Print this Article


73 වන ජන්ම සමරුව නිමිත්තෙනි: 

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමි

වෙසක් මස උපත ලද ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානාහිමියන්ගේ හැත්තෑ තුන්වන ජන්ම දිනය මෙම මස 30 වන දාට යෙදී ඇත. මල්වතු මහා විහාර පාර්ශ්වයේ 26 වන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස 2004 වසරේ ජුනි මස 20 දින උන්වහන්සේ පත්වූයේ එම පාර්ශ්වයේ විංසත්වර්ගික කාරක මහා සංඝ සභාවේ සියලු දෙනා වහන්සේගේ කැමැත්තෙනි.

එතැන් පටන් මේ දක්වා මහානායක පදවිය බබළවාලමින් ජාතික, ආගමික හා සමාජීය වශයෙන් සුවිශාල සේවාවන් රැසක් සිදු කරමින් සිටින උන්වහන්සේ ත්‍රෙනිකායික මහා සංඝරත්නයේ මෙන් ම සෙසු ආගමික නායකයන්ගේ ද නොමඳ ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටින්නේ සුපේශල ශික්ෂාකාමී සංඝ ගුණයෙන් පෝෂිතව පැවිදි දිවිය ගත කරන්නා වූ නිසාවෙනි. නිහතමානි ගුණයෙන් අනූනව ජාතික හා ආගමික වශයෙන් ගැටලු මතු වූ අවස්ථාවල පාට, පක්ෂ බේදයෙන් තොරව සාධාරණත්වය උදෙසා ඍජුව අදහස් ප්‍රකාශ කිරීම නිසාම සිංහල බෞද්ධ පමණක් නොව මෙරට සියලු ජාතීන්ගේ මෙන්ම ආගමිකයින්ගේ ද නිබඳ ගෞරවාදරය උන්වහන්සේ වෙත ලැබී ඇත.

මල්වතු පාර්ශ්වයේ ප්‍රථම මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන මහානාහිමියන්ගේ සඟපරපුරේ හත්වන මහානායක ලෙස මල්වතු පාර්ශ්වයේ මහ පදවියට පත් සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ 1944 මැයි මස 30 දින මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාවේ වලව්වේ උපත ලැබ උතුම් පැවිදි දිවියට එළඹියේ 1957 ජුනි මස 10 දිනය. මල්වතු පාර්ශ්වයේ හිටපු මහානායක පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකරාභිධාන මහානාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකාරභිධාන හිමි ආචාර්යන්වහන්සේලා කොටගෙන මල්වතු මහාවිහාරීය මංගල උපෝෂථාගාරයේ දී වයස අවුරුදු 13 දී ප්‍රවෘජ්‍යා භූමියටපත් උන්වහන්සේ කුඩාකල සිට ම මහ ථෙරනමක වන ලකුණු පහළ කළහ. මල්වතු පාර්ශ්වයේ හිටපු මහානායක රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සී මහානාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මල්වතු මහාවිහාරයේ තැන්පත් කර තිබිය දී එහි වැඩම කර සිටි එවකට මල්වතු පාර්ශ්වයේ අනුනායක පදවිය හෙබවූ සිද්ධාර්ථ සුමංගල හිමියෝ මල්වතු පාර්ශ්වයේ ඊළඟ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස පත්වීම කාගේත් ප්‍රාර්ථනාව විය. මහා සංඝරත්නය මෙ න් ම ගිහි පාර්ශ්වය ද එකලෙස ම එය පැතූහ. එපරිද්දෙන් ම උන්වහන්සේ ඊට පත්වූයේ සංඝසභාවේ සියලුදෙනා වහන්සේගේ සමානච්ඡන්දයෙනි. උන්වහන්සේ හා මහ පදවියට තරඟ කරන්නට කිසිදු හිමිනමක් ඉදිරිපත් නොවූයේ එහි නියම උරුමක්කරු සුමංගල නාහිමියන්වීම නිසාය.

