Print this Article


පල්ලේගම සිරි සුමන රතනපාල හේමරතන නාහිමි

අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍යාරාමාධිකාරී ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රජරට නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක

පල්ලේගම සිරි සුමන රතනපාල හේමරතන නාහිමි

“අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ප්‍රවීණ ගීත රචක, ශාස්ත්‍රවේදී පල්ලේගම සිරි සුමන රතනපාල හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 63 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.”

දුටුගැමුණු මහා නරපතියා විසින් තනවන ලද අනුරාධපුර ‘ස්වර්ණමාලි මහා චෛත්‍යය’ මිලකළ නොහැකි ලෝක උරුමයකි. ඒ ලෝක උරුමයේ සාඩම්බර හිමිකරුවෝ අපිවෙමු. ඒ විශිෂ්ට උරුමය ලෝකයට දායාද කළේ පුරාණ සිංහලයෝ වෙති.

‘රුවන්මැලිසෑය, රන්වැලි සෑය, ස්වර්ණමාලිචේතිය, මහාථූපය’ ආදී නම්වලින් හඳුන්වන ලෝපතල මේ මහා චෛත්‍යය රාජයාණෝ ඈතට දිස්වනවිට අපට මතක්වන්නේ කවුද? ඒ රුවන්මැලි මහා සෑ සෙවනේ රැඳී එහි විහාරාධිකාරී ධූරය දරමින් මහා විහාර භූමිය පෙර පැවති ශ්‍රී විභූතිය යළි ඇතිකරන්නට වෙර දරන පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් වහන්සේය.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සංකල්පයක් අනුව පසුගියදා ජය ශ්‍රී මහා බෝධි වැලිමළුවේ පැවති බෝධි රෝපණයේදී පල්ලේගම හේමරතන නාහිමියන් ජය ශී‍්‍ර මහා බෝ අංකුරයක් රෝපණය කළ අයුරු.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම නමැති රමණීය ගම්පියසේ කරඳගොල්ල වලව්වේ කිරිබණ්ඩා නිලමේතුමාගේ හා කරුණා කුමාරිහාමි මැතිණියගේ එකම දරුවා ලෙස 1954 ජූනි මස 15 වෙනි දින උපත ලද කරඳගොල්ල වලව්වේ නන්දසේන කුමරුවා කුඩා කල බුලාගල ප්‍රාථමික විදුහල, පැල්වෙහෙර වැලිහේන විදුහල හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ මහ විදුහල යන විදුහල්වලින් මූලික අධ්‍යාපනය හදාරා 1968 වසරේ රුවන්මැලිසෑය මහා විහාරයට පැමිණෙන විට වයස අවුරුදු 14 කි. එවක අටමස්ථානාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ උදුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත, රුවන්මැලි චෛත්‍යාරාමාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත, අපවත්වී වදාළ පල්ලේගම ඥානරතන යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1968 වසරේ දී මෙම කුමරු පල්ලේගම හේමරතන නමින් පැවිදි බිමට ඇතුළුවූහ.

හේමරතන පොඩි හාමුදුරුවන් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර මහාවිහාර පිරිවෙනෙනි. පසුව 1971 දී මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ සහ 1975 දී සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනේ උසස් අධ්‍යාපනය හදාරනු ලැබූහ. එම පිරිවෙනේ ප්‍රාචීන පන්තියේ ඉගෙනුම ලැබූ උන්වහන්සේ ප්‍රාචීන විභාගය සමත්වීමත් සමඟම අ.පො.ස (සා/ පෙළ) විභාගයට පෙනී සිටි අතර, එයින් ද ඉහළින්ම සමත්වූහ.

