Print this Article


යහපත් ජීවිතයකට සිත පාලනය කරගන්නේ කෙසේද

යහපත් ජීවිතයකට සිත පාලනය කරගන්නේ කෙසේද

බක් අමාවක පෝදා අප කතා කළ භාරද්වාජ සූත්‍ර දේශනාවේ, මීළඟට සඳහන් කළා තමන්ගේ සොහොයුරිය දෙස දකිනවා, සිතනවා වගේ ඒ සොහොයුරියගේ වයස් ප්‍රමාණයේ පසුවන සියලු සෙහොයුරියන් කෙරෙහි එවැනි සිතකින් ම දකින්න බලන්න.

සොහොයුරියකට තම ගුණවන්ත සොහොයුරු, සොහොයුරියන්, අක්කා, නංගී, අයියා, මල්ලී වශයෙන් හදවත්හි පවතින්නෙ කරුණාවෙන් යුතු සහෝදරත්වයකුයි. සද්පුරුෂ වූ නොසිඳාගත් සහෝදරත්වයක් ඇති සොහොයුරු සොහොයුරියන්ට ඔවුනොවුන් කෙරෙහි මහත් වූ දයාවක්, කරුණාවක්, මෛත්‍රීයක් පවතිනවා. අපගේ ලොකු අක්කා, අම්මා වගේ යැයි අපගේ ලොකු අයියා, තාත්තාවගේ යැයි බොහෝ පවුල්වල බාල සොහොයුරු සොහොයුරියන් පවසනවා. ඒ පෙනුමට ම නෙවෙයි, ඒ ආදරය කරුණාව ලෙන්ගතුකම හා සමගිනුයි. යම් දවසක දෙමව්පියන් මෙලොව හැර ගිය දා පවුලක වැඩිමහල් සොහොයුරා හෝ සොයුරිය බාල සොහොයුරන්ට දෙමාපියන් සේ තම ජීවිත පවත්වන බොහෝ තැනක අපේ සංස්කෘතියෙහි දකින්නට තියෙනවා.

එහෙම නම් තමන්ගේ සොහොයුරිය දෙස දකිනවා, හිතනවා, බලනවා මෙන් ම අනිකුත් සියලු සොහොයුරියන්ගේ වයස් මට්ටමේ පවතින කාන්තාවන් කෙරෙහි තරුණ කාන්තාවන් කෙරෙහි දකින්නට, හිතන්නට පුළුවනි නම් කිසිවිටකවත් ඔවුන් කෙරෙහි වරදවා ගත් සිතක් නම් පහළවෙන්නේ නැහැ. එනම් රාගයක් හෝ ද්වේෂයක් සකස් වෙන්නේ නැහැ. රාගයක් ද්වේෂයක් සිතේ හටගන්නට පැමිනුණත් තම සොහොයුරිය පිළිබඳව සිහිපත් කිරීමෙන් එනම් මේ මගේ අක්කා වගෙයි, මේ මගේ නැගණිය වගෙයි මා මගේ සොහොයුරියට දක්වන ලෙන්ගතුකම, ආදරය, කරුණාව වගේ මේ සොහොයුරියන් කෙරෙහි ද සිත පවත්වා ගත යුතුයි කියන හැඟීම ඇති කරගන්නට පුළුවනි. තම සොහොයුරියට අන් අයකුගෙන් යම් විටක විපතක් වෙන්නට පැමිණුනොත් ඔබට ඇතිවන සිත සිතිවිලි කුමක් ද එහෙම නම් අප දකින අන් තරුණ දියණිවරුන් හා කාන්තාවන්ට පීඩාවක් කිරීම විපතක් කිරීම කරදර කිරීම කෙසේ නම් ගැළපෙන්නේ දැයි ඔබම සිතල බලන්න. නිතර නිතර අපේ සිත මගේ ම සොහොයුරියක් වගේ යැයි පුරුදු කිරීමෙන් එවැනි වයස්වල පසුවන සියලු කාන්තාවන්, තරුණ දියණිවරුන් කෙරෙහි සොහොයුරියක්ය යන සිත පවත්වාගන්නට පුළුවනි. එවිට එවැනි සිතකින් රාගාදි සිතිවිල්ලකින් වරදක් කරන්නටවත් තරහවක් එනම් ද්වේෂය ආදී සිතිවිල්ලකින් විපතක් කරන්නටවත් කිසිවිටකවත් සිතන්නෙ නැහැ. තමාගේ ජිවිතයත් යහපත්ව පවත්වා ගන්නටත් අන් අයගේ ජීවිතවලට ගරු කරන්නටත් මේ දහම් පෙළ මොනතරම් අගනේ ද

