Print this Article


සුපසන් ජීවිතයකට 44 - සම්මුතිය තුළ ‘මම, මගේ’ යැයි පැවසුවත් තමා තමාටවත් අයිතිද?

සම්මුතිය තුළ ‘මම, මගේ’ යැයි පැවසුවත් තමා තමාටවත් අයිතිද?

භාරද්වාජ සූත්‍ර දේශනාවේ දී උදේන රජතුමා පවසන්නේ මේ අශ්‍රැතවත් පෘතග්ජන ලෝකයේ සිත්වල ස්වභාවය පිළිබඳවයි. මේ නිසා අසුබ වශයෙන් මෙනෙහි කරන්නට සුබ වශයෙන් ම අරමුණු අරගෙන රාගාධි, කාමාධි සිතිවිලි සකස් වෙනවා නම්, එවැනි අවස්ථාවක කුමක් කළ යුතුද? මේ භික්ෂූහු කුමක් කරන්නේ දැයි ප්‍රශ්න කරනවා. මෙහි දී භාරද්වාජ ස්වාමීන් වහන්සේ උදේන රජතුමාට මෙසේ සඳහන් කරනවා.

මහ රජ සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් සම්බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. මහණෙනි, සිහිය පිහිටුවා ගන්න. ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇතුව වාසය කරන්න.

එථ තුමහෙ භික්ඛවේ

ඉන්ද්‍රියේසු ගුත්තද්වාරා විහරථ” මහණෙනි, ඉන්ද්‍රියන් හි වැසූ දොර ඇතුව වාසය කරන්න. ඇසින් රූප දැකල නිමිති ගන්නට එපා. අනුව්‍යංජන වශයෙන් ගන්නට එපා.

යම් ආකාරයකින් ඇස නමැති ඉන්ද්‍රියේ අසංවරව වාසය කිරීම නිසා දැඩි ආශාවන් දෝමනස්සයං එනම්, තරහව වැනි ලාමක අකුසල් සිතිවිලි පහළවෙනවා, නම් එහි සංවරය පිණිස පිළිපදින්න. ඇස ආරක්ෂා කරගන්න. ඇස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙන්න. මේ විදිහට කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් සංවරවීම පිණිස ඒ කන, නාසය, දිව, ශරීරය, මනස, ආරක්ෂා කර ගැනීම පිණිස කටයුතු කරන්න. කිසිවිටකවත් නිමිති වශයෙන් අනු නිමිති වශයෙන් ව්‍යංජන වශයෙන් ගන්නට එපා. යම් විටක අසතිය නිසා අසංවරකමකින් දැඩි වූ ආශාවක්, දෝමනස්සයක් හටගන්නවා නම් ඉතා ඉක්මනින් සිහිය පිහිටුවා ගෙන ඇසෙහි සංවරයට, කනෙහි සංවරයට, නාසයේ සංවරයට, දිවෙහි සංවරයට, කයෙහි සංවරයට, සිතෙහි සංවරයට පැමිණෙන්නට යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අන්න එයම මේ තරුණ භික්ෂූහු නව යෞවනයේ පසු වෙමින් කළු කෙස් ඇතිව, කාමභෝගී ජීවිතයක් ගත කරන්නෙ නැතිව ජීවිත පරිත්‍යාගයෙන් පිරිසුදුව බ්‍රහ්මචාරී ජීවිතය දිගු කලක් විපත් කරන්නේ නැතුව පවත්වා ගන්නවා නම් එයම හේතුවකුයි.