1969 වසරේ සිට කවියෙකු ලෙස සමාජයට විශාල මෙහෙවරක් සිදු කළ හේමරතන නාහිමියෝ ගීත රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ 1979 වසරේ සිටය. 1979 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය හා සම්බන්ධව ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ප්‍රේමකීර්ති ද අල්විස්, ගුණදාස කපුගේ, විජයානන්ද ජයවීර ඇතුළු ප්‍රවීණයන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් වඩාත් පුළුල් ලෙස නිර්මාණකරණයේ නිරතවූහ. 1988 දී ‘පහන නිවී දොළොස්මහේ’ නමින් තම පළමු ගීත සංග්‍රහය එළිදැක්වීමට හේමරතන නාහිමියන් සමත්වූහ. 1989 වසරේ දී අනුරාධපුර ජේතවනාරාමාධිකාරි ධූරයට පත් උන්වහන්සේ 1990 දී රජරට නුවර කලාවියේ උප ප්‍රධාන සංඝනායක ධූරයට පත්වූහ. 1997 වසරේදීම රුවන්මැලි චෛත්‍යරාමාධිකාරී ධූරයට පත් හේමරතන නාහිමියෝ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ධූරයෙන්ද පිදුම් ලැබූහ.

හේමරතන නාහිමියන් 2004 අගෝස්තු මස 03 වැනි දින “සඳ එළිය” නම් වූ ප්‍රථම කැසට් පටය සමඟ සංයුක්ත තැටිය සහ ‘අතීත සිහිනයක්’ ගී පද සංග්‍රහය නිකුත් කරනු ලැබූහ.

2009 වසරේ දී උන්වහන්සේ අතින් රචිත ‘සීතල ගඟුල වගේ’ ගීත සංග්‍රහයක් නිකුත් විය. එම වර්ෂයේ හොඳම ගේය කාව්‍ය සංග්‍රහයක් ලෙස විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමිකරගත් හේමරතන නාහිමියෝ මහින්දාගමනය චිත්‍රපටය ලියූ ‘සංසාරේ මහා බරපොදි’ ගීතයට 2011 වසරේ හොඳම චිත්‍රපට ගීතය සඳහා සම්මාන හිමිකර ගත්හ. එම වර්ෂයේම (2011) ර්‍ණඛ්ධ්ඛ් රන් සම්මානය හා දෙරණ රූපවාහිනී ලක්ස් සම්මාන උළෙලේ දී එම ගීතයටම හොඳම චිත්‍රපට ගී සම්මානයද හිමි විය.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි හේමරතන නාහිමියෝ අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ලෙස සිටිමින්ම සංස්කෘතික ත්‍රිකෝණයේ, ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වශයෙන් නිහඬ මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ හිමිනමකි. අපිස් පැවතුම් ඇති උන්වහන්සේ මහජන සම්බන්ධතාවයෙහි ද මනා ශූරත්වයක් ඇති, එමෙන්ම සංවිධාන ශක්තියෙහි අනූන මහ තෙරනමක් ලෙස හඳුන්වා දිය හැක.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුරාධපුර මහාවිහාර ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමඟම හේමරතන නාහිමියන් මේ සියලු කටයුතු නිසිලෙස අධීක්ෂණය කරමින් සම්බන්ධීකරණය කළහ. එමගින් රුවන්මැලි මහාසෑයේ වැලිමළුව පිළිසකර කිරීම ආරම්භ කරන ලදී. මෙහි කැණීම් ආරම්භ කරනතුරු රුවන්මැලි මහා සෑයට පැමිණි බොහෝ සැදැහැවතුන් චෛත්‍යයේ වැලිමළුවක් තිබෙන බවක් හෝ දැන සිටියේ නැත.