මීළඟට සඳහන් කළා දියණි කෙනෙක් ලෙස බලනවා, දකිනවා වගේ, ඒ දියණියන්ගේ වයසේ පසුවන සියලු දරුවන් කෙරෙහි බලන්නට, දකින්නට, සිතන්නට කියා. වර්තමාන පරිසරය තුළ සමහර වැඩිහිටියන් පවා තමන්ගේ සොහොයුරියන්ගේ වයසේ සිටින අය කෙරෙහි පමණක් නොව දරුවන්ගේ වයසෙහී පසුවන අය කෙරෙහි පවා වරදවා පිහිටුවා ගත් සිත්වලින් රාගාදී කෙලෙස් සිත් පමුණුවාගෙන සිදුකරන විපත් පරිසරය තුළින් වටාපිටාව තුළින් දැක ගන්නට හා අසන්නට පුළුවනි. එවැනි ක්‍රියාවන් සිදු නොවිය යුතුමයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව දරුවෙක් දෙස බලනවා වගේ බලන්නට පුළුවනි නම් ඒ සිත තුළ මොනතරම් ලෙන්ගතුකමක් ඇතිවෙන්නට පුළුවනි ද මෙය කියන, අහන ඔබ ඔබේ ම දුව කෙරෙහි ඔබේ ම පුතා කෙරෙහි ඇති කරගන්නා වූ එනම් උපදවා ගන්නා වූ සිත් පෙළ ඔබට මතක් කරන්න පුළුවනිද කුරා කුහුඹියෙකුගෙන්වත් මගේ දරුවාට නම් විපතක් වෙන්නට එපා. සිහිනෙන්වත් වරදක් වෙන්නට එපා යැයි සිතන ඔබ ගුණබර අම්මා කෙනෙක් නම් පියාණන් කෙනෙක් නම් තම ජීවිතය දෙවැනි කොට දරුවාගේ ජීවිතය පළමුකොට ම සිතන බව ඉතාම පැහැදිලියි. තම දරුවාගේ වයසේ පසුවන සියලු දරුවන් කෙරෙහි තම දරුවාටම හා සමාන නොවුනත් අඩුම තරමෙ එවැනි දරුවන්ට දුකක්, කරදරයක්, විපතක් නොකරන්නට නම් මේ උතුම් ධර්ම පෙළ ඔබට උපකාරක ධර්ම පෙළක් වනවා නොවණුමානයි.

මෙහි දී පෙන්වා දෙන්නේ විශේෂයෙන් ම රාගාදී සිතිවිලි ඇති කරගන්නෙ නැතිව ද්වේෂය, වෛරය වැනි සිතිවිලි හටගන්නේ නැතිව සියලු දරුවන් කෙරෙහි ම ආදරය, කරුණාව, මෛත්‍රිය පවත්වා ගත යුතුමයි. තමන් දරුවා විපතින් වළක්වාගන්නවා සේ සියලු ප්‍රජාව කෙරෙහි කරුණාව, මෛත්‍රිය දක්වා විපතක් නොකරන්නට තම සිත් පෙළ සකසා ගැනීමයි. වර්තමානයේ බොහෝ දෙනා සොයන සතුටින් සමගියෙන් සාමයෙන් පිරි පවුල් පරිසරයක්, ගමක්, පළාතක් ජිවත්වන්නට සුදුසු පරිසරයක් නම් මේ දහම් පෙළ අපේ සිත්වලට මොනතරම් අස්වැසිල්ලක් දැයි ඔබම කල්පනා කොට බලන්න. මේ දහම් පෙළ අප කල්‍යාණවන්තයන් සේ සියලුදෙනා අතර ධර්ම පරියායක් සේ සකස් කර ගන්නට අධිෂ්ඨාන කරමු.