මේ දහම් අවවාදයත් අප විමසා බැලිය යුතුමයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ ඇස ආදී ඉන්ද්‍රියන් හි වැසූ දොර පියන් ඇතුව වාසය කරන්නට යනුවෙනුයි. එනම් ඇස් දෙක වසාගෙන සිටින්නට යනුවෙන් නොවේ. කනෙන් ශබ්ද අහන්නට එපා යනුවෙන් නොවේ. නාසයෙන් ආග්‍රහණ ලබන්නට එපා යනුවෙන් නොවේ. දිවෙන් රස බලන්නට එපා යනුවෙන් නොවේ. කයෙන් ස්පර්ශ ලබන්නට එපා යනුවෙන් නොවේ. සිතෙන් සිතිවිලි ඇතිකරගන්නට එපා යනුවෙන් නොවේ. එනම් කුමක්ද? මේ දහම් පෙළෙහි ඉහත සඳහන් කළාක් සෙයින් ඇසෙන් රූප දකින්න. අම්මා කෙනෙක්, සොහොයුරියක්, දරුවෙක්, දුවෙක් දෙස දකිනවා වගේ දකින්න. තවදුරටත් රාගාදී ද්වේෂාදී සිතිවිලි සකස් වෙනවා නම් දෙතිස් කුනපයන්ගෙන් පිරිපුන් අපවිත්‍ර දැයෙන් පිරුණු මැටි කලයක් බඳු හා සමාන කොට ඒ ශරීරය දෙස දැක අසංවර වූ සිත කාමාධි අකුසලයන්ගෙන් ආරක්ෂා කර ගන්න. තවදුරටත් කෙලෙස් සිත සකස් වෙනවා නම් ඇස, කන, නාසය, දිව, කය, සිත නමැති ඉන්ද්‍රියයන්හි සංවරයට ආරක්ෂාව පිණිස සිහිය පවත්වන්න.

එනම් සතර සතිපට්ඨානයේ උගන්වන ලද සිහිය පිහිටුවන්න. රාග ආදී සිතිවිල්ලක් ඇතිවෙනවා නම් රාගයෙන් බැහැර වෙන තැනටම සිහිය පිහිටුවන්න. එයයි ඇසෙහි පියන්පත් නැතිනම් ඇසෙහි වැසූ පියන් ඇතිව වාසය කරන්නට යැයි සඳහන් කළේ කරුණාවෙන් මෛත්‍රීයෙන් ලෙන්ගතුකමෙන් ඇස් දෙක හැර බලන්න. අම්මා කෙනෙක් සොයුරියක්, දරුවෙක් දෙස බලනවා වගේ. පියාණන් කෙනෙක් සොහොයුරෙක්, පුතෙක් දෙස බලනවා වගේ බලන්න. එහෙත් රාගයක්, ද්වේෂයක් හටගන්නේ නම් ඇසෙහි වැසූ දොරපියන් ඇතිව වාසය කරන්නට යැයි සඳහන් කළා. එවැනි තැනක ඇස ආරක්ෂා කරගන්න සංවරයට එන්න යැයි සඳහන් කළා. ඒ සිහිය පිහිටුවීමෙනුයි. සම්මුතිය තුළ මේ ශරීරය “මම මගේ” කියා පැවැත්වූවත් පරමාර්ථ වශයෙන් දකිනා විට මේ ශරීරයේ රෝම කූපයක තරම්වත් සැබෑ අයිතියක් මට පවතින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නේ මේ ආකාරයෙනුයි.

“නායං භික්ඛවේ කායෝ තුම්හාකං

නාපි අඤ්ඥේසං” මහණෙනි, ඔය ශරීරය නුඹලාට අයිති නොවේ, වෙන කිසිවෙකුටත් අයිති නොවෙයි.

