Print this Article


බලංගොඩ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය

බලංගොඩ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය

“අපේ ගේ ළඟම තිබුණා බෝ මළුවක්. අම්මා හැමදාම උදේ සවස බෝධීන් වහන්සේට වඳින්න ඔය මළුවට යනවාලු. ගිහිල්ලා බෝධීන් වහන්සේ වටා හොඳින් අතුපතු ගාලා මල් පහන් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවාලු. ඒ තමා ‘මට මහණ කරන්න පුතෙකු ලැබෙන්න ඕන’ කියන එක” බුදු බව පතන බළන්ගොඩ නා හිමි කියූ වදන් පෙළක්, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමි විසින් සම්පාදිත ග්‍රන්ථයේ සඳහන් වේ.

අභිධජමහාරට්ඨගුරු, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමිපාණන්ගේ මෑණියන් වහන්සේ විසින් පැවිදි කිරීම පිණිස පුත් රුවනක් ලබාදෙනමෙන් වන්දනාමාන කරමින් ප්‍රාර්ථනා කළ බෝධීන් වහන්සේ, බළන්ගොඩ හිටපු නාගරික මන්ත්‍රී ඊ. ඒ. ජයන්ත ප්‍රේමකුමාර මහතා ඇතුලු පවුලේ සැම විසින් පරලොව සැපත් දෙමාපියන්ට හා පවුලේ ඥාතීන්ට පින් පිණිස පූජා කරන ලදුව බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය පදනම මඟින් එම පදනමේ සභාපති බඹරබොටුවේ ආනන්ද මංගල හිමිපාණන්ගේ අනුශාසනා පරිදි තායිවානයේ ජෙස්මින් කෝ පවුලේ සැම ඇතුලු ශ්‍රී ලාංකික පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් බෝධිප්‍රාකාරයක් ඉදිකොට සැදැහැවතුනට වන්දනාමාන කිරීම පිණිස සකස් කළ ප්‍රාර්ථනා බෝධිය මැයි මස 18 දින සවස 3.30ට අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ රාස්සගල පාර්ශවයේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමිපාණන්ගේ සුරතින් විවෘත වේ.

පස්වරු 2.00ට බළන්ගොඩ, බලගහමුල, ආනන්ද මෛත්‍රෙය පරිශ්‍රයේ අසලින් ඇරඹෙන පෙරහර සවස 3.30 ප්‍රාර්ථනා බෝධිය වෙත ලගාවීමෙන් අනතුරුව සවස 4.30 ට ආධාර උපකාර කළ සැමටත් රටටත් සෙත්පතා මැටරඹ නන්දාලෝක ස්වාමීන්ද්‍රයන්වහන්සේ විසින් අශිර්වාද බෝධිපූජාව පවත්වනු ලැබේ.

එම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා, බළන්ගොඩ ප්‍රාදේශීය මහ ලේකම් චම්පිකා නිරෝෂ් ධර්මපාල මැතිතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන් සහභාගි වීමට නියමිතය.