මේ දහම් කතාව අසාගෙන සිටින උදේන රජතුමා මිනිස් සිතක ඇති ස්වභාවික ස්වභාවය, ආකාරය උදේන රජතුමා භාරද්වාජ ස්වාමීන් වහන්සේට මෙහෙම සඳහන් කරනවා. ස්වාමීන් වහන්ස, මේ මිනිස් සිත ලෝලය එනම් ආශාවෙන් පිරිල මව් වැන්නවුන් කෙරෙහිත් ඇතැම් දිනක ඇතැම් විටක ලෝභ සිත් උපදින්නට පුළුවනි. සොහොයුරිය වැන්නවුන් කෙරෙහිත් යම් විටක රාගය උපදින්නට පුළුවනි. දූ වැන්නවුන් කෙරෙහිත් යම් විටක ලෝභ සිත් උපදින්නට පුළුවනි. එසේ වන්නේ නම් තරුණව මනා කළුකෙස් ඇතිව නව යෞවනයේ පසුවන කාම භෝගී ජීවිත ගත කරන්නෙ නැතිව දිවි හිමියෙන් ජීවිත පවත්වන මේ තරුණ භික්ෂූන් කෙසේනම් බ්‍රහ්මචාරී ජීවිතයක් කාලයක් පුරා පවත්වා ගන්නේ ද එසේ පවත්වා ගන්නවා නම් එයට හේතුව කුමක් ද උදේන රජතුමා සඳහන් කළ වදන් පෙළ ඔබට මතකද යම් විටක මේ සිත ආශාවෙන් පිරිල මව වැන්නවුන් කෙරෙහිත්, සොහොයුරිය වැන්නවුන් කෙරෙහිත්, දුව වැන්නවුන් කෙරෙහිත් ලෝභයක්, රාගයක්, හටගන්නට පුළුවනි. අන්න එවැනි අවස්ථාවක කෙසේ නම් මේ භික්ෂූන් තම යහපත් වූ ජීවිතය ආරක්ෂා කර ගැනීමට කුමක් කරන්නෙහි ද ඒ වගේ ම ව්‍යංගයෙන් ප්‍රශ්න කරන්නේ එනම් ව්‍යංගයෙන් සිතේ සිතිවිලි පවත්වාගෙන ප්‍රශ්න කරන්නේ අපටත් එවැනි සිතිවිල්ලක් පැනනැගුණොත් අප කෙසේ නම් ඒ සිත පාලනය කරගන්නේ ද ආරක්ෂා කරගන්නේ ද කියන අදහසයි.

භාරද්වාජ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. මහණෙනි, නුඹ එන්න එනම් මේ ධර්මයට එන්න, මැනවින් අහන්න. මනාව සිහිය පිහිටුවන්න. මහත් වූ කරුණාවෙන්, ගුණබර අම්මා කෙනෙක් සෙයින්, පියාණන් කෙනෙක් සෙයින් කෝටියක් මව්වරුන්ගේ, පියවරුන්ගේ කරුණා සෙනෙහසටත් වඩා මා නුඹලාට කරුණාවෙන් මේ අදහස සඳහන් කරනවා. ඒ කුමක් ද පාදාන්තයෙන් උඩ හිසෙහි හිස් මුදුනෙන් යට සම කෙළවර කොට ඇති නන් වැදෑරුම් අපවිත්‍ර දැයෙන් පිරුණු මේ ශරීරය පිළිබඳව යථාර්ථයෙන් දකින්න. මේ ශරීරයේ පවත්නා හිස කෙස්, ශාරීරික ලෝම, නිය, දත්, සිවිය, මස, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංසය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනුබහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර, පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේදය, කඳුළු, වුරුණුතෙල්, කෙළ, සොටු, සදමිදුලු, මුත්‍රා ඇතැයි ආදී වශයෙනි.

මහරජ තරුණ වූ මනා වූ කළු කෙස් ඇති මේ තරුණ භික්ෂූන්ට කුමන ආකාරයේ වයසක තරුණ ජීවිතය පැවැත්වූවත් මෙසේ පාදාන්තය පටන් හිස්මුදුන දක්වා අපවිත්‍ර දැයෙන් පිරුණු ඇවිදිනා වැසිකිලියක් බඳු බිඳෙන සුළු මැටි කලයක පුරවා ඇති අපවිත්‍ර දැයක් බඳු ශරීරයක් පවත්වන බව මනා වූ සිහි නුවණින් පරීක්ෂාකර බලන විට මෙනෙහි කරන විට කාමාදී, රාගාදී, ලෝභාදී සිතිවිලි සංසිඳෙනවා. බැහැරවී යනවා. ඔබටත් මේ දහම් කතාව ඉතාම හොඳින් ධර්ම ඖෂධයක් බවට පත්වෙනවා නොවණුමානයි.

තවත් කොටසක් වෙසක් මස (මැයි 29වනදා) අව අටවක පෝදා පත්‍රයේ පළ වේ.