එහෙම නම් සම්මුතියට “මම මගේ” කියා මේ ශරීරය කවා, පොවා, නහවා, පිරිසුදු කොට පැවැත්වූවත් උගන්වා රැකියා කොට ඔබ නම් විවාහයෙන් හා දරුවන් ලබා ගේ දොර රැස්කොට ජීවිතය පැවැත්වූවත් මේ කයෙහි හිසේ කෙස් ගසක පටන් පාදාන්තය දක්වාම කිසිඳු ධාතුවක අයිතියක් නැති බව පැහැදිලියි. මේ ශරීරය නිර්මාණය වී පවතින්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු කොටස් හතරෙනුයි. එනම් තද ගතිය වැගිරෙන බව, උෂ්ණය හා වායුව යන කොටස් හතරෙනුයි. මේ හතරෙන් නිර්මාණය වූ මේ ශරීරය සෑම මොහොතක් පාසාම හට අරගෙන බිඳී නැතිව යයි. එසේ නම් සම්මුතිය තුළ මොනතරම් “මම මගේ” යැයි පවසා පවත්වාගෙන සිටියත් පරමාර්ථ වශයෙන් දකින විට මේ ශරීරය එහි ස්වභාවය අනුව හට අරගෙන බිඳී නැතිව යයි. ආයු ශක්තිය කර්ම ශක්තිය පවත්නා තෙක් ඒවා එකින් එක එකින් එක ගලන ගඟක් මෙන් සම්බන්ධ වී “උප්පාධ තිඨි භංග“ වශයෙන් පවතියි. එනම් හට අරගෙන බිඳී එනම් පැවැත්මක් ලෙස පෙනී නැතිව යයි.

ආයු ශක්තිය, කර්ම ශක්තිය පවත්නා තෙක් මෙය සිදුවේ. ශරීරයේ ස්වභාවය අනුව ශරීරය පවත්වනවා විනා අපට ඕනෑ විදිහට ශරීරය පවත්වන්නේ නැති බව පැහැදිලියි. එනම් ලෙඩ වන විට, දිරාගෙන යන විට, ශාරීරික අපහසුකම් ඇතිවන විට අපි කැමැතිවූවත් අකැමැතිවූවත් එයට මුහුණ දිය යුතුමය. හේතුපත්‍ය වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතූන්ගේ ස්වභාවය අනුව මේ ශරීරය පවතියි. එසේ නම් සම්මුතිය අනුව මම මගේ යැයි පැවසුවත්, තමාගේ ශරීරය කෙරෙහිවත් සැබෑ අයිතියක් පවතින්නේ නැත. මම මටවත් අයිති නැති නම් බාහිරව මොනතරම් මම මගේ යැයි පැවසුවත් ඒ බාහිර වස්තුවක් කෙරෙහිත් අයිතියක් පවත්වා ගන්නේ කෙසේ ද? සම්මුතිය තුළ ස්වාමියා බිරිඳ, දෙමාපියෝ, දරුවෝ, සොහොයුරු, සොහොයුරියන් ආදී වශයෙන් “මම මගේ” යැයි පැවසුවත් පරමාර්ථ ධර්මයට අනුව බලන විට තමා තමාට අයිතියක් නැතුවා වගේ ම අන් අයත් තමාට අයිතියක් නැති වන්නේය. ඒ අයටත් ඒ අය කෙරෙහි පාලනයක් නැති වන්නේ ය. මෙන්න මේ ලෙසින් සිහිනුවණින් බලන විට මේ ඇසත් හටගත්තා වගේ ම බිඳී නැතිව යන්නේ ය. එනම් නොපෙනී යන්නේය. අන්ධ වන්නේ ය. ගිලන්වන්නේ ය. මේ ඇසට අරමුණු රූපයත් ඒ වගේ ම හට ගත්තා වගේ ම පැවතී විනාශ වී නැතිව යන්නේ ය. මේ සියල්ලම අනත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත්ය. “මමය, මාගේය” කියා දෘෂ්ඨියකට ගැනීම වරදවා අල්ලා ගැනීමකි. එය ශෝකය පිණිසයි. එය දුක් පිණිසයි. එය බහුල වූ දුක් පිණිසයි. වරදවා අල්ලාගැනීමෙන් “මමය මගේය” යන සක්ඛාය දෘෂ්ඨිය ඉස්මතුවීමෙන් රාගාධි කෙලෙස් ක්‍රියාත්මක වීමෙන් ද්වේශාධි කෙලෙස් ක්‍රියාත්මකවීමෙන් පස් පව් දස අකුසල් සිදුකොට ඔසවාගෙන ගොස් තබනවා මෙන් සතර අපායේ ඉපදිය හැකියි.