එතෙක් එහි තිබුණේ චෛත්‍යයේ ඇත්පවුරට පිටතින්වූ ළඳු පඳුරුවලින් වැසී ගිය භූමි භාගයක් පමණි. සලපතල මළුව වටාවූ අක්කර හයක පමණ විශාලත්වයකින් යුක්ත රුවන්මැලි මහා සෑයේ සුවිසල් වැලි මළුවේ ගොඩගැසී තිබුණු පස් ඉවත් කර පාදා සංරක්ෂණය කිරීම අතිශය දුෂ්කරවූත්, සියුම්වූත්, වෙහෙසකර ව්‍යායාමයක් විය. එසේ වුවද මේ මහා වැලි මළුව පාදා සංරක්ෂණය කළවිට රුවන්මැලි මහා චෛත්‍යයේ අලංකාරය. දෙගුණ තෙගුණ විය. සිංහල තාක්ෂණයේ මහිමයද වඩවඩා ප්‍රභාෂ්වරවී ලොවටම පෙනුණේය. අනතුරුව වැලිමළුවේ පිටත සීමා ප්‍රාකාරයේ කැණීම් සිදුකර පාදා තහවුරු කරවීමට හේමරතන නාහිමියෝ කටයුතු කළහ. ඒ සීමා ප්‍රාකාරය හදා තහවුරු කිරීමේ කැණීම්වලදී ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් පුරා වස්තූන් රැසක් හමුවිය. ඉතා මැනවින් ආරක්ෂා වී තිබූ චීන බඳුන් මෙන්ම ශ්‍රී ලංකාවේ එකම තැනකින් හමු වූ වැඩිම බුදුපිළිම ප්‍රමාණය ලෙස සැලකෙන පිළිම පනස් හයක් ඒවා අතර විය. ඒ සියල්ල මහා විහාර වංශ කතාවට නව පරිච්ඡේදයක් එකතු කිරීමට හේමරතන නාහිමියෝ සමත් වූහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා ශ්‍රී ලංකාවට සැපවත්ව අනුරාධපුර රුවන්වැලි මහාසෑයට පැමිණි අවස්ථාවේ දී හේමරතන නාහිමියන් පිරිත්නූලක් බැඳ ආශිර්වාද කළ අවස්ථාව.

ඒ අතරවාරයේ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් රුවන්මැලි මහා සෑයේ වැඩ සිටියදී ආරම්භ කළ දුටුගැමුණු ප්‍රතිමාවේ සියලු නිර්මාණ කටයුතුද නිමකිරීමට උන්වහන්සේ සමත් වූහ. මේ දුටුගැමුණු ප්‍රතිමාව රුවන්මැලි මහා සෑ අංගනයේ සුදුසු පරිදි පිහිටුවීමේ සම්පූර්ණ වගකීම අටමස්ථානාධිපති නාහිමියන් පවරා තිබුණේ හේමරතන නාහිමියන්ටය. අටමස්ථානාධිපති නාහිමියන්ගේ බලාපොරොත්තුව වූයේ දුටුගැමුණු ප්‍රතිමාව වැලිමළුවේ පිහිටුවීමට බව හේමරතන නාහිමියෝ දැන සිටියහ. එහෙත් ඒ වන විට වැලිමළුවේ පුරා විද්‍යා කැණීම් කටයුතු ද සිදු කෙරෙමින් පැවතුණේ ය. ඒ සියල්ල සලකා බැලූ හේමරතන නාහිමියෝ දුටුගැමුණු ප්‍රතිමාව මහා සෑයේ වැලිමළුවට පිටතින් පිහිටුවීමට තීරණය කළහ. ඒ අනුව 1999 බක්මස 26 වැනි දිනදී රුවන්මැලි මහාසෑයේ නැගෙනහිර දොරටුවට සහ මාර්ගයේ වම් පස ඉතා අලංකාර මණ්ඩපයක දුටුගැමුණු ප්‍රතිමාව ගෞරවාන්විතව තැන්පත් කෙරුනේ සැදැහැවතුන්ගේ අපමණ ගෞරවය ලැබෙන ආකාරයෙනි. ඒ අතරතුරේදී හේමරතන නාහිමියන්ගේ මෙහෙයවීම මත රුවන්වැලි මහා චෛත්‍යාරාමය ඉදිරිපිට නටබුන්ව තිබූ කවාකාර පොකුණ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලදී. එය රුවන්මැලි මහ සෑ මළුවට වැටෙන වැසි වතුර එකතුවීමට සිව් දිශාවෙන් කළ පොකුණුවලින් නැඟෙනහිර පොකුණ බව විශ්වාස කෙරුණේය. ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍ය උපදේශක කාර්යාංශයේ අනුග්‍රහය ලබාගෙන රුවන්මැලි මහාසෑයට උතුරු දෙසින් පිවිසෙන මාර්ගය ආබාධිතයින් සඳහා සකස්කර දීම හේමරතන නාහිමියන් අතින් සිදු වූ විශාල මෙහෙවරකි.