පැවිදි දිවියේ දශක හයක කාලයක් සපුරා ඇති මහානාහිමියෝ වාහලනාග නාමයෙන් 1964 වසරේ උපසම්පදාව ලැබ ඉන් වසර පහකට පසු මල්වතු පාර්ශ්වයේ කර්මාචාර්ය ධූරයට පත්වූහ. මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික ධූරයට 1968 වසරේ පත්වන විට 24 වන වියෙහි පසු වූ උන්වහන්සේ 1979 වසරේ මැයි මස 10 දින එම පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරයට පත්කරනු ලැබුවේ සිරිමල්වත්තේ ආනන්ද මහානාහිමියන් විසිනි. 1985 නොවැම්බර් 09 දින මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පදවියට පත් උන්වහන්සේ සියලු ශාසනික පදවීන්ගේ කටයුතු අඩු වයසකදීම දැන උගත්හ. 1992 දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට පත් උන්වහන්සේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පදවියට පත්වූයේ 1992 වසරේදීය. එවකට උන්වහන්සේ 48 වැනි වියේ පසුවූහ. කිසිදා පදවි පිටුපස හඹානොගිය මහානාහිමියන් පසුපස තරුණ වයසේ සිටම පදවි තනතුරු හඹා එන්නටවූයේ උන්වහන්සේ ශාසනලැදිව මහාවිහාර සම්ප්‍රදායන් රකිමින් ගිහිපැවිදි සැමගේ ගෞරවාදරය දිනාගත් නිහතමානි හිමිනමක් වූ නිසාවෙනි. 1965, 1981 හා 1991 වසරවල ශ්‍රී දළදා තේවා කටයුතු සිදුකරමින් බුද්ධෝපස්ථානය කිරීමේ භාග්‍යය හිමිකරගත් උන්වහන්සේ ශ්‍රී දළදා සමිඳුන්ගේ පැවිදි භාරකාරත්වය හිමිවන්නා වූ අති උතුම් මහානායක පදවියට පත්වූයේ 60 වෙනි විය සපුරා සිටිය දී 2004 දී ය. එතැන් පටන් මල්වතු පාර්ශ්වයේ මහා සංඝරත්නයට නායකත්වය දෙමින් අති උදාරතර ජාතික, ආගමික හා ශාසනික සේවාවක නිරත උන්වහන්සේ සෑම විට ම ජාතික හා ආගමික සමගිය ඇති කිරීම උදෙසා අනුශාසනා කරමින් ශාසනයේ ඉදිරි පැවැත්ම තහවුරු කිරිම පිණිස අපමණ වෙහෙසක් ගෙන කටයුතු කරනු ලබති. මෙරට ද්‍රවිඩ දේශපාලන පක්ෂ නියෝජිතයින් පවා උන්වහන්සේ ජාතික හා ආගමික සංහිඳියාව ඇතිකිර ීම පිණිස ගන්නා වූ අවංක උත්සාහය අගයති. කවර ආකාර හෝ බලවතකු වරදක් කරන්නේ නම් එය විවේචනයකර සාධාරණය මතුකර පෙන්වීමට අභීතව ක්‍රියාකරන මහානාහිමියෝ යළි වරද නිවැරදිකර ගත් පසු එම පුද්ගලයාට වුව ආශිර්වාද කරන්නට පසුබට නොවෙති. ගෞරව නාම රැසක් පසුගිය කාලයේ උන්වහන්සේට පිරිනැමීමට දෙස් විදෙස් ආයතන උත්සාහ කළත් උන්වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කළහ. තනතුරු, පදවි, නම්බුනාම, හඹායන අයවළුන්ට උන්වහන්සේ ලබාදෙන පණිවුඩය අතිමහත්ය. තැන තැන කිසිදු පදනමකින් තොරව බුදුපිළිම වහන්සේලා ඉදිකිරීම උන්වහන්සේ අනුමත නොකරමින් අනුශාසනා පැවැත්වූයේ එමඟින් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වන බව සැමට අවබෝධකර දෙමිනි. සෑම තැනම බුදුපිළිම ඉදිකිරීමට වඩා බෞද්ධයින් ආධ්‍යාත්මික වශයෙන් පෝෂණයවීමේ වැදගත්කම උන්වහන්සේ නිතර පෙන්වා දුන්හ.

