත්ති ධනං මත්ති ඉතිබාලෝ විහඤ්ඤති. මට පුත්තු සිටිනවාය, මට දරුවෝ සිටිනවාය, මට ධනය තිබෙනවාය කියා සිතමින් කවුරුන් හෝ එවැනි ආකාරයෙන් දරුවන් පාවිච්චි කරන අය මුග්ධ පුද්ගලයන් බවට බුදුපියාණන් වහන්සේ වදාරා ඇත.දරුවන් පිළිබඳව දේපළ පිළිබඳව එසේ සිතන අය ඤාණය නැති, බුද්ධිය නැති, අබුද්ධිත මිනිසුන් ලෙසට බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. අප සමාජ තුළ බලපවත්වනුයේ පුත්තා වත්ථු මනුස්සානං මිස මුත්තා මත්ති, ධනං මන්ති ඉති බාලෝ විභඤ්්ඤති නොවෙයි. එය සමාජය තුළ උස් හඬින් ප්‍රකාශ වන්නේ නැත. මට මමවත් නැති කොට මොන පුත්තුද?මොන සල්ලිද?කියලා කියවෙන්නේ නැහැ. මට කවුරු නැති වුණත් දරුවො සිටිනවා.යනුවෙන් ප්‍රකාශ කරනු ලබයි. මුදල් තැන්පතුවක් තිබෙන නිසා මට කවුරුවත් අවශ්‍ය නැති බවට ඇතැමෙකු ප්‍රකාශ කරයි. එසේ සීතීම බුදු දහම නොවේ. දරුවන් ලොවට බිහිකළා නම්, ඒ පිළිබඳව කටයුතු කිරීම බෞද්ධ වීමට අවශ්‍ය නොවේ. එම දරුවා පෝෂණය කිරීම ,යහපත් සෞඛ්‍ය තත්වයක් ලබාදීම, නොකළ යුතු දේ කළයුතු දේ පහදා දීම ලෝකයේ සෑම රටකම මිනිසුන් කරන්නාවූ කාරණා මිස මේ රට තුළ පමණක් කරනු ලබන අමුතු ක්‍රියාවක් නොවේ. දරුවකු මේ ලෝකයට ගෙනෙනවා නම්, එම වගකීම ගැනීමට බලාගෙන ගෙන ආ යුතුයි. එසේ නැතහොත් නොගෙන සිටිය යුතුයි.

සෑම දෙමවිපියකු විසින්ම දරුවන්ට එම කාරණා කළ යුතුයි. එය ගැටළුවක් නැත. මේ රට මිනිසා මෙන්ම පිටරැටියාත් දරුවන් වෙනුවෙන් අවශ්‍ය කාරණා ඉටුකරන නිසා මේ දරුවන් වස්තුවක් ආකාරයෙන් පසුකාලීනව අපටත් පාවිචිචි කළ හැකි බවට දෙමවිපියන් කල්පනා කරනු ලබයි. සුද්ධෝදන රජතුමාද මහා වස්තුව ලෙස පිළිගනු ලැබුවේද තම පුත්‍රයා වූ සිද්ධාර්ථ කුමාරයායි. එය නිවැරැදි වුවත් බුද්ධ යන තත්වය තුළ දරුවන් පිළිබඳව කල්පනා කරන විට දරුවන් මහා වස්තුවක් නොවේ. දරුවන් ආත්ම වශයෙන් පවත්වන්න බැරි දේ ලෙස බුදු දහමේ හරයයි. බුදු දහම ලෙස අප සිතාගෙන සිටින්නාවූ ඇතැමි කරුණු කාරණා සියල්ලම බුදු දහම නොවේ. බුදු දහම ලෙස සිතාගෙන සිටින මුත් බුදු දහම නොවන කාරණා පවතියි. අප සමිමුති සත්‍යයට එතරම් වසඟ වී සිටින බැවින් ඒවා අපට ග්‍රහණය වන්නේ නැහැ. සම්මුති සත්‍යයට අප එතරමි ඇලී සිටිනවිට පරමාර්ථමය වශයෙන් බුදුපියාණන් වහන්සේ විසින් අපට ඒත්තු ගන්වන්නාවූ කාරණාව අපට හසුවන්නේ නැහැ. මතුපිට කාරණාවන් පමණක් හසුවන අතර එහි වාසියකුත් අපට නැතිවාම නොවෙයි. පුත්තා වත්ථු මනුස්සානං කියන ක්ෂණයකින් අපට වාසියක් දැනෙන අතර පුත්තා මත්ති ධනං මත්ති පිළිබඳව සිතාගැනීමට පටන් ගතහොත් දරුවන් පිළිබඳව මමත්වය ගිලිහී යයි. මිනිසුන්ට පරමාර්ථ කාරණා හසුවන්නේ නැහැ. ක්‍රෝධය ක්‍රෝධය ලෙසටද, ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාව ලෙසට මිනිසුන්ට අවබෝධ වීමට තිබෙන ඉඩකඩ ඉතාම අල්පයි. එම සැම චෛතසිකයක්ම වෙනත් ආකාරයෙන් යෙදෙන බැවින් ද්වේෂය දෝමනස්ස හෙවත් දුක ලෙසද යෙදෙයි. හඬමින් සිටින දරුවකුට එම දරුවා දුකෙන් සිටිනා බව සිතා ටොපියක් ලබා දෙමින් එම දරුවා නලවා ගනු ලැබුවත්, එම දරුවා ගේ ඇතුළාන්තය තුළ ක්‍රිියාත්මක වනු ලබන්නේ තරහව මිස දුක නොවේ. කුඩා කල දරුවාට යමි යම් කාරණාවන්වලදී එයට එරෙහි වීමට නොහැකි නිසා එම තරහව හැඬීම තුළින් පිට කරනු ලබයි. එම තරහව එලියට දැමීමට වෙනත් ක්‍රමයක් තිබුණා නම්, ඔවුන් අඬන්නේ නැහැ.

මෙහි ඉතිරි කොටස පොසොන් පුර පසළොස්වක (ජුනි 19 ) පත්‍රයේ පළ වේ.