2005 වසරේ ඉල්මහේ දී රුසියාවේ මොස්කව් නුවර බෞද්ධ මධ්‍යස්ථානය සඳහා ජය ශ්‍රී මහ බෝ අංකුරයක් වැඩම කරවාගෙන යාමේ වාසනාව හිමිවූයේ ද හේමරතන නාහිමියන්ටය.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පුරෝගාමී වූ හේමරතන නාහිමියෝ රුවන් මැලි මහා සෑ මළුවේ මහා ප්‍රාකාරය සංරක්ෂණය කිරීම, ලංකා ට්‍රාන්ස්පෝමර්ස් ආයතනය ලවා රුවන්මැලි මහා සෑරදුන්ට විදුලි ආලෝකය ලබා ගැනීම, රුවන්මැලි මහා සෑය පිහිටි භූමිය වටා ඇති භූමි භාගය වඩාත් අලංකාරවත් ලෙස පවත්වාගෙන යාම, සෑයට පිවිසෙන මාර්ග නවීකරණය කිරීම ආදී ශාසනික සේවාවන් රැසක් මහත් කැපවීමෙන් යුතුව ඉටුකර තිබේ.

දැනට රුවන්මැලි මහා සෑ මළුවේ පුරාණ විහාර මන්දිරය වර්තමානයට ගැළපෙන අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇති හේමරතන නාහිමියෝ බැතිමතුන් වෙනුවෙන් චෛත්‍යය මළුවේ බටහිර දෙසින් නව බුදු මැදුරක් ද ඉදිකර ඇත. නිශ්ශංකමල්ල රජු නිර්මාණය කරන ලද රුවන්මැලි මහා සෑයේ කුඩා අනුරුව ද මෙම බුද්ධ මන්දිරය තුළ සුරක්ෂිතව තැන්පත් කර තිබේ.

ගීත රචකයෙකු වන පල්ලේගම හේමරතන නාහිමියන් සම්භාවනාවට ලක්වන්නාහ. සිංහල ගීතයේ යති ලකුණ පූර්ව වූ චමත්කාරයකින් සහ අර්ථපූර්ණභාවයෙන් යුතුව මතු කරන්නට දැරූ වෑයම එයට හේතු වාසනා වන්නේ ය. උන්වහන්සේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවියත්, රුවන්මැලි මහා සෑයේ විහාරාධිකාරී ධූරයත් දරමින් සාහිත්‍ය කලා කටයුතුවල නිරතව සිටින්නේ එහිලා මිනිස් සත්වයාට කළහැකි සේවයේ පමණ දන්නා නිසාවෙන් යැයි ප්‍රවීන ගීත රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වරෙක පැවසූහ. පල්ලේගම හේමරතන නාහිමියන් සිංහල සාහිත්‍ය හා ගේයපද රචනයෙහි වැජඹෙන නමක් ද දරයි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වීදාගම මෛත්‍රී හිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි හා රඹුකන සිද්ධාර්ථ හිමිවරුන් අතරට අප පල්ලේගම හේමරතන හිමියන් එක්වන්නේ බෞද්ධ දර්ශනය සියුම් සාහිත්‍ය රසය තුළින් ගේයපද අතරට මුසුකරමින්ය.

රුවන්මැලි චෛත්‍යරාමාධිකාරී ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමියන්ට නිදුක් නිරෝගී සුවය පතමු.
 

හේමරතන නාහිමියන්ගේ සංකල්පයකට අනුව රුවන්වැලි මහා සෑයේ සලපතළ මළුවේ අභිනවයෙන් ඉදිවෙන විහාර මන්දිරය හේමරතන නාහිමියන් සිදුකළ තවත් විශාල මෙහෙවරක් වන්නේ මහා සෑයට උතුරු දෙසින් ආබාධිතයින්ට ගමන් කළ හැකි වන පරිදි ගුවන්පාලමක් ඉදිකරදීමය