අසරණයින්ට පිහිටවීම බුදුන් වහන්සේ තුළ වූ ශ්‍රේෂ්ඨ ගුණාංගයකි. එම මඟ යමින් අප මහනාහිමියෝ ද ජාති, ආගම්, කුල, බේදයෙන් තොරව මිනිසුන්ගේ දුක දුටහ. ස්වභාවික විපත්වලින් පීඩාවිඳි ජනතාව මෙන් ම ආර්ථික අතින් දුබල මිනිසුන් නිරතුරුව සොයාගොස් පිහිටවීමට උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටුවාගත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම හැමවිටම කටයුතු කළේ අප්‍රකටව සිදු වූ එම මෙහෙවර දැනසිටියේ එහි පිහිට ලැබූවන් ම පමණක් වීම සුවිශේෂිය. ඒ වත්මන් ලෝකයේ බොහෝ දෙනෙකු ප්‍රසිද්ධිය පතා සිදුකරන ඇතැම් සමාජ මෙහෙවර නිසාවෙනි. සුළු දෙයක් ලබා දී මහා ප්‍රචාරයක් අපේක්ෂා කරන ඇතමුන්ට මහානාහිමි වැඩපිළිවෙළ තුළින් ඉගෙනගත යුතු පාඩම් බොහෝය. යුද්ධයෙන් රටවෙලී තිබිය දී උන්හන්සේ යාපනයට වැඩම කර ළමුන් 1500කට පොත්පත් පිරිනමා පාපැදි 100ක් ලබාදුන්හ. දෙමළ දරුවන් කියා උන්වහන්සේ කිසිවිටකත් ඔවුන් ප්‍රතික්ෂේප නොකළේය. අවශ්‍යතාව ඇති අය කුමන ජාතියක ද කුමන ආගමක ද යන්න උන්වහන්සේට ප්‍රශ්නයක් නොවූණේය. උපකාරය ලැබීමට අවශ්‍ය එකම සුදුසුකම වූයේ අසරණ බව මිස අන්කිසිවක් නොවේ. රටම වෙලාගත් දැඩි නියං සමයේ වව්නියාව, කැලෑබොක්ක ප්‍රදේශයේ අසරණව සිටි 800ක පිරිසකට මහානාහිමියෝ වියළි ආහාර ලබාදුන්හ. යුද්ධයෙන් අවතැන් වූ ජනතාව රැඳීසිටි මැණික්ෆාම් කඳවුරට උන්වහන්සේ ලොරි 15ක ආහාර ද්‍රව්‍යය ඇතුළු ඇඳුම් පැළඳුම් යැවූහ. ආබාධිත පුද්ගලයින් තිදෙනෙකුට තෙල්දෙණිය තැන්නලන්ද ප්‍රදේශයේ නිවාස තුනක් ඉදිකරදුන් මහානාහිමියෝ එම ගමට විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් ගම ට යන්නට බස් රථයක් ද යෙදවූහ. මේ උන්වහන්සේ පසුගිය කාලයේ අප්‍රසිද්ධව සිදුකළ සමාජ සද්කාරයන්ගෙන් කිහිපයක් පමණි.

හැට වසරක පැවිදි දිවියතුළ යහපත් ශිෂ්‍ය පරපුරක් ද සසුනට දායාද කරමින් ගුණ සුවඳින් සසුනඹර එකලුකළ මහානාහිමියෝ මේ ගෙවන්නේ දිවියේ 73 වන වසරය. විහිහතරවැනි වියේ දී කාරක සංඝ සභාවට පත්ව මේ වන විට අඩසියවසක් ගතව තිබේ. පැවිදි දිවිය තුළ උන්වහන්සේ සෑම විටම කටයුතු කළේ අන්සැමට ආදර්ශයක් වන අයුරිනි. උන්වහන්සේට බුදුසරණ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු.